2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ශ්‍රී ලාංකික උරුමයක් ඇති සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපති!

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

සිංගප්පූරුවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් 70.4%ක ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා එරට 9 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට   ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 66 හැවිරිදි තර්මන් ෂන්මුගරත්නම් සමත් විය. හිටපු නියෝජ්‍ය අගමැති සහ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහු එරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ පළමු චීන නොවන ජාතිකයා බවට පත් විය. ඔහු  ඉහළ පරතරයක් සහිතව පිළිවෙළින් 15% සහ 14%ක ඡන්ද ලබාගත් එරට බහුතර චීන ප්‍රජාවට අයත් අනෙක් අපේක්ෂකයන් දෙදෙනා පහසුවෙන් පරාජය කළේය.

ඔහු එරට 19 වැනි සියවසේ සිට පැවත එන ශ්‍රී ලාංකේය දෙමළ පරම්පරාවේ සිව්වැනි පරම්පරාවට අයත් සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු සිංගප්පූරු පිළිකා ආයතනය ආරම්භ කළ සහ පිළිකා පර් යේෂණ හා ව්‍යාධි විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට නායකත්වය දුන් ''සිංගප්පූරුවේ ව්‍යාධි විද්‍යාවේ පියා'' ලෙස හැඳින්වෙන වෛද්‍ය විද්‍යාඥයකු වන සම්මානිත මහාචාර්ය කේ. ෂන්මුගරත්නම්ගේ පුත්‍රයාය. ජනතා ක්‍රියාකාරී පක්ෂයේ PAP සාමාජිකයකු ලෙස 2020 මහ මැතිවරණයේ විශාලතම ඡන්ද පරතරය ලබා ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණවලදී ඉහළම ජයග්‍රහණ කිහිපයක් ලබාගත් තර්මන් එරට ජනප්‍රිය දේශපාලනඥයෙකි. තර්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය, සිංගප්පූරුවේ මුදල් අධිකාරියේ සභාපති, සිංගප්පූරු ස්වෛරී ධනය අරමුදල GIC හි නියෝජ්‍ය සභාපති, ආර්ථික සංවර්ධන මණ්ඩලයේ ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයේ සභාපති සහ 2001 සිට 2023 දක්වා Jurong GRC හි Taman Jurong අංශය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.

එරට ඉහළ පිළිගැනීමක් ඇති සහ කීර්තිමත් දේශපාලන නායකයකු වන ඔහු, නිදහසේ සිට සිංගප්පූරුව පාලනය කළ පීපල්ස් ඇක්ෂන් පක්ෂය (PAP) වෙතින් ඉවත් වී   ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට අවුල්සහගත නමුත් වඩාත් ස්වාධින තීරණයක් ගත්තේය. වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයකු වන ඔහු 2003 වසරේ සිට කැබිනට් අමාත්‍යවරයකු ලෙසද දශක දෙකකට වැඩි කාලයක් මුදල් ඇමැති (2007-15) සහ නියෝජ්‍ය අගමැති (2011-19) ලෙස කටයුතු කළේය. බොහෝ දෙනා ඔහු වත්මන් අගමැති ලී සියෙන් ලූංගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකූ අතර, ඔහු යම් දිනක ජාතියේ ප්‍රථම චීන නොවන අගමැති බවට පත්වනු ඇතැයි විශ්වාස කළහ. දැන් ඔහු එරට අගමැතිට පමණක් දෙවැනි වන ගෞරවනියම තනතුරට පත්ව සිටී.

සිංගප්පූරුවේ ජනාධිපතිවරයාගේ භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල සම්භාව්‍ය තනතුරකි. නමුත් කාර්යාලය රජයේ මුදල් ගනුදෙනු අධික්ෂණය හා අනුමැතිය ඔහු සතුය. රටේ විශාල නමුත් අනාවරණය නොකළ සංචිත සඳහා යතුර ජනාධිපතිවරයා සතුය.
ඕනෑම අයවැයක් හෝ විශේෂිත ගනුදෙනුවක් හෝ සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක සභාවෙන් උපදෙස් ලබා නිෂේධ බලතල සහිතව, පියවර ගැනීමට ඔහුට හැකිය. ජනාධිපතිවරයාට ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පත්කිරීම හෝ ඉවත් කිරීමට එරෙහිව නිෂේධ   බලය භාවිතා කළ හැකි අතර, අගමැති එකඟ නොවන විට පවා නඩු විභාග කිරීමට දූෂණ විරෝධී කාර්යාංශයට යොමු කළ හැකිය.

සිංගප්පූරු ව්‍යවස්ථාවට අනුව රටේ සුළු ජාතීන් දෙකේ සාමාජිකයන් අවම වශයෙන් වාර පහකට වරක්වත් ජනාධිපති ධුරයේ කටයුතු කළ යුතු ය. මීට පෙර සුළුතර මැලේ ප්‍රජාවෙන් පැමිණි ජනාධිපති හලීමා යාකොබ්  එරට ජනාධිපති වූ පළමු කාන්තාව ලෙස  2017 දී නිතරගයෙන් ජනාධිපති ධුරයට පත් වූවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා සිංගප්පූරු සංචාරයේදී ජනාධිපති යාකොබ් හමුවිය. සිංගප්පූරුවට මීට පෙර මෙවන් සුළුතර වාර්ගික ඉන්දීය ජනාධිපතිවරු දෙදෙනෙක් සිට ඇත - දේවන් නායර් සහ එස්.ආර්. නේතන්ය. නමුත් ඔවුන් දෙදෙනාද නිතරගයෙන් තේරී පත් වූ අයයි.

විශ්ලේෂකයන් පවසන්නේ, රටේ පාලක පක්ෂයට සම්බන්ධ ගැටලුකාරී ආන්දෝලන රැසක් පවතිද්දීම රජයට ආසන්නතම අපේක්ෂකයා ලෙස සැලකෙන තර්මන් ෂන්මුගරත්නම්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය, මිලියන 5.6ක් වන සිංගප්පූරු වැසියන්  තවමත් පාලක පීපල්ස් ඇක්ෂන් පක්ෂය (PAP) මත විශ්වාසය තබා ඇති බවට සුබ  ලකුණක් බවය.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02