2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

IMF කැටේ මේ පාරත් හොල්ලයිද?

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබාගෙන ඇති ශ‍්‍රී ලංකාවට පළමු වාරිකයෙන් පසු අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය වාර්තා කරන්නට සිදුවී තිබේ. අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන ඉරිදා මෙරටට පැමිණෙනු ඇත. අරමුදල සමඟ සාකච්ඡා කර එකඟ වූ පරිදි ආර්ථිකය හසුරුවන්නේද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බලනු ඇති බව දැක්වේ.

මූල්‍ය අරමුදලේ සංචිතය ලබාගැනීමෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් යෝජනා කරයි. පවතින ආදායම අනුව ජීවත්වීමට හැඩගැස්සවීම එහි ප‍්‍රධාන ලක්ෂණයකි. පැවැත්මකට හුරු වී සිටි, එම ජීවත්වීමේ රාමුව කරා ක‍්‍රමයෙන් ළඟා වී දියුණුවකට පත් වූ සමාජයකට ආපසු හැරී දශකයකට හෝ දෙකකට කලින් ජීවත් වූ ක‍්‍රමයට නැවත ගමන් ඇරඹීම පහසු නැත. එහෙත් මූල්‍ය අරමුදලේ රාමුවට එකඟ වූ ආණ්ඩුව ජන ජීවිතය ආපසු හරවා යවා ඇත. ආදායම අඩුකර ඇති අතර මිලදීගත හැකි ප‍්‍රමාණය සීමාකර තිබේ. මෙම තත්ත්වයෙන් ගැලවෙන්නට ප‍්‍රයත්නයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාව හැසිරෙන ආකාරය අනුව, ජනතාවට බලකරන ස්වභාවය අනුව ආර්ථික වර්ධනය වෙනුවට දුෂ්කර ජීවිතය පවත්වාගෙන යන්නට බලකිරීම පාලකයන්ගේ අභිලාශය වී ඇති බව පෙනේ. 

► යෝජනාවලින් සාර්ථක වී ඇති තරම

මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කරුණු අතරින් සියයට තිස් තුනක ප‍්‍රතිශතයක් 2023 ජූනි මාසය වනවිට සාර්ථක කරගෙන ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයක් හෙළිදරව් කරයි. ජූනි මාසය වැදගත් වන හේතුවක් තිබේ. දිවයිනට එන නියෝජිතයන් ජූනි මාසය දක්වා ප‍්‍රගතිය පරීක්ෂා කර බලනු ඇත. සියයට හතළිස් තුනක කාර්යභාර ප‍්‍රතිශතයක් තවමත් සිදු නොවී ඉතිරි වී තිබේ. යෝජනාවලින් සියයට අටක ප‍්‍රමාණයක් කිසිසේත්ම සිදුකර නැති අතර තවත් සියයට පහළොවක ප‍්‍රතිශතයකට සිදුවූ දේ නොදන්නා බව හෙළි කරයි.

රටට අවශ්‍ය විදේශ මුදල් සංචිතය හා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ලබාගැනීමේදී අරමුදලේ නියෝජිතයන් හා ශ‍්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස රටට ඉහළ සාර්ථකත්වයක් ෙකරගත හැකි වෙතැයි විශ්වාස කළ රාමුවකට ඇතුළු වූහ. ක‍්‍රමෝපායයකට අනුව ක‍්‍රියාත්මක වීමේදී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වන අතර ණය ආපසු ගෙවන හැකියාව ඇතිවන බව මෙයින් අදහස් කරන ලදී. සෑම යෝජනාවක්ම ගිවිසගෙන ඇති වසර හතර තුළ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාවට නංවනු ඇති බවට විශ්වාසයක් දෙපාර්ශ්වයටම නැත. පසුගිය කාලයේ දහසය වතාවක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ණය සංචිත සපයමින් යම් ආකාරයක ප‍්‍රතිසංස්කරණ යෝජනා කළ මූල්‍ය අරමුදල ඒවා සහමුලින්ම සාර්ථක නොවූ බව වටහා ගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ පාලකයන්ටද ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා පළමුවෙන් අවශ්‍ය වී ඇති විදේශ සංචිතය හා මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපදින බව ජාත්‍යන්තරයට අවධාරණය කිරීම හැර අනෙක් උවමනාවක් නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ ප‍්‍රතිසංස්කරණ ගැන ජනතා විශ්වාසයක් නැත. වෙනස් කිරීම් හේතුවෙන් තමන්ගේ පැවැත්ම අර්බුදයකට පත්වන බව කල්පනා කරයි. කෙටි කාලයකට බලයට පත් ආණ්ඩුවක් මූලික රාමුව සඳහා ගමන් කරමින් සිටියදී සම්පූර්ණයෙන්ම ජනතා අප‍්‍රසාදයට ලක්වන සූදානමක නැති බව පැහැදිලි කරුණකි. ඉදිරියේදී අනුපිළිවෙළ කෙසේ වෙතත් පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවේ. ඒවායේ ප‍්‍රතිඵලවලට බලපෑමක් විය හැකි තීරණ පසෙක තබන්නට නායකයෝ සූදානම්ය. වෙරිටේ ආයතනය ඉදිරිපත් කරන දත්ත සලකා බැලීමේදී එම නියමය මතක තබාගැනීම සුදුසුය.

► එකඟ වූ කරුණු සමහරක්

ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවයක් පළමුවෙන් එකඟ වී තිබේ. එය අද සමාජය අත්විඳිමින් සිටින පීඩනයේ එක කොටසකි. දුප්පත් ජනතාවට සහාය වෙන සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කරන අතර බලශක්ති අංශයේ වියදම ආවරණය කරගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම අනිවාර්ය කර තිබුණි. ඉන්ධන මිල සංශෝධනය, විදුලිය ගාස්තු වැඩි කිරීම හා ගෑස් මිල එහි ප‍්‍රතිඵලයකි. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගේ පැමිණිමට කලින් නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කළ අතර විදුලිය ගාස්තු පවා නැවතත් සියයට තිස් ගණනකින් වැඩි කරන්නට යෝජනා කර ඇති බව දැක්වේ. අසාර්ථක හා කාර්යක්ෂමතාවයකින් තොර රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක පිරිවැය සඳහා ජනතාවට වන්දි ගෙවන්නට බලකිරීම මෙහි දී උද්ගත වී ඇති නරක පැත්තකි.

රාජ්‍ය ණය තිරසර කළ යුතු අතර ණය ප‍්‍රතිව්‍යුහගතකරණයක් යෝජනා කර තිබුණි. ණය ප‍්‍රශස්ථකරණය වශයෙන් දේශීය ණය සම්බන්ධව තීරණ ගත් අතර සේවක අර්ථ සාධක අරමුදල හා භාරකාර අරමුදල එයට බිලි වී ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. විදේශීය ණය සඳහා ණය ආපසු ගෙවන සැලැස්මක් සකස්කරගත යුතුව ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ලෝකයේ පිළිගත් සමාගමක සහාය ලබාගත යුතු බව නිර්දේශ කරන ලදී. ප‍්‍රංශයේ මූලස්ථානය කරගත් ලසාඩ් ආයතනය මෙහිදී මූල්‍ය උපදේශකත්වයට තෝරාගත් අතර ජාත්‍යන්තර නීතිඥ සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය නීති කටයුතු සඳහා එකතු කරගෙන ඇත. වසරකට වැඩි කාලයක් ගත වූ නමුත් තවමත් එකඟතාවයකට පැමිණ නැත.

ජාත්‍යන්තර ණය ප‍්‍රතිව්‍යුහගතකරණයේදී ඉන්දීය රජය සිය කැමැත්ත පළමුවෙන්  ප‍්‍රකාශ කළ අතර දෙවැනුව පැරිස් සාමාජිකයෝ එයට අභිලාශය පළ කළහ. චීනයද ශ‍්‍රී ලංකාව සඳහා ණය ප‍්‍රතිව්‍යුහගත කරන සැලැස්මට කැමැති වී ඇති බව පෙනේ. රජයේ ණයවලින් වැඩිම කොටසක් ස්වෛරීත්ව බැඳුම්කර වශයෙන් වාණිජ ණය බව අමතක කළ යුතු නැත.

► මූල්‍ය අංශය ස්ථායි බව දක්වන ප‍්‍රතිපත්ති

විදේශ විනිමය සම්බන්ධයෙන් නම්‍යශීලී ප‍්‍රතිපත්තිය තුන්වැනි අදහස විය. විනිමය අනුපාතිකය වෙළඳපොළට අනුව තීරණය කරන්නට ඉඩදිය යුතු බව යෝජනා කර තිබුණ කරුණකි. මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණෙන නියෝජිත පිරිස මෙම රෙගුලාසි සම්බන්ධව අනුගමනය කළ ඇති පිළිවෙළ සලකා බලනු ඇත. තවමත් විනිමය වෙළෙඳාම මහ බැංකුව මගින් පාලනය කරමින් සිටී. වරින් වර රුපියලේ අගය ශක්තිමත් කරන අතර එහිදී සසලවන පිරිස ඉක්මනින් විනිමය රුපියල්වලට හරවන්නට පියවර ගනී. මහ බැංකුව වාසි සහිතව ඒවා මිල දී ගන්නා බව පෙනේ. 

රජයට හා පෞද්ගලික අංශයට අයත් බැංකු පහක වත්කම් සහ බැරකම් අතර පවතින විෂමතා මූල්‍ය අරමුදල පෙන්වා දී තිබුණි. මූල්‍ය අංශයේ ස්ථායි බව තහවුරු කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ගය වශයෙන් හතරවැනි කරුණ වශයෙන් එය හඳුන්වා දී තිබුණි. වාණිජ බැංකු ප‍්‍රතිප‍්‍රාග්ධනීකරණය කළ යුතුව ඇති අතර ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය පැහැදිලි නැත. රජයේ සහනාධාර ගෙවීම වෙනුවෙන් දුප්පතුන්ගේ බැංකු ගිණුම් රාජ්‍ය බැංකුවල ආරම්භ කළ අතර ඒවායේ අනිවාර්ය තැන්පත් මුදල බැංකුවේ වත්කමක් වශයෙන් පෙන්වීමට උත්සාහ කරන්නේද යන්න අවධානයට ගත යුතු අංශයකි. 

විරුද්ධ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන හඬ නැගීමේ ප‍්‍රතිඵලයක් ලෙස දූෂණ මර්දනය, හා ආර්ථික වර්ධනය ඇති කිරීමට ගත යුතු ව්‍යුහාත්මක  ප‍්‍රතිසංස්කරණ ගැන දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබුණි. දූෂණ මර්දන පනත එහි පියවරකි. පනත් සම්මත කරන නමුත් අති විශාල දූෂණ වශයෙන් හුවා දක්වමින් ගෙන ගිය මතවාද තුළ සත්‍යයක් නැති බව අධිකරණයේදී ඔප්පු වෙමින් පවතී. චෝදනාවට ලක් වූ පිරිස් නිදොස් කොට නිදහස් කෙරේ. මෙවැනි පසුබිමක් තුළ මූල්‍ය අරමුදලේ නියොජිතයන්ට පවා දෙවැනි වාරිකය නිදහස් කිරීමේ කර්තව්‍යයේදී අර්බුදකාරී තීරණ ගන්නට සිදුවිය හැකිය.

► 2023ත් ඍණ ආර්ථිකයක් 

මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අනුමත කරන්නට ඉඩ තිබේ. නියෝජිතයන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ප‍්‍රශ්න කරනු ඇත. පිළිතුරු වශයෙන් උද්ධමනය අඩුවීම, දේශීය ණය ප‍්‍රශස්ථකරණය, බලශක්ති පිරිවැය ආවරණය, අස්වැසුම සහන වැඩපිළිවෙළ, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමට දක්වන වුවමනාව ඇතුළු කරුණු පෙන්වා දෙන බව පැහැදිලිය. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාව මෙම 2023 වසරේදීද ඍණ සියයට තුනක පසුවනු ඇති බව කියැවේ. 2022 වසරේ ඍණ සියයට හතක සිට මෙම අවුරුද්දේ පසුබෑම සමඟ සමාජය පත්ව ඇති අතෘප්තිකර ස්වභාවය ආණ්ඩුව වටහාගත යුතුව ඇත. ජනතා අරගලය සිස්ටම් වෙනස් කරන සේ බල කළේය. සිස්ටම් වෙනස් කිරීම වෙනුවට මෙතෙක් පැවැති ජරාජීර්ණ ක‍්‍රමය නඩත්තු කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මහජනතාවට වන්දියක් ගෙවන්නට සිදුවී ඇත. එය බරපතළ වන්දියකි. උපයන විට ගෙවන බද්ද එයට සාක්ෂියකි. විදුලිය, ඉන්ධන හා ජල ගාස්තුව අභ්‍යන්තරය හුවා දක්වයි. මෙම අංශවල වෙනස්කමක් රහිතව ශ‍්‍රී ලංකාවට කිසිසේත් පැවැත්මක් නැත.

ආර්ථික අර්බුදයෙන් ජය ගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාවට නැංවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමෙන් පසු ඇති කරගන්නා විශ්වාසනීය පදනම වැදගත් නමුත් ඒ හා සමානව ශ‍්‍රී ලංකාවේ න්‍යාය පත‍්‍රයක්ද අවශ්‍ය කෙරේ. නිෂ්පාදනය නංවන, උත්පාදනය දියුණු කරන පිළිවෙළ කුමක්ද? රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයෝජන මගින් මොනවා හෝ නිපදවිය යුතු අතර විදේශ වෙළෙඳපොළට තරඟකාරීව ඇතුළත් විය යුතුව තිබේ. එවැනි තීරණාත්මක කරුණු ගැන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතුය. මූල්‍ය අරමුදලට අවනතව ක‍්‍රියා කරන අතර අනන්‍යතාවයක් ඇති සැලැස්මක් ඊළඟ අයවැය මගින් හෝ ඉදිරිපත් කිරීම අවශ්‍යය.

I  සාරා කන්දෙගොඩ