චීනයේ සිනොපෙක් (Sinopec) සමාගම ශ්‍රී ලංකාව තුළ ප්‍රථම ඉන්ධන පිරවුම්හල පසුගියදා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේදී ආරම්භ කළේය. වසර ගණනාවක්ම ඛනිජ තෙල් සංස්ථාව යටතේ ශ්‍රී ලාංකිකයකු සතු වූ මෙම ඉන්ධන පිරවුම්හල සිනොපෙක් වෙළෙඳ නාමය යටතේ වර්තමානයේ ස්ථාපිත කර තිබේ. ඒ අනුව අද වනවිට එම පිරවුම්හල සිනොපෙක් වෙළෙඳ ලාංඡනය යටතේ ඔවුන්ගේ සේවා කටයුතු කරගෙන යමින් සිටී. ඛනිජ තෙල් සංස්ථාව යටතේ මෙතෙක් පවත්වාගෙන යමින් සිටි මෙම ඉන්ධන පිරවුම්හල සිනොපෙක් ලෙසින් මාරුවීමත් සමඟ ඉන්ධන හලේ පැවැති සියලුම වර්ණ සංකේතයන්ද නව සිනොපෙක් ආයතනයට සරිලන පරිදි වෙනස් කරනු ලැබූ අතර ඔවුන්ගේ නිල ඇඳුමද වෙනස් විය.
මෙම ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ විවෘත කෙරුණු අවස්ථාවට චීනයේ සිනොපෙක් සමාගමේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙක් සහ මත්තේගොඩ පිරවුම්හලේ කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ. මේ සඳහා විශේෂ ආරාධිත අමුත්තන්ගේ හෝ රාජ්‍ය ඉහළ නිලධාරීන්ගේ හෝ සහභාගිත්වය නොලැබීම මෙහි විශේෂත්වය විය.
චන්දිම නාලක කපුරුගේ මහතා කළමනාකාරිත්වයෙන් පවත්වාගෙන යන මෙම මත්තේගොඩ ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කරනු ලබන ඉන්ධන සඳහා ලීටරයකට රුපියල් තුනක් අඩු කර ඇත.
''අපේ ඉන්ධන පිරවුම්හල අගෝස්තු මාසේ 30 වැනිදා මත්තේගොඩ විවෘත කළා. වසර කිහිපයක්ම අපි ඉන්ධන පිරවුම්හල පවත්වාගෙන ගියා. මේ දින කිහිපය තුළදී ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපෙන් එදිනෙදා ඉන්ධන රථවාහනවලට ලබාගන්නා ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව මෙම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගනිද්දී අපේ සේවකයන්ගෙන් හොඳ සේවාවක් ලැබෙන බවත් ඔවුන් පවසනවා. ඉන්ධන පොම්ප වැඩි ප්‍රමාණයක් ඇති නිසා තදබදයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.'' යැයි පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
මත්තේගොඩ සිනොපෙක් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා දෙන පොම්ප 16ක් ස්ථාපිත කර ඇති හෙයින් කාර්යබහුල බවකින්, තදබදයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ජනතාවට ලැබෙනු ඇත. මෙරට ඉන්ධන බෙදාහැරීම ශක්තිමත්ව සහ තරගකාරීව සිදුකිරීම සිනොපෙක් සමාගමේ අරමුණ වේ. රුපියල් තුනක වට්ටමක් ලබාදෙනු ලබන මෙම සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් රට පුරා ව්‍යාප්ත කිරීමට එම සමාගම බලාපොරොත්තුවෙන් සිටී.
''රටේ පවතින ඉන්ධන මිලට වඩා අඩුවෙන් මෙම ඉන්ධන ජනතාවට ලබාදීම දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා එම සමාගම අපේ පිරවුම්හලට අවශ්‍ය කරන පොම්ප සැකසීමත්, ඒවා නිසි පරිදි ලබාදීමත් කරලා තියෙනවා. අද වනවිට අප ඉන්ධන පිරවුම්හල මගින් ඉන්ධන අඩු මිලකට ලබාදීම කරගෙන යනවා. ඒ ගැන මෙතනට එන ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.'' යැයි මත්තේගොඩ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය දරන චන්දිම නාලක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
මේ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්ධන පිරවුම්හල් 150ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සිනොපෙක් සමාගම බලාපොරොත්තු වේ. එම ඉන්ධන පිරවුම් සඳහා වසර විස්සක බලපත්‍රයක් ලබා දෙනු ඇත. ඊට අමතරව ලබන වසරේ මැද භාගයේදී නව ඉන්ධන පිරවුම්හල් පනහක්ද රට පුරා ව්‍යාප්ත කිරීමට සිනොපෙක් සමාගම අදහස් කරයි.
I දිශානි ජයමාලි කරුණාරත්න