ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල සම්බාහනාගාර (ස්පා) 625 ක් පමණ පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. මේ අනුව වර්තමානය වන විට රට පුරා, විශේෂයෙන් නගරාසන්න ප්‍රදේශවල හතු පිපෙන්නා සේ සම්බාහන මධ්‍යස්ථාන විවෘත වේ. මේවායින් ඇතැම් මධ්‍යස්ථාන වෙළෙඳ බලපත්‍රයක් යටතේ ලියාපදිංචි වී ඇති අතර තවත් බොහෝ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ හොර රහසේය. මෙලෙස රට පුරා විවෘත වී ඇති මධ්‍යස්ථාන විවිධ නම්වලින් හැඳින්වේ. ඒ අනුව ඇතැම් මධ්‍යස්ථාන පංචකර්ම ප්‍රතිකර්ම මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන ලෙසින් හැඳින්වෙන අතර තවත් සමහර මධ්‍යස්ථාන ස්පා (Spa) ලෙසින් හැඳින්වේ.
සම්බාහන මධ්‍යස්ථානයක් යනු නිල වෙදකම හා බැඳුණු ශරීරයත් මනසත් සුවපත් කරන මධ්‍යස්ථානයක් වුවද වර්තමානයේදී මෙම බොහෝ මධ්‍යස්ථානවල ආයුර්වේද වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක නොමැත. ඒ සඳහා පුහුණුව ලත් තැනැත්තියක නොමැත. ඒ වෙනුවට මෙවැනි බොහෝ මධ්‍යස්ථානවල සිටින්නේ ලාබාල වයසේ පසුවන තරුණියක පමණි. ඔවුන්ව මෙහෙයවන්නට සිටින්නේ කාන්තාවක හෝ පිරිමියකු පමණි.
ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක් පවත්වාගෙන යන්නේ හොර රහසේය. බොහෝ විට කුඩා හෝටල්වල මෙන්ම ඇතැම් රූපලාවන්‍යාගාර ලෙස පවත්වාගෙන යනු ලබන සම්බාහනාගාර මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ මැදිවිය පසුවූ විවාහක පිරිමින්ය. ඒ අතරතුර පාසල් සිසුන් හොර රහසේ පැමිණීමද ඉඳහිට සිදුවේ. නමුත් ස්පා මධ්‍යස්ථානවලට පැමිණෙන පිරිමින්ගෙන් වැඩි පිරිසක් විවාහකයන් බවට තොරතුරු පවතී.
''අද වන විට ස්පා මධ්‍යස්ථාන රට පුරා පැතිරීගෙන යනවා. එලෙස ස්පා මධ්‍යස්ථාන රට පුරා පැතිර යනවා. ඒ ඉල්ලුමට සැපයුමක් විදිහටයි. ඒවාට ඉල්ලුමක් නැත්නම් රට පුරා එවැනි මධ්‍යස්ථාන විවෘත වෙමින් පවතින්නේ නැහැ. මේ ලෝකයේ ඕනෑම රටක වෙන දෙයක්. මුළු ලෝකයේම මෙවැනි තත්ත්වයක් පවතිනවා. අපිට මේක මහ ලොකු මැජික් එකක් වුණාට ඒවා ලෝකයට මැජික් නෙවෙයි. අපේ අයට මේක මැජික් වුණාට හැමදේම කරනවා. ඒවායේ අඩුවක් නැහැ. මේවායේ වැඩ කරන තරුණියන්ගෙන් ඇතැමුන්ට ගණිකාවක් කියලා මම කියන්නෙ නැහැ. ඒ අයට මම කියන්නේ sex workers කියලා. ඒක ඒ අයගේ වෘත්තිය. එය ලෝකයේ තිබුණු පැරණිම වෘත්තියක්. නමුත් අද රටේ පවතින සමාජ රෝග පිළිබඳ නොදැනුවත්කම, රටකට වන ව්‍යවසනය ගැන බොහෝ තරුණියන් තුළ දැනුවත්කමක් නැහැ. හෝටල්වල සම්බාහනය තියෙනවා. රටට පැමිණෙන සංචාරකයන් ආයුර්වේද ප්‍රතිකාරවලට කැමැතියි. වර්තමානයේදී අපි මේ 'ස්පා' කියන වචනය වරද්දගෙනයි තියෙන්නේ. වෙන රටවල්වල මසාජ් කියන දේ උපාධිය දක්වා ඉගෙන ගන්න දෙයක්. අපේ අය 'ස්පා' කියන දේ වෙනමම දේකට යොදාගෙන තියෙන්නේ. ප්‍රමිතියට අනුව නීත්‍යානුකූලව විවෘත වුණු මධ්‍යස්ථාන අපේ රටේ තියෙනවා.'' යැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඇය පවසන්නේ මේ සියලු මධ්‍යස්ථාන නියාමනයකට යටත් කළ යුතු බවය. රට තුළ මේවා පවත්වාගෙන යාමට ප්‍රමිතියක් ලබා දිය යුතු බවද ඇය පවසයි.
රට පුරා සිල්ලර වෙළෙඳසල් මෙන් හතු පිපෙන්නා සේ මෙවැනි මධ්‍යස්ථාන විවෘත නොකොට නිසි ප්‍රමිතියකින් ලියාපදිංචි කොට මෙය නියාමනයක් යටතේ පවත්වාගෙන යා හැකිය. වර්තමානයේදී බොහෝ ගණිකා නිවාස පවත්වාගෙන යනු ලබන්නේද මෙම සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙනි. ඇතැමුන් මෙම 'ස්පා' මධ්‍යස්ථාන හඳුන්වනු ලබන්නේ ''බඩු පොට්'' ලෙසිනි. වර්තමානයේදී රටේ පවතින ආර්ථික අර්බුදය ද සමඟ ස්පා මධ්‍යස්ථාන වෙත රැකියා සඳහා පැමිණෙන තරුණියන්ගේ ප්‍රමාණය වැඩි වී ඇත. එකල ගම්මානවල ජීවත් වන තරුණියන් ගමෙන් කොළඹට සේන්දු වූයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියා සඳහාය. නමුත් වර්තමානයේ ඇඟලුම් ක්ෂේත්‍රයට අත්වී ඇති ඉරණමත් සමඟ බොහෝ කර්මාන්ත ශාලා වැසී ගොස් තිබේ. මේ හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියාවේ නියුතු ඇතැම් තරුණියෝ රැකියාවක් නොමැතිකම හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානවල රැකියාවට යාමට පෙළඹී සිටිති. ''හොඳ සැලරි එකක් දෙනවා. යමු අලුත් රස්සාවක්'' යැයි තම බෝඩිමේ මිතුරියක විසින් සොයා දෙන මේ රැකියාවට ඔවුහු යති. රැකියාවට ගිය අලුත තමන් වෙත පැමිණෙන සේවාදායකයාගේ හිස, අතපය සම්බාහනය කරන්නට මුල් කාලයේදී සිදුවුවද අවසානයේදී ගනුදෙනුකරුවන්ගේ සිරුර ස්පර්ශ කිරීම පමණක් නොව ඔවුන්ට ලිංගික උත්තේජනයක් ලබා දීමටද සිදුවේ. රැකියාවක් නොමැතිකමත්, ආර්ථික අපහසුතා එමට පවතිද්දීත් නැවත ගමට යා නොහැකි වීම හේතුවෙන් ඔවුහු අසරණ වෙති. ඒ අනුව ඔවුහු ස්පා මධ්‍යස්ථානයේදීම සේවාදායකයන්ගේ ආශාව සංසිඳුවනු ලබන ගණිකාවන් බවට පත්වෙති.
ස්පා මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් විවිධාකාරය. ඔවුන්ගේ ආශාවන් ද විවිධාකාරය. මේ බොහෝ සේවාදායකයන් විවාහකයෝ වෙති. බිරිඳ සමඟ එකට ජීවත් වෙන මොවුහු ස්පා මධ්‍යස්ථානය වෙත පැමිණ ගණිකාවන්ගේ ඇසුර ලබති. ඇතැම් තරුණියන් එම සේවා අපේක්ෂකයන්ගේ දරුවන්ගේ වයසේ පසුවන තරුණියන්ය.
''ස්පා සම්බාහනවල සිටින තරුණියන් අඩුම තරමින් මාසයකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයක් කරගත යුතුයි. ඒ තුළින් මේ සමාජ රෝග ඇතුළු ලෙඩරෝගවලින් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට පුළුවන්. මේවාට යන අයගේ ජීවිතත් මේ ලෙඩරෝගවලින් බේරාගන්න ඒ තුළින් පුළුවන් වෙනවා. එවැනි ප්‍රමිතියකින් යුතු තත්ත්වයකට මෙය ගෙන ආ යුතුයි. මොන දේ කළත් මේවා අපිට නවත්වන්න බැහැ. ආදි කාලෙදිත් අපේ රටේත් sex workers ලා හිටියා. ඒකට ඉල්ලුමක් තියෙන නිසා තමයි සැපයුමකුත් තියෙන්නෙ. අද ආර්ථික තත්ත්වයත් එක්ක මේක ඉහළටම ගිහින් තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක විතරක් වෘත්තියක් වෙන්නෙ නැහැ. ඒ නිසා මේවාට එන තරුණියන්ව වෙනත් රැකියාවලට පුහුණු කිරීම කළ යුතු වෙනවා. මේවාට රැකියාවට එන්නේ බොහෝ වෙලාවට ගම්වල අහිංසක තරුණ ගැහැනු දරුවන්. ඔවුන්ගේ ජීවිතේ මෙවැනි මධ්‍යස්ථානවලින් පටන් ගත්තට පස්සේ අතට සැලකිය යුතු මුදලක් ලැබෙද්දී ඔවුන් ඒ වෘත්තියෙම නියැලෙනවා. ඒ නිසා මේ අහිංසක තරුණ දරුවන් අපි බේරාගන්න ඕනෙ. ඔවුන්ට යම් පුහුණු පාඨමාලාවක් කරන්න ඉඩ ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මේ ස්පා මධ්‍යස්ථානවල සේවය කරන අයගේ සෞඛ්‍ය සම්පන්න බව වගේම ඔවුන්ව දැනුවත් කිරීම කළ යුතු වෙනවා. ඔවුන්ව සමාජ රෝග පිළිබඳව දැනුවත් කරන්න ඕනෙ. මේ මධ්‍යස්ථානවලට නිවැරදි පුහුණුවීමක් අවශ්‍ය වෙනවා. සම්බාහනය කියන්නේ උපාධි දක්වා ඉගෙනගත යුතු දෙයක්. මෙය තෙල් ටිකක් ගාලා ඇඟ අතගාන එකක් නෙවෙයි. විදෙස් රටවල ඉඳන් පැමිණෙන සංචාරකයන් අපේ ආයුර්වේද ප්‍රතිකාරවලට හරි කැමැතියි. ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වුණු ආයතනවලින් නිසි ප්‍රතිමියකට ඒ අවශ්‍ය සේවාව ලබා දෙනවා. ඒ වගේම රටේ තියෙන අනෙකුත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවලටත් ප්‍රමිතියකින් යුතුව පුහුණුවක් ලබා දිය යුතු වෙනවා.'' යැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත් ඉදිරි කාලයේදී සම්බාහන ශිල්පීන් ලෙසින් රැකියා සඳහා NVQ මට්ටමින් පුහුණුවීමක් ලබා දීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.
''නගරාසන්න ප්‍රදේශවල දහවල් කාලයේදී විතරක් නෙවෙයි රාත්‍රී කාලයේදීත් ස්පා ආයතන විවෘතවෙලා තියෙනවා. සම්බාහනය කියන්නේ විශිෂ්ට ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් අපි ඒක වරද්දගෙන තියෙනවා. සම්බාහන ශිල්පීන් ලෙස NVQ-4 මට්ටමේ පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒ තුළින් නිල ශාස්ත්‍රය සහ සර්වාංගය පිළිබඳව දැනුමක් ලබා දෙනවා. මෙය විශිෂ්ට දැනුම් පද්ධතියක්. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විශේෂ සුවතා මධ්‍යස්ථානවල හැර බොහෝ සම්බාහන මධ්‍යස්ථානවල ආයුර්වේද වෛද්‍යවරයෙක් නැහැ. ආයුර්වේද වෛද්‍යවරුන් දෙනු ලබන සහතිකයකුත් නැහැ. මේ නිසා සම්බාහන ශිල්පීන් ලෙසින් දේශීය වෛද්‍ය ක්‍රම, චිකිත්සක ක්‍රම පිළිබඳව හදාරනු ලබන NVQ-4 දක්වා පැවැත්වෙන පාඨමාලාව තුළින් දැනුමක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.'' යැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මාධ්‍යට පැවසීය.
රට පුරා පවත්වාගෙන යන මෙවැනි සම්බාහන මධ්‍යස්ථානවල සේවයේ නියුතු බොහෝ තරුණියන් තම රැකියාව සිදු කරනු ලබන්නේ හොර රහසේය. ඔවුහු බොහෝ දෙනා තම රැකියාව පිළිබඳව පවුලේ සාමාජිකයන්ට පමණක් නොව සමාජයටම වසන් කරති. ගමෙන් නගරයට පැමිණ මෙවැනි රැකියාවේ නිරතවෙන තරුණියන් තමන් ජීවත් වන කුලී නිවෙස හෝ කුලී බෝඩිම් කාමරයේ අයිතිකරුවන්ට පවා පවසන්නේ තමන් වෙනත් රැකියාවක් කරන බවකි. පැය 24 පුරාම විවෘතව පවතින බොහෝ ස්පා මධ්‍යස්ථානවල අයිතිකරුවන් බොහෝ විට ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් හා හිතවත්ය. ඒ නිසාම එවැනි හොර රහසේ පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථාන සඳහා පොලිසියේ ගැටලුවක්ද නැත. නමුත් මේ සියල්ලෙන් පීඩාවට පත්වන්නේ අහිංසක තරුණ ජීවිතය. තමන්ගේ හෙට දවස ගැන ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිත බවකි.
I දිශානි ජයමාලි කරුණාරත්න