පසුගිය සිව් වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 4ක් දරිද්‍රතාවයට පත්ව ඇතැයි LIRNEasia නමැති ආසියා පැසිෆික් කලාපය පුරා ක්‍රියාත්මක, ප්‍රතිපත්ති චින්තන පර්ෂදය මගින් කරන ලද සමීක්ෂණයකින් පසුගියදා අනාවරණ කළේය. ඒ අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 4කින් වැඩි වී තිබේ. 2019 දරිද්‍රතාවයෙන් පෙළුණු සංඛ්‍යාව මිලියන 3ක් වූ අතර 2023 එය මිලියන 7ක් දක්වා එනම් සමස්ත ජනගහනයෙන් 31% දක්වා ඉහළ ගොස් ඇත මෙම පිරිස පවුල් මිලියන 2ක් සහ ගෘහ ඒකක මිලියන 1.6.කට අයත්ය. පසුගිය සතියේ එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව සකස් කර ඇති ජාතික පුරවැසි සමීක්ෂණ වාර්තාවද පෙන්වා දෙන්නේ ආහාර, වෛද්‍ය ප්‍රතිකාර සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය ඉටුකර ගැනීම සඳහා ණය වී ඇති ගෘහස්ථ ප්‍රමාණය 33.4%ක් බවටය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019 කළ සමීක්ෂණයකින් ආනවරණ වූයේ මෙරට ජනගහනයෙන් 60%ක් කුමන හෝ ආකාරයකට ණය වී ඇති බවටය.
මෙලෙස ණය වී ඇති ජනගහනයෙන් විශාල පිරිසක් තමන් සතු රන් ආභරණ උකසට තබා ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශය මගින් 2022 මැද භාගයේ සිට කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ප්‍රධාන බැංකු 10ක සහ ගම්පොළ සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක කනකර ආභරණ උගස් කිරීම සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකදී 2023 මැද භාගය වනවිට ජනතාව විසින් උකස් කර ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 650ක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා දේශයට සඳහන් කළේය.
''2015 වසර වනවිට මුළු ලංකාවෙම උකස් කර තිබූ රන්භාණ්ඩවල සමස්ත වටිනාකම වුණේ රුපියල් බිලියන 250ක් වැනි ප්‍රමාණයක්. මෙයට අවිධිමත් අංශයේ තොරතුරු ඇතුළත් වුණේ නැහැ. ලංකාවේ උකස් ක්‍රියාවලිය ප්‍රධාන ආකාර තුනකට සිදු වෙනවා. ඒවා බැංකු සහ ප්‍රධාන මූල්‍ය ආයතනවල, උගස් මධ්‍යස්ථානවල සහ ගම්වල රන්භාණ්ඩ උකසට තබාගෙන මුදල් ලබාදෙන පුද්ගලයන් (අවිධිමත්) සමග කෙරෙන උකස් කටයුතු ලෙස දැක්විය හැකියි. 2023 මැද භාගය වනවිට උකස් තැබීම් රුපියල් බිලියන 650 දක්වා වැඩි වී තිබෙනවා. අවිධිමත් ආකාරයට උකස් කර ඇති භාණ්ඩ පිළිබඳ තොරතුරු ලැබී නොමැති හෙයින් මේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උකස් කර තිබෙන බව පිළිගත යුතුයි. එහෙත් කොපමණ පුද්ගලයන් පිරිසක් මෙම භාණ්ඩ ප්‍රමාණය උකස් කර තිබේදැයි යන්න පිළිබඳ වාර්තා අප සතුව නැහැ. 2022 වසරේ අප කළ සමීක්ෂණයේදී පුද්ගලයන් ලක්ෂ 40ක පමණ ප්‍රමාණයක් භාණ්ඩ උකස් තබා ඇති බවට වාර්තා වුණා. ඇතැම් විට එකම පුද්ගලයා දෙතුන්වර භාණ්ඩ උකස් කර තිබෙනවා. ඒ නිසා පුද්ගලයන් සංඛ්‍යාව කොපමණදැයි නිවැරදි ලෙස පැවසිය නොහැකියි.'' යනුවෙන් සඳහන් කළේය.
රන් මිල වෙනත් භාණ්ඩ මෙන් පහළ නොයන බවට වූ විශ්වාසය නිසා මුදල් ටිකක් යහමින් ඇතිවිට ඉතුරුවක් ලෙස රන් ආභරණ මිලදී ගැනීමට බොහෝ දෙනෙක් හුරු වී සිටියහ. ඉඩකඩම්, යාන වාහන වැනි වෙනත් වත්කම් සඳහා ආයෝජනය කළ නොහැකි විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් සහ පහළ ආදායම්ලාභීහු හැකි අවස්ථාවල රන් භාණ්ඩයක් මිලට ගැනීමට පියවර ගත්හ. එය දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද, පවුලේ මූල්‍ය අවදානම තුලනය කර ගැනීමට සහායක් ලෙසද ඔවුහු සැලකූහ. කිසියම් මුදල් අවශ්‍යතාවකදී ඒවා උකස් කොට එම අවශ්‍යතාව ඉටුකර ගැනීමත් එලෙස රන් ආභරණ මිලට ගත් පුද්ගලයන්ගේ එක් අරමුණක් විය.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයට වතුකරයේ ජනතාව, ග්‍රාමීය ජනතාව, ධීවර ප්‍රජාව, දෛනික වැටුප් ලබන පිරිස සහ පැල්පත්වාසී ජනතාව මුහුණ දුන්නේ 2022 වසර ආරම්භයේ සිටය. පුද්ගලයන් මිලියන 12.34ක පිරිසක් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර ඔවුන්ගෙන් මිලියන 10.13ක්ම ග්‍රාමීය ජනතාව යැයි ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව සකස්කර ඇති ජාතික පුරවැසි සමීක්ෂණය මගින්ද පෙන්වා දී තිබිණි. එය ක්‍රම ක්‍රමයෙන් පැතිර ගොස් මධ්‍යම පාන්තිකයෝද අර්බුදයට මුහුණ දුන්හ.
''මධ්‍යම පාන්තිකයන් සතුව යම් ඉතුරුම් මුදලක් තිබුණා නම් 2022 වසර අවසන් වන විට ඒවා සම්පූර්ණයෙන්ම පාහේ වැය වී තිබුණා. ප්‍රවාහන ගාස්තු, ආහාර ද්‍රව්‍යවලමිල, දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් පිරිවැය වැඩි වුණ නමුදු ඔවුන්ගේ ආදායම් කිසිසේත්ම ඉහළ ගියේ නැහැ. 2021 පවුලකට අවශ්‍ය ආහාර පැස මිලට ගැනීමට අවශ්‍ය වූයේ රුපියල් හැටදහසකට ආසන්න මුදලක්. 2023 වනවිට එය රුපියල් එක්ලක්ෂ දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2019 පුද්ගලයකුට රුපියල් 6,966ක පමණ මුදලකින් ඉතාමත් අවම මට්ටමින් ජීවත් විය හැකි වුණා. 2022 දෙසැම්බර් වනවිට එය රුපියල් 13,777 දක්වා වැඩිවුණා. 2023 ජුලි මාසය වනවිට රුපියල් 16,000 දක්වා වැඩි වී තිබෙනවා'' යැයි මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි.
පසුගිය දිනවල ලංකාවට බල පෑ දැඩි නියඟය හේතුවෙන් බොහෝ වගාබිම් විනාශ විය. කුඹුරු පමණක් අක්කර 65,000ක් පමණ විනාශ වී තිබේ. ගොවි ජනතාව ප්‍රකාශ කළේ තමන් මෙම වගාවන් සඳහා තම කනකර ආභරණ සියල්ල උකස් කොට මුදල් ලබාගත් බවයි. වගාබිම් විනාශ වීමෙන් උකස් කළ භාණ්ඩ බේරාගත නොහැකි බවටත් ඒවා උකස් කළ ආයතනවලට සින්නවනු ඇති බවට නඟන මැසිවිලි මේ දිනවල අසන්නට ලැබේ.
අම්පාර සහ අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි කෘෂිකාර්මික ප්‍රජාව සම්බන්ධයෙන් ද කළ සමීක්ෂණයේදී වැදගත් තොරතුරු අනාවරණ වී තිබේ. ගොවි ජනතාව තම කෘෂි කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, පොහොර, බිත්තර වී, කෘෂි රසායන ආදිය මිලට ගැනීම සඳහා තමන් සතු රන් ආභරණ උකස් කොට මුදල් උපයා ගැනීමට පුරුදුවී සිටියහ. එම කන්නයේ අස්වැන්න විකුණා ලද ආදායමෙන් තමන් උකස් තැබූ ආභරණ බේරා ගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් රසායනික පොහොර තහනම පැවැති කාලයේ බොහෝ පිරිස් කන්නයක් දෙකක් වගාවෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට නිසි ආදායමක් ලැබුණේ නැත. 2022 වැනි කාලයේ යළි කෘෂි කාර්මික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඔවුනට නොමැති විය. එමෙන්ම පොහාර මිල සහ අනෙකුත් වියදම්ද විශාල ලෙස ඉහළ ගියේය. කලින් කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් 30,000කට ආසන්න මුදලක් වැය වුවද 2023 වන විට ඒ සඳහා අවම වශයෙන් රුපියල් 70,000ක පමණ වියදමක් දැරීමට සිදු වී තිබේ. පසුගිය කාලයේ බොහෝ ගොවීන්ට තම වත්කම් උකස් කිරීමට සිදු වූයේ අත ඉතිරි මුදලක් නොමැති වූ බැවිනි. රන් ආභරණ පමණක් නොව, යතුරු පැදි, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය මෙන්ම ඉඩකඩම් පවා උකස් කිරීමට ඇතැමුන්ට සිදුවිය.
''පසුගිය කාලයේ ඇතැම් බැංකුවල උකස් තැබීම් වැඩි වූ අතර ඇතැම් බැංකුවල එය අවම වුණා. ඊට හේතු වූයේ ඒ ඒ බැංකු විසින් අනුගමනය කළ උකස් ක්‍රියාවලිය අනුවයි. එමෙන්ම 2022 අවසන් වනවිට බැංකු නොවන ඇතැම් උකස් ආයතන රත්‍රන් භාණ්ඩ සඳහා බැංකුවලින් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ලබාදීමට කටයුතු කළා. ඇතැම් පිරිස් බැංකුවලට උකස් කොට තිබූ රන් භාණ්ඩ බේරාගෙන එම ආයතනවල උකස් කොට වැඩි මුදලක් ලබාගත්තා ඇතැම් ආයතන බැංකුවලින් උගස් භාණ්ඩ බේරා ගැනීම සඳහා මුදල් ලබාදීමට පවා කටයුතු කළා. පසුගිය දිනවල මහ බැංකුව උකස් පොලිය 18% දක්වා අඩු කිරීමට නියම කරන තෙක් පසුගිය කාලය පුරාම උකස් පොලී අනුපාතිකය පැවතියේ ඉතා ඉහළ මට්ටමකයි. එක් අතෙකින් වැඩි මුදලක් ලබා ගැනීම සහ ඉහළ පොලී අනුපාතිකද අනෙක් අතින් ආර්ථිකය කඩා වැටීම සහ ජීවනෝපාය අහිමිවීම නිසාද බොහෝ පුද්ගලයන්ට තමන් උකස් කළ ආභරණ බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා. ලංකාවේ වෙළෙඳපොළ නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම සඳහා සුදුසු නීති පද්ධතියක් නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ ඇතැම් කූඨ වෙළෙඳුන් එයින් ප්‍රයෝජන ලබාගත්තා. ඇතැම් උකස් මධ්‍යස්ථාන වැඩි මිලක් ලබාදුන් අතර එයට විශාල පොලියක්ද ගෙවීමට සිදු වුණා. එතැනදී බොහෝ පිරිසක් ඔවුන්ගේ කූඨ ව්‍යාපාරයට අහුවුණා. මේ නිසා උකස්කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ භාණ්ඩ එම ආයතනවලට සින්න වුණා. උකස් ආයතන ඒ සම්බන්ධ තොරතුරු ලබාදීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසා සින්න වූ ප්‍රමාණය කොතරම්ද යන්න පිළිබඳ තොරතුරු අපට ලබාගත නොහැකි වුණා. ඒත් ඔවුන්ගේ රන් භාණ්ඩ සින්න වූ බවට ජනතාව අපට පැවසුවා'' යැයි මහාචාර්ය අතුකෝරල සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා