2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

පැය කිහිපයකින් කොළඹ නගරය වැවක් කළ මහවැස්ස

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 142

වැස්ස ඉල්ලා රටවැසියෝ දේවදාන දුන්හ. මහසඟරුවන වැහි පිරිත් සජ්ඣායනා කළහ. රටපුරා කුඹුරු පුරන් කරමින් මහා පෙරුළියක් කළ ඒ නියඟය හමාරය. දැන් පැමිණ ඇත්තේ වැසි සමයයි. එකවරම පැමිණි මහවැස්සෙන් ගම් නියම්ගම් නගර යටවිය. වැස්ස ගැන කතා කිරීම අලුත් දෙයක් නොවේය. එහෙත් වැස්ස තරමටම කතාබහට ලක් නොවන තවත් දෙයක් ඇත්තේය. මහවැස්සට කොළඹ නගරයම එකම වැවක් වැනිය.  කොළඹ නගරයේ බොහොමයක් කාණු පද්ධති වැසී තිබීමෙන් ඒ ගලා යන වතුර මාර්ගයේ පිරෙයි. මේ හේතුවෙන්ම අපද්‍රව්‍ය ඉවත් කිරීමට මාර්ගයේ තැන තැන තිබෙන ගලි වළවල්ද උතුරයි. හැමදාම දකින කුකුළාගේ කරමල මෙන් වැහි කාලයට මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන ප්‍රදේශවල මෙය සුලභ දසුනකි. එදා මෙදාතුර සිදුවන මෙයට මේතාක් නිසි පිළියමක් නැත්තේය. 

කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයේ අසාර්ථක බවට මෙම උදාහරණයම ප්‍රමාණවත්ය. මෙවරත් මහ වැස්සෙන් කොළඹ නගරය ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් යටවිය. කොළඹ කොටුව, මාලිගාවත්ත, කොළඹ 07, හෝර්ටන් පෙදෙස, තුංමුල්ල, මරදාන ඩීන්ස් මාර්ගය, ආමර්වීදිය, වැල්ලම්පිටිය, මෙගොඩ කොලොන්නාව, සේදවත්ත, කොටිකාවත්ත ආදී පෙදෙස් රුසක පහත් බිම් ජලයෙන් යටවී තිබූ අයුරු දැකිය හැකිවිය.

බොහෝ මහා මාර්ග ජලයෙන් යට වනවිට සිහියට නැගෙන තවත් කරුණක් තිබේ. එනම් වැස්ස කාලයට ඇඟට දැනෙන අමුතු පුරුද්දක් අපට ඇත්තේය. එනම් පාරේ බයිසිකලයක යද්දී වතුර වළක් දුටු පමණින් වළ මැදින් දෙබෑ කරගෙන යන්නටත් මග දෙපස ඒ විහිදෙන වතුර වළෙන් උඩ පැන පැන නාන්නටත් පොඩි කාලේ පටන් අපට අමුතු ආසාවක් තිබිණි. ගමේ කොල්ලන්ට මේවා අලුත් දේවල් නොවේය. කරදඬු උස්මහත් වෙද්දී මඩ වතුර නාන්නට ආසාව ගිලිහී ගියත් වතුර වළක වතුර ඉහිරවාගෙන යාම වෙනස් නොවන සිඟිති ආසාවකි. මේ පුරුද්ද නිසාම මහමග ජීවිත රැසක් අනතුරුවල හෙලූ අවස්ථාද ඕනෑතරම් තිබේ. ඒ ආවරණ නොමැති ගලි වළවල්වල වැටීමෙනි.

උණ පුරුකේ දමාවත් බලු වලිගේ ඇද අරින්නට බැරිවා සේ මහ වැස්සේත් වාහනයකින් මාර්ගයේ ගමන් කිරීමේදී වේගය පාලනය කර ගැනීමට බොහෝදෙනාට පුරුද්දක් නැත.  පොඩි කාලේ පුරුද්ද නවතාගැනීම නොහැකි වීම නිසාම ගලි වළවල්වලින් උතුරන ජරාවෙන් සුපිරි වාහන පවා හෝදගෙන යන නෝනලා මහත්තුරුන් ඕනෑතරම් කොළඹ 10, මාලිගාවත්ත, මරදාන, කොළඹ 09 දෙමටගොඩ, කොළඹ 13 කොටහේන ප්‍රදේශවලදී  දැකිය හැකිය. අනෙකා ගැන නොසිතා කරන දෙයින් එයට බිලි වන්නෝද පීඩා විඳින්නෝද පදිකයෝය.

ප්‍රධාන මාර්ගවල වැහි ජලය බැසයාමට මාර්ගයේ තැන තැන ගලි වළවල් සකසා තිබෙනු දැකිය හැකිය. වසර ගණනාවක් පැරුණි මෙම ගලිවළවල් බොහොමයක් ආවරණය කර ඇත්තේ චීනච්චට්ටි ලෝහයෙන් සැකසූ ආවරණවලිනි. ඇතැම් පෙදෙස්වල මෙම ආවරණ සොරාගෙන ගොස් පරණ යකඩවලට විකුණන ජාවාරම්ද පසුගිය වකවානුවල අසන්නට ලැබිණ.

මහවැස්සට කොළඹ නගරය යටවන්නේ ඇයි? මෙම ගැටලුව කාලයක පටන් පවතින්නකි. කොළඹ නගරයේ පිටාර තත්ත්වය ඇතිවන්නේ කොළඹ නගර සභාව නගරයේ තිබෙන කානු පද්ධති සහ ඇළ මාර්ග නඩත්තු නොකිරීමත්, කාලයක් තිස්සේ ඇළ මාර්ග අවහිර කරමින් තිබෙන ඉදිකිරීම් නිසාත් බව පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පවසනුයේ විධිමත් අධ්‍යයනයකින් පසුව කොළඹ නගරයේ  පිටාර තත්ත්වයකට ලක්විය හැකි ස්ථාන 15ක් පමණ හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා පිළියම් ලෙස උමං පද්ධතියක් සහ පොම්පාගාර යෝජනා කර තිබූ බවත්ය. 2010 වසරේදී ඇරඹීමට යෝජනා වූ හරිත ලංකා ආදී ව්‍යාපෘති හමස් පෙට්ටිවලට යාමෙන් මෙම නගර සංවර්ධන කටයුතු ඇණහිට ඇති බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසා බැලීමට කොළඹ මහ නගර සභාවේ බලධාරියකු සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

නියඟයෙන් වැනසීමට ලක්වූ කුඹුරු මහ වැස්සට හසුවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන්ය. ඒ කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වැසිබර කාලගුණ තත්ත්වය ඉදිරියටත් බලපාන බවයි.

I සසංක චලන ගිම්හාන