2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කාලා හමාරයි එළවළු කුණුගොඩට මිල කණ පිට - ගොවියා අනාථ කළහැටි

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 257

පෙරදිග ධාන්‍යාගාරය කියා කටින් බතල හිටවන රටක ගොවියා රකින්න රාජ්‍ය ආයතන පඳුරකට ගැහුවොත් විසිවෙන තරමට ඇත්තේය. එදා රජවරු ගොවියන්ට දණනමා වැන්දාහ. එහෙව් ගොවි දෙවිවරුන්ට අදත් දේවත්වයෙන් සලකන්නට කප්පරක් ආයතනවල ඉස්තරම් ලොකු මහත්වරුන්ට ලක්ෂ ගණනින් පඩිනඩි දීමනා දෙන්නේ ඒ නිසාමය. ලොකු ලොක්කන් සීත කාමරවල ඉඳන් කුඹුරු වපුරද්දී එදත් අදත් අපේ ගොවියෝ ගෙපැළත් සින්න කර කුඹුරටම වයසට යන්නෝය. හැමදාම ඈත ගව් ගණන් කර තියාන ටවුමට ගිහින් ආර්ථිකයට දෙන අස්වැන්න හවසට කුණු කූඩෙට දාන්න නම් ගෙවල් දොරවල් උකසට තබා වගා කරන්න ඕනෑද? 

දවසකට ලක්ෂ ගාණක් කුසගින්නේ සිටින රටක, තවත් ලක්ෂ ගාණක දරුවන්ට කන්න දී මවුපියන් බඩගින්නේ සිටින රටක කියවෙන්නේ රටපුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග විකුණාගත නොහැකිව දිනපතා විසිකරන බවයි. මෙම අහස පොළොව නුහුලන අපරාධය සම්බන්ධයෙන් අපි සත්‍ය සොයා ගියෙමු‍. එම ගවේෂණයේදී හෙළි වූයේ මේ දිනවල පවතින වර්ෂාව නිසාත්, මිල ගණන් ඉහළ පහළ යාම නිසාත් පෑලියගොඩ, දඹුල්ල, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවල දිනපතා එළවළු තොග මෙලෙසින් ඉවත දැමීම සිදුවන බවය‍. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිරි වන එළවළු තොග මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩයාය කසළ අංගණයට බැහැර කරන බවට වාර්තා විය. එහෙත් තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා පැවසූයේ එම තොරතුර සම්පූර්ණයෙන් වැරුදි බවයි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රුගෙන එන එළවළු තොගවලින් කිලෝ 3000ක් - 4000ක් පමණ දිනපතා විසි කරන බවත් එම තොග ඌරු කෑම ලොරිවලට නොමිලයේ ලබාදෙන බවත් සභාපතිවරයා කියයි. තඹුත්තේගම ආර්ථිකයේ මේ දිනවල වැඩි වශයෙන් කැකිරි සහ වට්ටක්කා ඉවත දැමීමට සිදුවන බව පැවසූ සභාපතිවරයා මෙසේද කීය.

“ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ගම්වල තිබූ සතිපොළ ක්‍රමය නැත්තටම නැතිවුණා. ජනතාව එක්රුස් වෙන්න බය වුණා. ඊටපස්සේ වෙළෙන්දන් පාර දිගට තනි තනිව එළවළු පළතුරු විකුණන්න ගත්තා. සැමට සමානව තිබූ පොළ වෙළෙඳාම වෙළෙඳ ඒකාධිකාරයක් ආධිපත්‍යයක් වුණා.  මේ ඒකාධිකාර ගනුදෙනුව අතරේ ඇතැම් වෙළෙඳුන් පුරුදු වී සිටිනුයේ ඉතිරි වන එළවළු විසිකළත් අඩු මුදලට නොවිකුණන්නටයි.”

විකුණා ගැනීමට නොහැකිව විසිකරන එළවළු පිට පළාත්වල ගිනි ගණනට අලෙවි වන බව තඹුත්තේගම ගොවියන් නොදන්නවා විය නොහැකිය. තඹුත්තේගම ආර්ථිකයේ සභාපතිවරයා පවසන ආකාරයට ඉතිරි වන එළවළු කුණු ගොඩට විසි නොකරන අතර ඒවා ඌරු කෑමවලට ලබාදීමට සිදුවන්නේ කල්තබා ගැනීමට පිළියමක් නොමැති නිසාත් කල්තබාගත්තත් එම එළවළු මිලදී ගැනීමට ජනතාව අකැමැති නිසාත්ය. හැම මිනිහාටම නැතත් ඌරන්ගේ හරි බඩ පිරෙනවානේ කියා හිත හදාගැනීමට තරම් අපි නිහතමානී වෙමු. 

කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවත අසල තිබූ මැනිං වෙළෙඳපොළ දැන් ඇත්තේ පෑලියගොඩය. ඒ පෑලියගොඩත් එළවළු තොග  දිනපතා ටොන් 3ක් එහි කසළ අංගණයට දැමූ බවට පවසා තිබුණේ පෑලියගොඩ පොදු සේවක සමිතියේ උපසභාපති එච්.ටී.එන්. සමරතුංගය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පෑලියගොඩ මැනිං වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති එච්.එම්. උපසේන මහතා පැවසූයේ හාත්පස වෙනස්ම කතාවකි. ඔහු පැවසූයේ එළවළු තොග දිනපතා ඉවත යනවා නම් ඉවත දැමීමට සිදුවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් ඒ නොම්මර තුනේ එළවළු බවත්ය. එසේ වන්නේත් එදිනෙදා හම්බකරන මිනිසුන්ට එදාවේල හරිහම්බ කරගැනීමට නොහැකි වුවහොත් එළවළු මිලදී ගැනීමට නොහැකි වන අතර එහෙයින් එම එළවළු තොග ඉවත දැමීමට සිදුවන බවයි. එළවළු තොග ඉවතට යන ප්‍රමාණය දවසින් දවස වෙනස් වන බවද ඔහුගේ ප්‍රකාශයෙන් තේරුම් ගියේය.  මේ අතර අපි කන්නේ මොන නොම්මරයේ එළවළුදැයි දැනගැනීමට ඔහුගේ මුවින් පිටවූ නොම්මර කතාව පිළිබඳ මම වැඩිදුර විමසුවෙමි.

“මැනිං වෙළෙඳපොළෙන් බෙදාහරින එළවළු නොම්මර 1, 2 සහ 3 වශයෙන් වෙන් කරනවා. නොම්මර 1 එළවළු දෙන්නේ කොල්ලුපිටිය, මීගමුව, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල සංචාරක හෝටල්වලටයි. නොම්මර 2 එළවළු සාමාන්‍ය පොළවලට දෙනවා. නොම්මර 3 එළවළු  තමයි තොටළඟ, පිටකොටුව, දෙමටගොඩ, මට්ටක්කුලිය ප්‍රදේශවලටත් වතු ජනතාවටත් ලැබෙන්නේ. ඒවා තමයි අපේ මිනිස්සු ගොඩවල් ගාණට අරගෙන යන්නේ.”

එදිනෙදා එළවළු ඉවත දැමීමට සිදුවන්නේ නොම්මර තුනේ එළවළු වුවත් එම කාණ්ඩයේ කැරට්, රාබු, පිපිඤ්ඤා, නෝකෝල්, ගෝවා, කැකිරි ආදී එළවළු ඉවත දැමීමට සිදුවුවත් කිසිදාක බෝංචි, තක්කාලි, අල වැනි එළවළු සහ ආහාර ඉවත දැමීමට සිදුවී නැති බවද සභාපතිවරයා පැවසුවේය. දිනකට එළවළු ලොරි 50ක් ලැබෙන විට ඉන් සියයට 5ක් පමණ ඉවත දැමීමට සිදුවන බවත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එළවළු මිලදී නොගැනීමේ බරපතළ ගැටලුවක්ද තිබෙන බවත් හෙතෙම කියයි. ඔහු පැවසූයේ පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා එළවළු ආහාරයට ගත් ජනතාව අද වනවිට බතුයි පරිප්පුයි සෝයාමීටුයි වැඩි වේල් ප්‍රමාණයකට ආහාරයට ගෙන වේල පිරිමසා ගන්නා බවයි. ඒ වගේම ඔහු එක් චෝදනාවක්ද කළේය. එනම් මේ වනවිට පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා වී ඇති බවයි. එනම් වැඩි පාරිභෝගිකයන් පිරිසක් ගෙන්වා ගන්න පිටකොටුවේ සිට නුවර ගම්පහ මීගමුව බස් මෙම ආර්ථිකය හරහා යන්න පහසුකම හදලා දෙන්න කියා බලධාරීන්ට පැවසුවද ඔවුන් නෑසූකන් ඇතිව සිටින බව සභාපතිවරයා පැවසීය.

ශීතාගාරයක් ලැබුණහොත් එළවළු ඉවත දැමීමට විසඳුමක් ලැබෙයිද? යන පැනයට ඔහු පැවසූයේ මෙහෙම කතාවකි.

“එළවළුත් හරියට මළමිනියක් වගේ. මිනියත් එම්බාම් කළාම එම්බාම් එක තියෙනකල් නරක් වෙන්නේ නෑ. එළවළුත් ඒ කූල් එක තියෙන කල් තියෙයි. ඊටපස්සේ වැඩක් නෑ. ඒ නිසා ශීතාගාර ලබාදීම එකම විසඳුමවත් හොඳම විසඳුමවත් නෙමෙයි.”
නොම්මර එකේ එළවළු උසස් වීමටත්, නොම්මර තුනේ එළවළු අඩු කුලේ වෙන්නටත් බැරිය. එහෙයින් එළවළු නොම්මර තුන වුවත් එක වුවත් විසි කරන්න වෙනවා නම් එය එක සේ දරුණු අපරාධයක් හැටියට අපි දකින්නෙමු.

ඔබ හදන එළවළු මෙහෙම විසිකරද්දී මොනවද හිතෙන්නේ? පාරම්පරික ගොවියකු වන  ඒ. අප්පුහාමි ගොවි මහතා මෙහෙම කිව්වේ සැනසුම් සුසුමක් හෙළමිනි.

“මම අවුරුදු 35ක ඉඳන් එළවළු වවලා ආර්ථිකයට යවනවා. පහුගිය කාලෙ ප්‍රශ්නත් එක්ක ණයවෙලා පොහොර අරගත්තෙ. නියඟයට අහුවුණා. මහ වැස්සට අහුවුණා. එහෙම කරල අමාරුවෙන් හදපු එළවළු ටික ආයෙ කුණු ගොඩේ තියෙනවා දකින්න තරම් අපි මහා පවුකාරයො වෙලා. එක වෙලාවකට කලකිරෙනවා. ඒත් අපි එක මොහොතක අතහැරියොත් මුළු රටම අතහැරෙනවා.” 

ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සහ පළතුරු ටොන් 100ක් පමණ අපතේ යන බවත් එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර කොම්පෝස්ට් පොහොර සෑදීමට යොදාගන්නා බවත් දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය පසුගියදා අනාවරණයක් කළේය. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළෙඳ සංගම් සභාපති සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඒ.වී රෝහණ බණ්ඩාර මහතා පැවසූයේ ඉන්දීය මහකොමසාරිස්වරයා පැමිණි පසු වැඩ නැවතී තිබූ ශීතාගාරයේ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. 

කසළ ගොඩට යන දඹුල්ලේ එළවළු ගැන බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“එළවළු ඉතිරි වෙන එක තීරණය වෙන්නට එදිනෙදා වෙනස්වන මිල ගණන් සහ ඉල්ලුමත් බලපානවා. වැහි කාලයට වගේම සාමාන්‍යයෙන් දඹුල්ලට  එන තොග ප්‍රමාණයෙන් සියයට 40ක් වගේ එළවළු ඉවත් කරන්නට සිදුවෙනවා කියා ගන්නෝරුව කෘෂිකර්ම පර් යේෂණය ගණන් හදා තිබෙනවා. මෙහෙම ඉවත් කරන්නට වෙන්න හේතුත් තිබෙනවා. බොහෝ ප්‍රශ්න මතු වන්නේ එළවළු පාර්සල් කිරීමේදී ඇතිවන ගැටලු සහ ලොරිවල ගේන එළවළු ගෝනි උඩ සේවකයන් ඉඳගෙන ඒමෙනුයි. දඹුල්ල නගර සභාවට කොම්පෝස්ට්වලට දුන්නත් දැන් ඒකත් කොම්පෝස්ට් ඉල්ලුම නෑ කියා ගැටලු මතු වී තියෙනවා.” යැයි ද බණ්ඩාර මහතා පැවසීය‍.

“තැලී පොඩි වී විසිකරන එළවළුවලින් ඉන්දියාව පපඩම් වර්ග, ටිපිටිප් වර්ග හදනවා. එළවළු විසිකරනවා වෙනුවට අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි නව කර්මාන්තයක් හඳුන්වා දීලා එයට අනුග්‍රහය ලබාදෙන්න කියලායි. ඒ වගේම එළවළු පාර්සල් කරන බෑග් වෙනුවට ක්‍රමය හඳුන්වා දීලා ඒක කරන්න පුළුවන් විදිහට සම්පත් ලබාදෙන්න. එතකොට මෙම ප්‍රශ්නය අවම කර ගන්නට පුළුවන්.” යැයිද රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

අතිරික්ත එළවළු විසිකිරීම හැර වෙන විකල්පයක් නැතිද? මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ ප්‍රධානතම බලධාරියා වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාය. එහෙයින් අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය ඇමතූ විට  ඇය පැවසූයේ රාජකාරි රුසක් තිබෙන නිසා මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට වෙලාවක් ලැබුණොත් කතා කරන්නම් කියාය.

මේ අවනඩුව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියටවත් කියම්ද කියා මම ඉන්පසු දස අතේ කල්පනා කළෙමි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීමට අප කළ විමසීමේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසුවේය.

“ඔය එළවළු ඉවතට යන ගැටලුව සම්බන්ධයෙන් අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ. ඒ ගැන සොයාබලා වාර්තාවක් සකසන්න මම මේ වෙද්දී වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. එළවළුවලට වගේම මාළුවලටත් ඔය ගැටලුව තියෙනවා. විසිකරන එක සිතාමතා කරන දෙයක්ම නොවෙයි. ඒත් එය අවම කරගන්න සාර්ථක වැඩපිළිවෙළක් අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසුවේය.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද එය නොහැකි විය. ‍

ඉන්දියානු ආධාර මත මෙරට විශාලතම ශීතාගාරය දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය අසල ඉදිකිරීමට පිඹුරුපත් සැකසුණේ 2019 දීය. තවමත් එයට බාලගිරි දෝෂයයි. ප්‍රභාෂ්වර නමින් හැඳින්වූ මෙම ශීතාගාර ව්‍යාපෘතිය මගින් උෂ්ණත්වය සහ තෙතමනය පාලනය වන ශීතාගාර පහසුකම මගින් එළවළු සහ පළතුරු කල් තබා ගැනීමට සැලසුම් කර තිබුණද එම ව්‍යාපෘතිය ලත් තැනම ලොප් විය. මේ ගැන අන්දෝ සංසාරයක් නොදැන දඹුල්ල ආර්ථිකයේ එළවළු කූල්වෙන හැටි බලන්න පසුගියදා දඹුල්ලට පැමිණි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේට ශීතාගාරයේ ඉදිකිරීම් නැවතී තිබෙනු දැක කියැවුණේ අනේ අපොයි කියාය. ඔහු පැවසූයේ මෙවැනි ව්‍යාපෘතිවලට මෙවන් ඉරණමක් අත්වෙනවානම් ඉදිරි ව්‍යාපෘති ලබාදීමේදී දෙවරක් සිතන්නට වන බවයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ පිළිබඳ ඇතැම් ගොවීන්ට සහ වෙළෙඳුන්ට කිසිදු අවබෝධයක් නැති බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසුවේය. එහෙත් ඇතැම් බලධාරීන්ටත් ඒ අවබෝධය නැති බව කියන්නට කොමසාරිස්වරයාට අමතක වන්නට ඇතැයි සිතේ. ඒ කෙසේ වුවත් එළවළු කල්තබා ගැනීමට ශීතාගාර භාවිත කිරීමේ ක්‍රමවේදය අපට අසල්වැසි බංග්ලාදේශය වැනි රටවල පවා ක්‍රියාත්මක වෙයි. එහෙත් එළවළු කල් තබා ගැනීමට ශීතාගාර භාවිතය යනු එක් පිළියමක් පමණකි. සෑම එළවළුවක්ම ශීතාගාරයක තබා කල් තබා ගත නොහැකිය. ශීතාගාරය කෝකටත් තෛලය වුවහොත් කන්න වෙන්නේත් එළවළු නොවේය. ශීතාගාරයක් තනා එම ප්‍රදේශයේ සියලුම ගොවීන්ගේ එළවළු එහි දැමීමටත් නොහැකිය.  ඒ වගේම ශීත ගබඩා පවත්වාගෙන යා යුතු වන්නේ විදුලි බලයෙනි. මෙම ගබඩා නඩත්තු වියදමටත් විදුලි බිලටත් ගොවියාට කර ගැසිය නොහැකිය. ශීතාගාර තනා නඩත්තු වියදම් පාරිභෝගිකයාටත්, ගොවියාටත් දැරීමට නොහැකිය. දැන් ඇත්තේ උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දාන්නත් බැරි ප්‍රශ්නයක්ය. එහෙයින් මේ සෑම ගැටලුවකටම විකල්ප තිබිය යුතුය. ඉවත දමන එළවළුවලින් කරන්නට බොහෝ දේ තිබෙන්නට පුළුවන. ඒ බව ගමේ ගොඩේ අත්තම්මා කෙනකුගෙන් විමසුවහොත් රටේ ජනාධිපතිට වුණත් ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙන බව නියතය. කප්පරක් සිටින රජයේ නිලධාරීන්ට වගකීම ඇත්තේ ගැටලු වැඩිකර ගැනීමටවත් ගැටලු නිර්මාණයවත් නොව ගැටලුවලින් තොර පරිසරයක් ගොඩනැගීමය.

රටක පරම ධනය වන ගොවියා ආරක්ෂා කිරීම පරම වගකීමක් සේ සැලකිය යුතුමය. තම තම නැණ පමණින් තම තම යුතුකම වගකීමට වග වෙමු. බත බුලතින් සපිරුණු ශ්‍රී ලංකාවක් යැයි කට පුරා පැවසීමට හැකිවන්නේ එදාටය.

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02