මේ වනවිට නියඟය හමාර කරමින් වැස්ස පතිත වුවද තවමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලටද නියං තත්ත්වය දිගටම පවතී. ඇසූ දුටු කාලයක වාර්තා වූ දරුණුතම නියඟය මෙය වන අතර කුඹුරු අක්කර 50,000කට වැඩි ප්‍රමාණයකට පූර්ණ හානි සිදුවූ බව වාර්තා විය. අර්ධ හානි සිදුවූ ප්‍රමාණය මෙයට වඩා බෙහෙවින් අධිකය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් කුඹුරු අක්කර 11,000 පමණ විනාශ වී ඇති අතර උඩවලවේ කුඹුරු අක්කර 65,000ක පමණ පූර්ණ සහ අර්ධහානි සිදුවූ බව වාර්තා විය.
කුඹුරු බේරා ගැනීමේ අටියෙන් සමනළ වැවෙන් ජලය මුදාහැරීමක් සිදුවුවද උඩවලවේ ආදී ජලය අත්‍යවශ්‍ය ප්‍රදේශවලට එම ජලය නොලැබුණු බව ගොවියෝ පවසති. ජලය මුදාහැරීම පිළිබඳ කෘෂිකර්ම ඇමැති සහ විදුලිබල හා බලශක්ති ඇමැති අතර මතබේදයක් ඇතිවූ අතර කෘෂි ඇමැති පැවසුවේ අවශ්‍ය තීරණ නිසි වෙලාවට නොගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවය. ඔහු පැවසුවේ කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය වගා හානිවලට මෙතෙක් ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙවර යල් කන්නයට ගෙවන්නට සිදුවන බවය. ''එම මුදල් ප්‍රමාණය කෙසේ සොයා ගන්නට හැකිවේදැයි යන්න සිතාගන්නට බැහැ. ඇතැම්විට කෝටි දහස් ගණනක් මුදල් ගෙවන්න සිදුවෙනවා ඇති'' යනුවෙන් ඇමැතිවරයා පවසා සිටියේය.
ගොවියන්ට සිදුවූ හානිය පිළිබඳ වන්දි ගෙවිය යුතු යැයි තදින් බලපෑම් සිදුවූ අතර ආණ්ඩුව ඔවුන් නිහඬ කළේ අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන බව පවසමිනි. එහෙත් අපට ලැබී ඇති තොරතුරු අනුව සනාථ වන්නේ තවම සතයක්වත් වන්දි ගෙවා නැති අතර වන්දි ගෙවීමේ සූදානමක් හෝ තවමත් නැති බවය. ගොවියන් අතර වන්දි ඉල්ලීමේ අයදුම්පත්‍ර බෙදාහැර ඇති නමුත් මේ පිළිබඳ විශ්වාසයක් නැති නිසා සමහරුන් ඒවා තවමත් පුරවා යවා නැති බවද දැනගන්නට තිබේ.
හතළිස් දාහේ වන්දිය හොඳටම මදි
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසන්නේ මෙවර වගා හානි වූ ගොවීන්ට ගෙවිය යුත්තේ නිෂ්පාදන පිරිවැයට සරිලන වන්දියක් බවයි. ඔවුන්ට තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමටද ඊළඟ මහ කන්නයට සූදානම් වීමටද මෙම වන්දිය ප්‍රමාණවත් විය යුතු බව ඔහු කියයි.
''මෙම යල් කන්නයේ වැඩියෙන් ගොවියන් වගාවට පෙළඹුණේ ඒ දිනවල පැවැති වී මිල ඉහළ මට්ටමක තිබූ නිසයි. වගා නොකිරීමේ තීන්දුවේ සිටි අයද වගාවට පෙළඹුණා. මුළු ගොවීන්ගෙන් සියයට 75ක් පමණ වගාවට එකතු වුණා. 2022 ජූනි මුල් සතිය පසුවෙලයි ඔවුන් වී වගාවට ආවේ. යල් කන්නය පමා වනවිට මහ කන්නයද පස්සට යාම ස්වභාවයයි. ඊළඟ යල කන්නයද ප්‍රමාද වෙනවා. මෙම තත්ත්වයේ සම්පූර්ණ වගකීම ගොවියන් පිටම පටවන්න බැහැ. ඒ නිසා ගොවීන් වැඩියෙන් වගා කළාය කියන චෝදනාව පදනම් විරහිතයි. පසුගියවර පොහොර තහනම නිසා ඇතිවූ ප්‍රශ්නවලට තවම විසඳුමක් ලැබී නැහැ.
හාල් හිඟයක් එයි කියලා ආනයනය කළොත් ගොවීන්ට ගැටලු ඇතිවෙයි. වෘත්තිමය ගොවින්ගේ ආදායම පහළ යාවි. පොහොර තහනම නිසා උද්ගත වූ ප්‍රශ්නවලට තවම විසඳුමක් ලැබී නැහැ. මේ අර්බුදයෙන් ගොවීන් ගොඩදැමීම රජයේ වගකීමක්. ආණ්ඩු ඇත්තේ අර්බුද කළමනාකරණය කර විසඳීමටයි. ගොවීන්ට පළමුව සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි. එය සාම්ප්‍රදායික වන්දියක් නොවිය යුතුයි. ආණ්ඩුවේ වැරදි නිසා පිට පිට කන්න හතරක් අසාර්ථක වී ඇති ගොවියාට රුපියල් 40,000ක වන්දියක් කොහොමත් සෑහෙන්නේ නැහැ. මෙවර දියයුත්තේ නිෂ්පාදන පිරිවැයට සරිලන වන්දියක්. තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම ඊළඟ මහකන්නයට සූදානම් වීමටද එම වන්දිය ප්‍රමාණවත් විය යුතුයි. කුණු කොල්ලයට නිෂ්පාදන මිලදී ගැනීමට ඇති මං අහුරා ගොවින්ට සාධාරණ මිලක් ගෙවීම අවශ්‍යයි. අතිවිශාල මහජන මුදලක් වැයකර නඩත්තු කරන වී අලෙවි මණ්ඩලය වැනි ආයතනවලින් නිසි ප්‍රයෝජන ගැනීම අවශ්‍යයි.
ෆෝම් බෙදනවා පමණයි
අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාල රත්නායක:
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිපුර සිදුවූයේ අර්ධ වගා හානියි. අර්ධ හානි සිදුවූ ගොවියන්ට වන්දි ලබාදීමට රජයේ කිසිදු සූදානමක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. දැනට ෆෝම් බෙදිල්ලක් පමණක් සිදුවෙනවා. ඒ ෆෝම් පුරවලා ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයට බාරදෙන්න කියලයි අපට උපදෙස් දී ඇත්තේ. ඒත් ඒ සඳහා ගොවියන් කිසිදු උනන්දුවක් නැත්තේ ඒ පිළිබඳ ඇති අවිනිශ්චිතතාව නිසයි.
වගා හානි පිළිබඳ සමීක්ෂණයක් කළේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පමණයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කිසිවෙක් තවම පැමිණ නැහැ. වන්දි දෙන්නේ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කියලයි ආරංචි තියෙන්නේ. මෙහේ ගොවියන් නම් කියන්නේ වන්දි දෙනවාය කියලා ආණ්ඩුව බොරු කරනවා කියලයි. මේ ප්‍රදේශයේ අක්කර 10,000 පමණ වගා හානි වුණා. ගොවියන්ට තමන් වියදම් කළ මුදල හෝ ලැබෙන්නේ නැහැ.
ඇමැතිවරයා කියන්නේ පූර්ණ වශයෙන් සිදුවූ හානිවලට අක්කරයට රුපියල් 40,000 ගෙවන බවයි. එහෙත් තවම ඒ අයටවත් ගෙවීම් ආරම්භ කරලා නැහැ. ගොවියන් කියන්නේ පූර්ණ හානි වූ කුඹුරුවලට රුපියල් ලක්ෂ 1ක් සහ අර්ධ ලෙස සිදුවූ හානිවලට රුපියල් 50,000 හෝ ගෙවිය යුතු බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 46,000 හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 50,000 පමණ පූර්ණ හානි සිදුව තිබෙනවා. ඉතින් මෙලෙස පූර්ණ හානි සිදුවූ කුඹුරුවලටවත් ගෙවන්නේ නැතුව අර්ධ හානිවලට ගෙවන්නේ කෙලෙසදැයි සැකයක් තියෙනවා. එපමණ මුදල් ප්‍රමාණයක් හෝ වෙන්කරලා නැහැ. එහෙම සල්ලි ඇත්තෙත් නැහැ. උඳු, වී, සෝයා, බඩඉරිඟු, අර්තාපල්, බී ලූනු යන වගාවලට වන්දි ගෙවන බව ප්‍රකාශ කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කළේ වී පමණයි.
ඊළඟ කන්නයේ වගාව කරනවාද කියලා විශ්වාසයක් නැහැ
මන්නාරම යෝධවැව යෝජනාක්‍රම ගොවි සංවිධානයේ ලේකම් සාන්තියෝගෝ වින්සන්ට් ප්‍රකාශ කරන්නේ තම ප්‍රදේශයේ කිසිදු ගොවියකුට තවම වන්දි ලැබී නොමැති බවය. ගොවියන් ආකෘති පත්‍ර පුරවා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ඉදිරිපත් කර ඇති නමුත් මෙතෙක් වන්දි ගෙවන බවට හෝඩුවාවක් හෝ නැතැයි ඔහු කියයි.
''වගා විනාශ බලන්නත් ආවා. මේ පැත්තේ බොහෝ වගා මුළුමනින්ම විනාශ වී ඇති අතර තවත් කොටසක් අඩක් පමණ විනාශ වෙලා තිබෙනවා. දැනට සතියකට පෙර සාකච්ඡාවක්ද තිබ්බා. එතැනදී ප්‍රකාශ වූයේ අක්කරයකට රුපියල් 20,000 බැගින් මුල්වරට ගෙවන බවයි. ඉතිරි මුදල් පසුව දෙන බවද කිව්වා. එහෙත් දෙන්නේ කවදාද කියලා කිව්වේ නැහැ. අපට හිතෙන්නේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවයි. මුදල් ලබා නොගෙන ගෙවන බව කීමයි තියෙන ගැටලුව. අක්කරයක් වගාව සඳහා ලක්ෂයකට වැඩි මුදලක් වියදම් වුණා. සහන මිලට පොහොර ලැබුණෙත් නැහැ. මෙහේ ගොවියන් අසරණ වෙලයි ඉන්නේ. වියදම් වූ මුදලෙන් බාගයක් හෝ ලැබුණොත් ලොකු උදව්වක්. ඊළඟ කන්නයේ වගාව කරනවාද කියලා විශ්වාසයක් නැහැ. වී හැරුණු විට මුංඇට, රටකජු, කවුපි වගේ වගාවන්ද විනාශ වුණා. ඒ ගොවියන්ට වන්දි ලැබේද යන්න ගැන ස්ථීරවම කියන්න බැහැ. මුලින් වී වලට ගෙවයි. ඊළඟට තමා අනිත්වා ගැන බලනවා ඇත්තේ. ඒත් කිසිවක් ගැන විශ්වාසයක් නැහැ.
ආණ්ඩුව මග හරිනවා
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:
''ආණ්ඩුව වගා හානිවලට වන්දි ගෙවනවා යැයි කිව්වත් තවම සතයක්වත් ගෙවලා නැහැ. මෙයට පෙර ආණ්ඩුව හැසුරුණු අන්දම ගැන සැලකූ විට මෙවරත් ගොවියාට වන්දි ලැබේදැයි යන්න සැක සහිතයි. ආණ්ඩුව පුරුද්දක් වශයෙන් කරන්නේ නොගෙවා මග හැරීමයි. ගොවියන් වන්දි ඉල්ලනවා. දිගටම ඉල්ලලා නොලැබුණු විට අතහැර දමනවා. එතකොට සියල්ල යට යනවා. දැන් ආයිත් වැස්ස ලැබෙන නිසා යළි වගාවට පෙළඹෙනවා. මාධ්‍යවලටත් මෙය අමතක වෙනවා. වෙනත් පුවත්වලට ප්‍රමුඛස්ථානය දෙනවා. එහෙම වුණාම ආණ්ඩුව සපුරුදු පරිදි මෙවරත් මගහරින්න පුළුවන්. එය තමා දැන් ඔය කරන්න හදන්නේ. අක්කරයකට රුපියල් 40,000 ගෙවන බව ප්‍රකාශ කළේ 2016 අවුරුද්දේ හදපු ඇස්තමේන්තු අනුවයි. එහෙත් 2023 වනවිට එම මුදල දෙගුණයක් පමණ වැඩිවිය යුතුයි. අද පවතින බීජ, පොහොර, ඉන්ධන, ශ්‍රමය ආදිය පාදක කරගෙන යළි ගණන් හැදිය යුතු වෙනවා. එහෙම නැතුව අඩු වන්දියක් ගන්න ගොවියන් සූදානම් නැහැ.
ආණ්ඩුව වන්දි ගෙවීම තබා ගොවියාගෙන් ගත් බඩුවලටවත් තවමත් වන්දි ගෙවා නැහැ. 2018 වසරේ බීජ සඳහා ලොකු ලූනු කිලෝ 10,000 ගන්නා කිලෝවට රු.1000 බැගින් ගෙවීමේ පොරොන්දුවට. එහෙත් ගෙව්වේ නැහැ. වැලිමඩ ඌව, පරණගම ආදී ප්‍රදේශවලින් අර්තාපල් කිලෝ විසි ලක්ෂ හතළිස් හතර දාහක් ගත්තා. මුදල් ගෙව්වේ නැහැ. අපි එයට විරුද්ධව බලපෑම් කළා. උද්ඝෝෂණ කළා. පෙළපාලි ගියා. මුදල් ටිකක් ලැබුණා. ඉතිරිය තවමත් ලැබිලා නැහැ. ඊළඟට සේනා දළඹු උවදුරට වන්දි දෙනවා කියලා කිව්වා. මොණරාගලට විතරක් වන්දි වශයෙන් රුපියල් කෝටි 16ක් ගෙවිය යුතුයි. තවත් ප්‍රදේශවලටද කෝටි ගණන් ගෙවිය යුතු වෙනවා. එහෙත් පොරොන්දු වුණාට සතයක්වත් ගෙව්වේ නැහැ. මේ සියල්ලම අනිවාර්යයෙන් ගෙවන්න තිබෙන දේවල්. ඒත් ගොවින් සැක කරන්නේ මෙයට පෙර මේ විදියට බොරු කරපු ආණ්ඩුව මෙවරත් එසේ නොකර ඉඳියි කියලා හිතන්න බැහැ කියලයි. එහෙත් මෙවර නම් ඒ සෙල්ලමට අපි ඉඩ තියන්නේ නැහැ.
බොහෝවිට ආණ්ඩුව අනුගමනය කරන න්‍යයයක් තමා එවැනි උද්ඝෝෂණ ඇති වූ විට ඒවා යටපත් කිරීමට වන්දි ගෙවන බවට පොරොන්දු වීම. අසරණ ගොවීන්ද එම ප්‍රකාශ ගැන විශ්වාසය තබලා කර බා ගන්නවා. කල් යනවිට දෙගොල්ලන්ටම මේවා අමතක වෙනවා. කටට ආ පලියට වන්දි ගෙවන බව කිව්වත් ඒ සඳහා කිසිම සැලසුමක් නැහැ. මුදල් ප්‍රතිපාදනද වෙන්කර නැහැ. ඒත් ආපදා කළමනාකරණ අමාත්‍යංශය සමාජ සුබසාධන අමාත්‍යංශය වැනි ආයතනවලින් වන්දි ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත හැකියි. ගංවතුරට ජනතාව අවතැන් වූ විට වන්දි ගෙවන්නේ මෙම සල්ලිවලින්. මෙම මුදල්ද එලෙස ගෙවීමට පුළුවන්.
කොහොම වුණත් අපි මෙවර නම් ආණ්ඩුවට ගොවියන් රවට්ටන්න ඉඩදෙන්නේ නැහැ. අපි ගොවියන් සමඟ පාරට බහිනවා. ඇමැතිවරුන්ට බලපෑම් කරනවා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නැහැ. රුපියල් 40,000 ප්‍රමාණවත් නොවන නිසා අනිවාර්යයෙන්ම වැඩිවිය යුතුයි. අපි ඒ පිළිබඳව දිගටම බලපෑම් කරලා ගොවියාට සාධාරණත්වයක් ඉටුකර දෙන බවට පොරොන්දු වෙනවා.''
I යසවර්ධන රුද්රිගු