2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

වැඩිකළ තෙල් ගෑස් මිලෙන් බැටකන මිනිසුන්ගේ කඳුළු කතාව

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 110

''අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ'' මොකද අපි ඉන්නෙ හිරිවැටිලනෙ!

හිඟා නොකා හිඟා කෑමට වීම නම් ඛේදවාචකයට මුහුණ දීමට ලක්වැසි බොහෝ දෙනකුට සිදුව තිබේ. බොහෝ පවුල් සේම පුද්ගලයන් සිය කඳුළු කතා පෞද්ගලික ගෞරවය නම් කඩතුරාවෙන් වහගෙන ජීවත් වෙති. විදුලි බිල, ජල බිල සහ ඉන්ධන ගෑස් මිල ද වැඩි වී හමාරය. ජීවන වියදම ද දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත් තව තවත් දොළපිදේනි ඉල්ලා යක්ෂ ප්‍රේත කුම්බාණ්ඩයන් මොර දෙනු ඇසේ. කවරක් වෙතත් අනුන්ගේ බලි තොවිල්වල බිලි පූජාවන්ට කැප කර සිටින සිරිලක්වාසීන් පිළිබඳ සංවේගයෙන් අපි මේ කතාව ලියා තබමු.

අඛණ්ඩව තවත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉකුත්දා ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ද වැඩිවිය. ඩීසල් මිලද ඉහළ දැමුණු අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්ද සුපිරි ඩීසල් මිල රුපියලකින් ද ඉහළ ගියේය. එසේම ලංකා භූමිතෙල් මිල ද රුපියල් 5 කින් වැඩිවිය.  

► රස්සාව අත්හරින්න වෙලා තියෙන්නේ

මෙම මිල ඉහළ යෑම රට පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විශාල බලපෑමක් එල්ල කළේය. මේ හරහා දැවැන්ත පාඩුවක් සිදුවූ බහුදින ධීවර යාත්‍රා ධීවරයකු අපට මුණගැසුණි. බේරුවල ධීවර වරායේ ධීවර කර්මාන්තයේ යෙදෙන ඔහු නමින් චාමර ද සිල්වාය.

“බෝට්ටුව ගොඩ ආවා. මාළුවලට මිලක් නෑ. බොහොම අමාරුවෙන් ආයේ යවන්න ලෑස්ති වුණේ. ඒ අස්සේ තෙල් වැඩි කළා. අපි ලීටර් දාහක් දොළොස් දාහක් ගහනවා. දැන් වැඩිපුර ලක්ෂ දෙක තුනක් ඕනෙ. ඇත්තටම මේ රස්සාව දැන් අතහරින්න වෙන්නෙ. ඩීසල් මිල මේ විදිහට වැඩි කරන එක අසාධාරණයි. බස් ගාස්තු වගේම මාළු මිල වැඩි අඩු කරන්න අපිට බෑ. ඒක තීරණ කරන්නෙ වෙළෙඳපොළ."

පසුගිය සතියේ ගෑස් මිල ද ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කළේය. ඔවුන් කීවේ අවස්ථා ගණනාවකදී සිදුවූ අඩු කිරීම්වලින් අනතුරුව මෙම මිල ඉහළ දැමීම සිදු කළ බවයි. කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් වැඩිවන අතර නව මිල රුපියල් 3,127 ක් බවට පත්විය. කිලෝග්‍රෑම් 5 රුපියල් 58 කින් වැඩිවන අතර නව මිල රුපියල් 1,256 ක් ලෙස සටහන් විය. එසේම කිලෝග්‍රෑම් 2.3 රුපියල් 26කින් වැඩිවන අතර නව මිල රුපියල් 587 ක් විය.

► මාසෙ අන්තිමට අපි ණයකාරයෝ

උද්ගතව ඇති ආර්ථික වටපිටාව හමුවේ රටේ තරුණ පරපුර විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින බව ද පෙනී යයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත්ව සිටිති. පෞද්ගලික ආයතනයක රුකියාවක් කරන චලන සේනාධීර මහතා අප සමඟ කීවේ මෙවන් කතාවකි.

“මම අවිවාහකයි. දෙමාපියෝ එක්ක ජීවත් වෙන්නෙ. එක එක හේතු කියලා අපේ ආයතනය පහුගිය කාලේ පුරා අපේ දීමනා අඩු කළා. ඒ අතරේ රටේ හැමදේම ගණන් ගියා. දැන් ගෙදර බිල් ටික ගෙවලා බයික් එකට තෙල් ටික ගහලා කන්න බොන්න ගෙනත් දැම්මම පඩිය ඉවරයි. මාසේ අන්තිමට ණයකාරයෙක් වෙනවා හැමදාම. ඇත්තටම ජීවිතය ගැන අපිට බලාපොරොත්තුවක් නෑ. අපිට තියෙන ප්‍රශ්න ලොක්කන්ට නෑ."

ඉකුත් මාසයේදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. නව ගාස්තු සංශෝධනයට අනුව දැන් ඒකක 5 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් භාවිත කරන ගෘහස්ථ ජල සැපයුම් සඳහා අය කෙරෙන මාසික ගාස්තුව, රුපියල් 300 කි. ඒකක 31 ත් 40 ත් අතර ජල සැපයුමක් භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් මාසිකව රුපියල් 1500ක ගාස්තුවක් අය කරන අතර ඒකක 41 ත් 50 ත් අතර ගෘහස්ථ ජල සැපයුම් ගාස්තුව, රුපියල් 3000 ක් වේ. ඒකක 76 ත් 100 ත් අතර භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් මාසිකව රුපියල් 4000 ක ගාස්තුවක් අය කෙරේ. එසේම  ඒකක 100 ට වැඩි ගෘහස්ථ ජල සැපයුම් සඳහා රුපියල් 4500 ක් අය කරනු ලබයි.

► අපි කරගහන්නේ අනුන්ගෙ පව්

මේ ආදී මිල වැඩි කිරීම් හමුවේ පීඩාවට පත්වූ කොළඹ කුලී ත්‍රීරෝද රථ  රියැදුරකු වන මොහොමඩ් ඉන්ෆාස් අප සමඟ කීවේ අපූරු උපහාසාත්මක කතාවකි.

“දැන් පෝලිම් නෑ. අපි හරි සතුටින් ඉන්නෙ. මෙයාලා පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරනකොට අපිට දැනෙන්නෙ නෑ. මොකද අපි ඉන්නෙ හිරි වැටිලානෙ. මේ ආණ්ඩුවත් කරන්නෙ තනිකර රඟපෑමක්. එයාලා හිතාගෙන ඉන්නෙ අපිට තේරෙන්නෙ නෑ කියල. මෙයාලා ආයේ සුපුරුදු සෙල්ලම කරන්නෙ. හැම බිලක්ම වැඩි කළා. තෙල් දෙතුන් පාරක් වැඩි කළා. ගෑස් ඊයේ පෙරේදා වැඩි කළා. දැන් ඉස්සර තරම් කොළඹ හයර් නෑ. අපි හැමෝටම කෙළවෙලා. අපි කරගහන්නෙ අනුන්ගෙ පව්."

මේ අතර ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස් හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තුව 32%කින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද පසුගිය සතියේ වාර්තා විය. 2022 වසරේ අගෝස්තු සිට මේ දක්වා විදුලි ගාස්තු සංශෝධන තුනක් සිදු කර ඇත. ඒ අනුව යෝජිත ගාස්තු ඉහළ දැමීම සිදුකළහොත් වසරක කාලයක් තුළ ගාස්තු 200%කට අධික ප්‍රතිශතයකින් ශ්‍රී ලංකාව තුළ විදුලි ගාස්තු ඉහළ යනු ඇත. මෙයද කිසිසේත්ම සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවේ. 

විදුලි ගාස්තුව ඇතුළු සියල්ලෙහි මිල ඉහළ යාම හේතුවෙන් දිගින් දිගටම දිගටම පීඩාවට පත්වන ප්‍රජාවන් අතර රාජ්‍ය සේවකයන්ට ද හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. ඒ අනුව රජයේ දෙපාර්තමේන්තුවක සේවයේ නියුතු සම්පත් ජයසිංහ මහතා ද අපි මෙම සංවාදයට එක්කර ගතිමු. 

► වැඩි නොවුණේ වැටුප් විතරයි

“උද්ධමනය වැඩි වුණා. හැමදේම ගණන් ගියා. ලයිට් බිල, වතුර බිල දෙතුන් ගුණයක් වුණා. රාජ්‍ය සේවයේ එක රුපියලකින්වත් වැටුප් වැඩි වුණේ නෑ. දැන් තෙල් මිල නිසා ආයෙම මග වියදම් වැඩිවෙලා. හැම බඩුවක්ම ගණන් ගිහිල්ලා තියෙන්නෙ. දරුවන්ට උගන්වන්න පන්ති ගාස්තු ගෙවන්න බෑ. බැංකු ලෝන් ගෙවන්න තියෙනවා. රට විතරක් නෙවෙයි අපිත් ණයයි. රාජ්‍ය සේවය මේ ප්‍රශ්නවලින් පුදුම විදිහට අසාධාරණයට ලක්වෙනවා."

මෙම සියලු පීඩාවන් හමුවේ මේ වනවිට රටේ එක් කොටසකට වර්ෂාවත් එක් කොටසකට වර්ෂාව නොමැතිකමෙන් නියං තත්ත්වයකුත් නිර්මාණය වී ඇති බව සඳහන් කළ යුතුය. දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීම ද බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබේ.

එම නිසා මහා මාර්ග ආසන්නයේ වෙළෙඳාමේ නිරත වන වෙළෙඳ ප්‍රජාව ද නියෝජනය වන පරිදි අපි අදහසක් එකතු කර ගතිමු.

► අපි ඉන්නෙ හොඳටම එරිලා

මහරගම ප්‍රදේශයේ ඇය ශානිකා පෙරේරාය.“මොනව හරි කරන්න ඕනෑ නිසා දැන් මේ බිස්නස් එක කරන්නෙ. ඇත්තටම පොඩි පොඩි බිස්නස් කරන මිනිස්සු අන්තිමට එරිලා ඉන්නේ. මිනිස්සුන්ට බඩුවක් මුට්ටුවක් ගන්න සල්ලි නෑ. ඒ කියන්නෙ අපි ඉවරයි කියන එක. දැන් ප්ලේන්ටියක් බනිස් ගෙඩියක් කන්න අතේ කීයක්වත් නෑ. මේ වැස්සට බිස්නස් තවත් අඩුයි. හොරකම් කරන්න ගේම් ගහන්න බැරි නිසා තමා තාමත් මෙහෙම ඉවසගෙන ඉන්නෙ."

මෙලෙස පැහැදිලි වන්නේ මේ මොහොතේ ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ යථාර්ථයයි. බලධාරීන්ට සැබෑවටම ජනතාව පිළිබඳ ඇත්තේ කවර ආකාරයේ වගකීමක් ද අනුකම්පාවක්ද යන්න සැබෑවටම ගැටලුවකි. කෙසේ නමුත් මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් ඊළඟ අදියරේ නිර්මාණය වන අරගලය හෝ අර්බුදය සැබෑවට බරපතළ එකක් වනු ඇත. එම නිසාම කඳුළු කතා රුධිරයෙන් නිමවනු වළකාලීම වගකිවයුත්තන්ගේ වගකීමයි.

I චමිඳු නිසල් ද සිල්වා