2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

බොරු සිවුරු පොරවාගත් උද්ඝෝෂකයෝ

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 265

ජාතිය හා ආගම මිනිසුන්ගේ හදවතට දැනෙන ඉතා සරල සංවේදී කාරණා දෙකකි. ඒ තරමට සිත් තුළ ජාතිය, ආගම දහම පිළිබඳ හැඟීමක් කිඳා බැස තිබේ. ජනතාව මේ පිළිබඳ බලපෑමකින් හෝ ආයාසයකින් තොරව කතා කිරීමට, පෙනී සිටීමට ඉදිරිපත් වන්නේ එබැවිනි. සංවිධානගත ඇතැම් පාර්ශ්ව ජාතික ආගමික අන්තවාදී මත වපුරා ගැටුම් ඇතිකර සමාජ දෙකඩ කොට එහි වාසිය ලබාගැනීමටත් උත්සාහ ගන්නා බව දකින්නට ලැබේ.

මෙරට නිදහස ලබන්නට පෙර අතීතයේද ජනවාර්ගික හා ආගමික ගැටුම් පැවති බවට සාධක තිබේ. ශ්‍රී ලංකාව නිදහස ලබාගෙන ගෙවී ගිය අවුරුදු 75 ක කාලය තුළද වරින් වර වාර්ගික ගැටුම් ඇතිවිය. මෙහිදී වඩාත් අවධානයක් යොමුවන්නේද නිදහසට පසුව උද්ගත වූ ගැටුම් සම්බන්ධයෙනි.

1948 වසරේදී මෙරටට නිදහස දිනාගැනීම සඳහා වූ සටනට අපේ ජන නායකයන් ජාති ආගම් බේද සලකා නැති බව පෙනී යයි. ඒ සඳහා මෙරට වැසියන් වශයෙන් සිංහල බෞද්ධ නායකයන් සමඟ දමිළ, හින්දු, මුස්ලිම්, ඉස්ලාම් ජාති හා ආගම්වල ජන නායකයන් එක්ව ඇත. පසු කලෙක ඇතිවූ දේශපාලන බලයේ පක්ෂ භේදය හේතුවෙන් එවැනි නායකයන් තුළත් අනුගාමිකයන් අතරත් තරහ මරහ විරසකම් ඇති වී තිබේ.

දශක තුනක් පුරා පැවති යුද ගැටුමට පසුව මෑත ඉතිහාසයේ වසර කිහිපයකදී වරින් වර හටගත් ජාතිවාදී ගැටුම් අන්තවාදී ප්‍රහාර හා රටේ ජනාධිපතිවරයා රටින් නෙරපූ අරගලයද 75 වසරක් පැවති දේශපාලනයේ ගැටලුවකි.

මෙවන් ඉතිහාසයක් තුළ වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය මගින් විශේෂ රහස් තොරතුරු කිහිපයක් අනාවරණය කරගෙන තිබේ. සූක්ෂමවත් රහසිගතවත් සිදු කරගෙන ගොස් ඇති වැඩපිළිවෙළ තුළ මෙරට බෞද්ධ භික්ෂුව හා බුදු දහම අපකීර්තියට පත් කරවන කරුණු ඇතැයිද හෙළි වී ඇත. මෙම සංවිධානගත ක්‍රියාවලිය පසුපස ප්‍රබල දේශපාලන පක්ෂයක බලය සහ මෙහෙයවීම පවතින බවද අනාවරණය වී ඇත. බුද්ධි අංශ රහස් වාර්තාව දක්වන ආකාරයට වයස අවුරුදු 18 – 20 අතර තරුණයන්ට යම් පුහුණුවක් ලබා දී ඔවුන්ට සිවුරු අන්දවා අන්තගාමී දේශපාලන අරමුණු උදෙසා යොදවා ගැනීමට අපේක්ෂිතය. මෙසේ බෞද්ධ තරුණ භික්ෂූන් වහන්සේලා වශයෙන් යොදාගැනීමට මහණ කරවා ඇතැයි කියන තරුණ පිරිස දේශපාලන පක්ෂයක උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා වැනි සටන් ව්‍යාපාරවල පෙරමුණු පළිහක් ලෙස යොදාගැනීමට සූදානම් බව කියැවේ. ඒ සඳහා දැනටමත් තරුණයන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලා වශයෙන් යොදාගෙන ඇති බව වාර්තා වේ.

දේශපාලන අරමුණක් මත සිදු කරන විරෝධතා, උද්ඝෝෂණ හා පෙළපාලි වැනි අවස්ථා සඳහා පුහුණු කළ භික්ෂූන් වහන්සේ යෙදවීමත් ඔවුන් එක අදහසක් වෙනුවෙන් හඬ නැගීම හා ක්‍රියා කිරීම මත අදාළ සිදුවීමට බෞද්ධ ආගමික වටපිටාවක් මවා මුළු මහත් ජාතියක සංවේදී හැඟීම ඒ වෙත ලබාගැනීම සටකපට අදහසකි. ඒ ඔස්සේ බෞද්ධ ජනතාවගේ ආකර්ශනය ලබාගැනීමත් ඇවැසි නම් අන්‍යාගමිකයන් හා ජාතීන් විරසක කිරීමත් සිදු කරන්නට හැකිය.

මේ අයුරින් එක්තරා දේශපාලන පක්ෂයක් සිය දේශපාලන මතය සමාජගත කිරීමට මෙම තරුණයන්ට සිවුරු පොරවා පුහුණු කරමින් ඇති බව බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. එමගින් අවධාරණය කොට ඇත්තේ වගකිවයුතු පාර්ශ්වවල අවධානය ඒ සඳහා යොමුකළ යුතු බවය.

ආගමික සංචිත හෝ පූජ්‍ය පක්ෂය යොදාගනිමින් සිදු කරන දේශපාලන මෙහෙයවීම්වල ප්‍රතිවිපාක භයානකය. අදාළ උසිගැන්වීම හරහා කෙටිකාලීන වාසියක් බලයක් එම පක්ෂ වෙත හිමිවුවද රටක් ජාතියක් වශයෙන් දීර්ඝකාලීන පාඩු හා පසුබෑම්වලට ලක්වන බව පැහැදිලිය. ගෙවී ගිය වසර දහයකට ආසන්න කාලසීමාවේදී ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් අතර මෙරට බල හුවමාරුව සිදුවූ අතර එම කාලය තුළ මෙරට සිංහල හා මුස්ලිම් ජාතින් අතර බරපතළ ගැටුම් පහ හයක්ම හටගැනිණ.

මෙහි පළමු ගැටුම 2014 වසරේ ජූනි මාසයේදී අලුත්ගම - බේරුවල දර්ගා නගරය ආශ්‍රිතව වාර්තා විය. මෙහිදී ජීවිත හානි මෙන්ම බරපතළ දේපළ හානි සිදුවිය. අනතුරුව තවත් ගැටුමක් මහියංගණය ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වෙද්දී ගාල්ල  - ගිංතොට සහ අම්පාර ප්‍රදේශවලදීද සිංහල, මුස්ලිම් ගැටුමක් ඇතිවිය. පසුව මහනුවර - දිගන හා තෙල්දෙණිය ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන බරපතළ ලෙස ජාතිවාදී ගැටුමක් ආරම්භ වී තරුණ ජීවිත දෙකක් සමඟ දේපළ රුසක් අහිමි කෙරිණ. මේ අතර ඉස්ලාම් ආගමික ස්ථානවලට සිදුවූ හානිය බරපතළය.

මේ ගැටුම් හා පහරදීම් සිංහල ජනතාව විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු කළ බව දකින්නට ලැබුණද එහි සැබෑවක් නොවීය. එවකට පැවති දේශපාලන පක්ෂවල අනුහසින් පෝෂණය වූ ඇතැම් ගිහි පැවිදි බලවේග, සංවිධාන, සමිති සමාගම් හා ඒවායේ මාධ්‍ය ප්‍රචාරද එම ගැටුම් පසුපස ප්‍රධාන සාධක විය. අවසානයේ සිංහල බෞද්ධ පමණක් නොව සිංහල, කතෝලික ප්‍රජාවද ආගම්වාදී ගැටුමක පටලවමින් පාස්කු ප්‍රහාර මාලාව එල්ල කළේද අන්තවාදී ආගමික කල්ලියක් විසිනි.

මේ සියලු ගැටුම් හා ප්‍රහාර හමුවේ වන්දි ගෙවා ඇත්තේ රටේ අහිංසක ජනතාව පමණි. අගතියට පත් ජනතාවට තවමත් බලධාරීන්ගේ අවධානය හෝ සහනයක් ලැබී නැත. එබැවින් බුද්ධි අංශ අනාවරණය කළ වත්මන් කල්ලි කණ්ඩායම් බරපතළ අනතුරකි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර