2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කටුනායක ගුවන්තොටේදී බෑග් නැතිවුණොත්

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 178

කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලයට විදේශ තැපැල් මලු ප්‍රවාහනය කිරීමේදී සහ විදේශවල සිට එවනු ලබන පෞද්ගලික භාණ්ඩ රේගුවෙන් නිෂ්කාෂණය කර හිමිකරුවන් වෙත භාර දී විවිධාකාර අක්‍රමිකතාවන් සිදුවන බව ඔබ අසා ඇතුවාට සැක නැත. ඇතැම් විට ඔබද මෙයින් පීඩාවට පත් වූවෙක් විය හැකිය.

අප දේශය පුවත්පතට නිතර සම්බන්ධ වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරී රන්ජන් දන්තනාරායන මහතා මේ පිළිබඳ අපූරු හෙළිදරව්වක් අප සමඟ සිදු කළේය. මෙම අක්‍රමිකතා වළක්වනු පිණිස ඔහු යෝජනා කර දැනටත් ක්‍රියාත්මක ක්‍රමවේදයන් පිළිබඳව දන්තනාරායන මහතා අප සමඟ පැවසීය.

ගමනාරම්භක ගුවන් තොටුපළවලදීත්  අතරමඟ සංක්‍රමණික ගුවන් තොටුපළවලදී (Transit) වැරදියට හසුරුවන ලද හෝ අතපසුවීම් හේතුවෙන් මඟ හැරෙන ගුවන් ගමන්මලු (Mishandled baggage) බොහෝවිට රේගු කටයුතුවලට මෙන්ම ගුවන්තොටුපළ කටයුතුවලටද ඇතිකරන්නේ බාධාවකි. ඒත් එය ලොවපුරා දැකිය හැකි සුලබ තත්ත්වයක් බව කිව යුතුය. විවිධ හේතුන් මත මඟහැරී සහ පසුව මෙරටට රැගෙන එන මෙම ගමන්මලු සහ මගීන් කැටුව රැගෙනවිත් විවිධ හේතූන් මත ගුවන් තොටුපළේ රේගුවට ඉදිරිපත් කිරීමකින් තොරව වාහක පටියේ හෝ අභිමත ස්ථානයක හැර දමා යනු ලබන ගමන්මලු (Left baggage) ශ්‍රී ලංකා රේගුවට ගෙන දෙන්නේ මහත් පීඩාවකි.

මේ හරහා රේගු බදු වංචා සහ තවත් රේගු අක්‍රමිකතා සිදුවන බවද නොවලහා කිව යුතුය. එසේම මෙම ගමන් මලුවල හිමිකරුවෝ මෙම අක්‍රමිකතා ක්‍රියාපටිපාටිය හේතුවෙන් විවිධාකාර පීඩාවන්ට ලක් වෙති. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතා පසුගිය සමයේ මීට පිළියමක් සෙවීමට උත්සුක විය. ඔහුටත් ඔහුගේ පවුලේ හිතවතුන්ට ගුවන් ගමන් මලු හැසිරවීමේදී සිදු වූ පීඩාවන් ඊට හේතු විය.

රේගු ක්‍රියාවලිය සහ නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති දන්තනාරායන මහතා පවසන්නේ වර්ෂ 1869 සිට ක්‍රියාත්මක වන රේගු පනතේ 107අ (1) වගන්තියට අනුව, රේගු නිලධාරීන්හට මුදල් අමාත්‍යවරයා විසින් ඒ ඒ කාලවලදී පළකරන ගැසට් නියෝගයන්ට අනුකූලව ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් පරීක්ෂා කිරීමට, ඔවුන් කැටුව රැගෙන එන ගමන් මලු අධීක්ෂණයට, පරීක්ෂාව සහ අදාළ ගුවන් මගීන් වෙත භාර දීමද හැකි බවයි. එසේම යම් මගියකුගේ ගමන් මලුවල ඔහුගේ අනුදැනුම සහිතව හෝ රහිතව, බෑමට පෙර හෝ පසු යම් පරීක්ෂණ කිරීමේ හැකියාවද රේගු නිලධාරීන් සතු වේ. එම පරීක්ෂණවලදී පරීක්ෂණවලදී නීති විරෝධී දෙයක් දෙයක් හමුවුවහොත් එම සියලුම භාණ්ඩ රාජසන්තක කළ යුතු වේ.

දන්තනාරායන මහතාගේ ඉහත පැහැදිලි කිරීමට අනුව ගුවන් ගමන් මලු සම්බන්ධ නීතිය පැහැදිලිය. කෙසේ වෙතත් මෙතෙක් මෙරටට රැගෙන එනු ලබන සහ හැරදමා යනු ලබන ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අදාළ කාර්ය මණ්ඩල විසින් රැගෙන ගොස් අදාළ ලිපි ගොනුවල සටහන් යෙදීමෙන් පසු හිමිකරු පැමිණ අයිතිය ප්‍රකාශ කරන තුරු ඔවුන්ගේ භාරයේ රඳවා තබා ගැනීම සිදු කෙරේ.

අනතුරුව භාණ්ඩ හිමිකරුවන් පැමිණ තම අනන්‍යතාවය ඉදිරිපත් කිරීමෙන් පසු එම භාණ්ඩ බාරගත් බවට සටහන් යොදා එම ගමන් මලු ගුවන් තොටුපළ තුළම පිහිටා ඇති රේගු කාර්යාලයේ කාර්යභාර රේගු නිලධාරියාගේ පරීක්ෂාව සඳහා යොමු කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. එහිදී, රේගු කාර්යභාර නිලධාරීයාද අනන්‍යතාවය සහ හිමිකම පරීක්ෂා කිරීමෙන් පසු එම ගමන්මලු රේගු නීතියට අනුව පරීක්ෂාවට අවශ්‍ය රාජකාරි අවසානයේ නිදහස් කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් බැලූ බැල්මටම මෙම ක්‍රියාවලියේ කුමක් හෝ අඩුපාඩු ඇති බව ඔබට පෙනෙනු ඇත. දන්තනාරායන මහතාගේද නිරීක්ෂණය අනුව වසර කිහිපයක සිට ඉහත සඳහන් පසුව රැගෙන එනු ලැබූ ගමන් මලු මෙන්ම හැරදමා යනු ලැබූ ගමන්මලු ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්ගේ අනුමැතියට සහ පරීක්ෂාවට ඉදිරිපත් කිරීමකින් තොරව අවස්ථා කිහිපයකදී නිදහස් කර තිබේ.

ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක්ද ඔහුට ඇත. 2010 වර්ෂයේදී ඔහුගේ පවුලේ සමීපතමයකුගේ පසුව රැගෙන එන ලද ගමන් බෑගයක් සමීපතමයාගේ ගමන් බලපත්‍රය හෝ නිෂ්කාශණය සඳහා අනුමැතියකින් තොරව නිවෙසටම ගෙනැවිත් භාර දී තිබේ. දන්තනාරයන මහතා මෙම අක්‍රමිකතාවය පිළිබඳව එවක රේගු අධ්‍යක්ෂ ජනරාල්ව ලිඛිතව දැනුවත් කිරීමට පවා කටයුතු කර ඇත.

දන්තනාරායන මහතා සඳහන් කරන පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පිළිබඳව ගුවන් තොටුපළ උසස් රේගු නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ. නමුත්, ඒ පිළිබඳව පසුව ගනු ලැබූ ක්‍රියා මාර්ගය කවරක්ද යන්න පැහැදිලි නොමැත. කෙසේ වෙතත් මෑතකදී දන්තනාරායන මහතාගේ හිතවත් පවුලකට මෙසේ පසුව රැගෙන එන ලද ගමන් මලු හතරක් ඔවුන්ගේද අනුමැතියකින් සහ ගමන් බලපත්‍ර ඉදිරිපත් කිරීමකින් තොරව නිවෙසට ගෙනැවිත් භාර දී තිබුණි. මෙහි බරපතළ බව නැවත වරක් අවධාරණය කරන්නට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතා උත්සුක වී ඇත්තේ ඒ අනුවය.

ගුවන් යානය වැරදියට හැසිරවීම හෝ අතපසුවීම් හේතුවෙන් ගුවන් මගියාගේ අනුදැනුමකින් තොරව සිදුවන මෙවැනි අහඹු සිද්ධීන් හරහා නීති විරෝධී ක්‍රියාවන් සිදුවීමට හෝ සිදුකිරීමට අවස්ථාවන් ඉතා විරලය. දන්තනාරය මහතා සඳහන් කරන පරිදි මෙලෙස කැටුව එන ගමන් මලු යමෙක් දැනුවත්වම ගුවන් තොටුපළේ හැරදමා පිටව යන්නේ නම් එයට යම් හේතුවක් යටි පරමාර්ථයක් තිබිය යුතුය. මෙවැනි හැර දමා යනු ලබන ඇතැම් ගමන්මලු තුළ නීති විරෝධී භාණ්ඩ, මත්ද්‍රව්‍යය සහ වටිනා ලෝහ වර්ග තිබිය හැක.

එබැවින් මෙම තත්වය මත, කුමන හෝ හේතුවක්  මත හැරදමා යනු ලබන ගමන් මලු නිසි පරීක්ෂාවන් සිදුකිරීම සඳහා ප්‍රමාදයකින් තොරව රේගු භාරයට ගතයුතු බව දන්තනාරායන මහතා යෝජනා කර සිටියේය. මෙම ගමන්මලු හිමිකරු පැමිණ හිමිකාරිත්වය ප්‍රකාශ කරන තුරු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල භාරයේ මෙම ගමන් මලු රඳවා ගැනීම සැබවින්ම ප්‍රායෝගික නොවේ.

ඒ අනුව පසුගිය වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී නැවත වරක් එවකට ගුවන් තොටුපළේ ස්ථීර රාජකාරීන් සඳහා අනුයුක්ත කර සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මගින් රේගු අධ්‍යක්ෂ ලිඛිතව දැනුවත් කිරීම දන්තනාරායන මහතා කටයුතු කර තිබේ. පසුව රැගෙන එනු ලබන ගමන්මලු සහ හැරදමා යනු ලබන ගමන්මලු පිළිබඳව පාරදෘශ්‍ය භාවයක් සහ වගවීමක් තිබිය යුතුය. ඕනෑම අවස්ථාවක විගණනයකට පහසුවීම පිණිස මෙම ගමන් මලු සියල්ලම රේගු පාලනය යටතට පත්කළ යුතුය යන අදහසින් ඔහු මෙම දැනුවත් කිරීම් සිදුකොට තිබේ.

ඒ අනුව දන්තනාරායන මහතා යෝජනා කර ඇත්තේ ගමන්මලු ලැබුණු දිනය, ගුවන් යානයේ අංකය, ගුවන් මගියාගේ නම සහ ලිපිනය, ගුවන් යානය පිටත්වූ ගුවන් තොටුපළ සහ දිනය, ගමන් මලු සංඛ්‍යාව ආදී තොරතුරු ගුවන් සේවය මගින් වාර්තාවක් පසු දින උදෑසන ගුවන් තොටුපලේ රේගු කාර්යභාර නිලධාරියා වෙත භාර දිය යුතු බවයි.

එසේම හැර දමා යනු ලබන ගමන් මලු ඔවුන්ගේ ලිපි ගොනුවල සටහන් කර ගැනීමෙන් පසු හැකි ඉක්මනින් රේගු කාර්ය භාර නිලධාරී වෙත රාජකාරිමය වශයෙන් භාර දිය යුතු බවද, රේගුවේ ඉහළ කළමනාරිත්වය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අදාළ නිලධාරීන් ඒ පිළිබඳ දැනුවත් යුතු බවද දන්තනාරායන මහතා යෝජනා කර තිබේ.

කෙසේ හෝ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතාගේ යෝජනා ඵලදරා තිබේ. ඔහුගේ ලිඛිත දැනුම්දීම්වලින් අනතුරුව තොටුපලේ උසස් රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිටත් මෙම යෝජනා ක්‍රියාවේ යොදවා තිබේ.

විශ්‍රාම ලැබුවත් දන්තනාරායන මහතා වසර 36කට අධික කාලයක් රේගු සේවයේදී ලබාගත් දැනුම සහ පළපුරුද්ද මෙසේ රට වෙනුවෙන් ලබාදීමට සහ ලබාගැනීම පිළිබඳව නිහතමානී සතුටක් ලබයි. ඔහු මෙම කතාව දේශය සමඟ යොදාගැනීමටද අදහස් කර තිබුණේ එබැවිනි.

I  චමිඳු නිසල් ද සිල්වා

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05