ඉන්දියාවෙන් බිත්තර මෙරටට ආනයනය කිරීමත් සමඟ මෙරට බිත්තර නිෂ්පාදකයන්ගෙන් බොහොමයක් තම නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත්ව සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය දේශයට පැවසීය. පසුගිය කාලය පුරාවට මෙරට බිත්තර නිෂ්පාදකයන්ට එතරම් සුබදායී ආර්ථික තත්ත්වයක් තම නිෂ්පාදනයෙන් හිමිව තිබුණේ නැත. පසුගිය සති කිහිපය තුළදී බරෙහි ප්‍රමාණය අනුව බිත්තර අලෙවි කිරීමට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.
මාස ගණනාවක් පැවැති අර්බුදකාරී තත්ත්වයකට පසුව වර්තමානයේදී මෙරට බිත්තර නිෂ්පාදකයන්ගේ බිත්තරවල මිලෙහි යම් අඩුවීමක් සිදුව ඇත. එමගින් බිත්තරවලට ලැබෙන ඉල්ලුමත් සමඟ බිත්තර නිෂ්පාදකයන් සහ තොග වෙළෙඳුන්ගේ අලෙවිය ඉහළ යමින් පවතී.
''අද වෙද්දි 55g වැඩි ලොකු බිත්තරයක් රුපියල් 40 කට ගොවිපළින් නිකුත් කරනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 32 සිට රුපියල් 38 දක්වා ගොවිපළෙන් නිකුත් කරනවා. ඒ අනුව මේ වනවිට පාරිභෝගිකයන්ට පහසු වන ලෙසින් ලංකාවේ බිත්තරවල මිල පහළ බැහැලා තියෙනවා. ඒ නිසා ලංකාවේ බිත්තර නිෂ්පාදකයන්ට යම් සැනසිලිදායක තත්ත්වයක් උදාවෙලා තියෙනවා. සෑම මසකම ලක්ෂ 5 ½ත් 6ත් අතර බිත්තර ප්‍රමාණයකින් නිෂ්පාදනය වැඩි වෙනවා. අලුතින් කිකිළියන් බිත්තර දමා එය වෙළෙඳපොළට පැමිණෙමින් පවතිනවා. ඒ නිසා මේ වනවිට ජනවාරි සිට අද වනතුරු තිස්හතර ලක්ෂ විසි දහසක් බිත්තර පරණ නිෂ්පාදනයට වඩා වැඩි වී තිබෙනවා.'' යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී. අලහකෝන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
සංගමය පවසන්නේ මේ වසරේ දෙසැම්බර් මස වනවිට මීට වඩා බිත්තර මිලෙහි යම් අඩුවක් සිදුවිය හැකි බවය. මේ වනවිට බිත්තර නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.
ඔවුන් පවසන පරිදි ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමත් සමඟ ගොවිපළ හිමියෝ බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් ඈත්ව සිටිති. 2022 වසරේ අගෝස්තු 19 ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු මෙම කර්මාන්තයේ නියැළුණු බොහෝ දෙනා එයට විරුද්ධ වූහ. ගැසට් නිවේදනයෙන් පසු ඔවුන්ගේ ගොවිපළේ සිටින සතුන් විකුණා කර්මාන්තයෙන් ඉවත් වීමට ඔවුහු තීරණය කළහ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම නොසලකා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළේය.
''අපි එම ගැසට් නිවේදනයට විරුද්ධ වුණා. නමුත් අපි කියන දේට කිසිදු කන්දීමක් නොකොට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළා. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට යන නිෂ්පාදන පිරිවැය 39.50 යනුවෙන් සඳහන් කොට අපිට ලබා දුන්නා. ඔවුන් රුපියල් 43 ට සිල්ලර විකුණන්න යැයි අපිට කිව්වා. නමුත් ප්‍රවාහන ගාස්තු, සිල්ලර වෙළෙඳුන්ට ලබා දෙන මුදලත් සමඟ නිෂ්පාදකයන්ට බිත්තරයක මිල රුපියල් 35 ක් පමණ වෙනවා. ඒ කාලය අනුව සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණන් අනුව රුපියල් 39.50 ක මිලක් යෙදිලා තිබුණා. ඔවුන් 43 කට විකුණන්න යැයි කීම කවදාවත් කරන්න බැරි දෙයක්. එයින් අපේ ගොවිපළවල සිටි සතුන් විකුණා දමා බොහෝ දෙනා මේ කර්මාන්තයෙන් ඉවත් වුණා. ඇත්තටම මෙය මේ කර්මාන්තය බිඳ දමන්නට කරපු ක්‍රියාවක්. මෙය නිර්මාණය කරපු අර්බුදයක්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ගැටලුව උඩු දිව්වා. නැත්නම් මේ ගැටලුව මාස තුන හතරක් වගේ කාලයකදි ක්‍රමානුකූලව නැවත විසඳන්න තිබුණා. නමුත් මොවුන් රටින් බිත්තර ගේන්න ඕන පසුබිම හදාගන්න මේ ගැසට් එකක් නිකුත් කරලා පාරිභෝගිකයන්ට බිත්තර අඩුවට ගේනවා යැයි පවසමින් බිත්තර කර්මාන්තය බිඳ දැමුවා.'' යැයි අලහකෝන් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
පසුගිය කාලය තුළදී කොවිඩ් වසංගතය, ඉන්ධන මිල ඉහළ යාම, රටේ පැවති අර්බුදකාරී තත්ත්වයන් හමුවේ බිත්තරවල මිල ඉහළ ගිය බව සංගමය ද පිළිගනී. නමුත් ඔවුන් පවසන්නේ එලෙස මිල ඉහළ යාමට සාධාරණ හේතු තිබූ බවය. එවැනි අර්බුදකාරී තත්ත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් පාරිභෝගිකයන්ට අඩු මිලට බිත්තර ලබා දීමට උත්සාහ ගනිමින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට මුල් වූ නිලධාරීන් හට විශාල කොමිස් මුදලක් අත්ව ඇති බවට ඔවුහු චෝදනා කරති.
''මේ වනවිට නැවතත් බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීමට අනුමැතිය ලැබිලා තියෙනවා. දෙසැම්බර් මාසය වෙද්දී බිත්තර නවකෝටි විසි ලක්ෂයක් ආනයනය කිරීමට සූදානමක් තියෙනවා. මෙයින් යම්කිසි හිස ඔසවා තම නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදුණු බිත්තර නිෂ්පාදකයන්ව නැවතත් සුනාමියකට අහුවුණා වගේ විනාශ වීමක් සිදුවේවි. බිත්තරවලට පමණක් නොවෙයි, කුකුළු මස්වලටත් අත්වෙන්නේ මේ ඉරණමයි. දේශීය නිෂ්පාදන වට්ටන මේ වැඩපිළිවෙළ නිසා බොහෝ බිත්තර නිෂ්පාදකයන් මේ කර්මාන්තයෙන් ඉදිරියේදී ඉවත් වේවි. මෙයින් ලංකාවේ බිත්තර ක්ෂේත්‍රයට කඩාගෙන වැටේවි. දැන් ලංකාවට ඉන්දියාවේ බිත්තර අවශ්‍ය වෙන්නේ නැහැ. අද සහනදායී මිලට ලංකාවේ බිත්තර මිලදී ගන්නට පාරිභෝගිකයන්ට හැකියාව ලැබිලා තියෙනවා. වර්තමානයේදී හැම ගොවිපළකම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර විකුණගන්න බැහැ. ඒ තරමටම බිත්තර වැඩියි. විදෙස් රටවලින් බිත්තර වෙනුවට අපේ බිත්තර කර්මාන්තයට අවශ්‍ය උපාංග, ඖෂධ ආදිය ලාභ මිලකට අපිට ගෙනත් දෙන්න. මේ කර්මාන්තයෙන් අද වෙද්දි ලක්ෂ දහයකට වඩා පිරිසක් යැපෙනවා. මේ කර්මාන්තය වෙනුවෙන් අමුද්‍රව්‍ය ගෙන්වන සමාගම් තියෙනවා. ඒවායින් තවත් පිරිසක් යැපෙනවා. මේ හැම ජීවිතයක්ම යැපෙන්නේ මේ කර්මාන්තය හරහායි. ඒ නිසා පිටරටින් බිත්තර ගෙන්වනවා වෙනුවට මේ කර්මාන්තය රැකගන්නට අදාළ නිලධාරීන් උදව් කළ යුතුයි.'' යැයිද අලහකෝන් මහතා පැවසීය.
''පසුගිය කාලයේදී අපේ කුකුළු ගොවිපළවල පැටව් හිටියේ නැහැ. බිත්තරවලට නිසි මිලක් නොමැතිවුණු පසුගිය කාලයේදී බොහෝ කුකුළු ගොවිපළවල සිටි කිකිළියන් මසට විකුණන්න සිදුවුණා. ගොවිපළවලට බිත්තර දමන්නට මව් පැටව් ලබාගන්න ඕනෙ. නමුත් ඒ මව් පැටව් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ නියැළුණු ගොවීන් බොහොමයක් මේ කර්මාන්තයෙන් ඉවත් වුණා. ඉතා සීමිත පිරිසක් පාඩු පිට මේ කර්මාන්තයේ නියැළුණා. බිත්තරවලට මිලක් ඇවිත් තියෙන විට රජයෙන් බිත්තරවලට ගැසට් එකක් නිකුත් කළා. කිසිම සොයා බැලීමකින් තොරව නිකුත් කළ ඒ ගැසට් නිවේදනයෙන් තවත් මේ ක්ෂේත්‍රයට පාඩු සිදුවුණා. තවමත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනවා. ක්ෂේත්‍රයෙන් අයින්වෙලා හිටපු මිනිස්සු බිත්තරවලට නැවත මිලක් ලැබෙද්දි නැවත මේ කර්මාන්තයට එකතු වුණා. වර්තමානයේදී ලංකාවටම බිත්තර ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ආයෙත් පිටරටින් බිත්තර ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලිය ඕනෑ තරමින් දැන් සිදුවෙනවා. අද වෙද්දි මගේ ගොවිපළේ සතුන් පනස් දහසක් හැට දහසක් පමණ ඉන්නවා.'' යැයි හෙට්ටිපොළ කුකුළු ගොවිපළක හිමිකරු වූ වසන්ත උදයසිරි මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න