අර්තාපල් ගොවියා සහ වෙළෙඳ පොළේ අර්තාපල් මිල පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් නිර්මාණය වෙමින් පවතී. එයට හේතුව මේ කාලයේ දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට පැමිණීම හා ගොවියාට සහන සැලසීමට යැයි පවසමින් ආණ්ඩුව විසින් ආනයන අර්තාපල් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පසුගිය සතියේ සිට තවත් මාස හතරකට දීර්ඝ කිරීම හේතුවෙනි. එතෙක් පැවැති රුපියල් 20ක් වූ ආනයන අර්තාපල් කිලෝවක බද්ද රුපියල් 50 දක්වා ඉහළ නැංවූයේ පසුගිය මාර්තු මාසයේදීය. තවත් මාස හතරකට බල පැවැත්වෙන පරිදි ඉහළ නංවා ඇත්තේ එම බද්දයි.
මෙය අද ඊයේ සිදුවූවක් නොව, සෑම වසරකම පාහේ සිදුවන බදු ඉහළ දැමීමකි. බලධරයන් ඒ සෑම අවස්ථාවකම නිවේදනය කරන්නේ දේශීය අල ගොවියාට සහන සැලසීම සඳහා මෙම බදු ඉහළ නැංවීම සිදුකරන බවයි. එහෙත් එම බදු ඉහළ දැමිල්ලෙන් ගොවියාට හෝ පාරිභෝගිකයාට හෝ සිදුවන යහපතක් නොමැති බව පෙනී යයි. බද්දට අනුරූපව වෙළෙඳ පොළේ ආනයන අර්තාපල්වල මිල යම් පමණකට ඉහළ යන නමුත් ඒ හේතුවෙන් දේශීය අර්තාපල් අලෙවිය ඉහළ ගොස් ගොවියාට ලාභයක් ලැබෙන්නේ නැත. මේ පිළිබඳ වගකිවයුත්තන් පසුවිපරමක් කරන බවක්ද දැනගන්නට නැත.
මෙහිදී සිදුවන එකම දෙය නම් ආනයන බදු ඉහළ දමන බව කල්තියා දැනගන්නා තොග වෙළෙඳුන් පැරණි බද්දට විශාල ලෙස අර්තාපල් ආනයනය කර තොග රැස්කර තබාගෙන ලොකු ලාභයක් ලැබීමයි. මොවුන් වෙළෙඳ පොළේ මිල ඉහළ යනවිට අඩු මිලට ගෙනා අර්තාපල් වැඩි මිලට අලෙවි කරති. මෙම තත්ත්වයෙන් වැඩි ප්‍රයෝජනය ගන්නේ අතරමැදියන් වන අතර ගොවියන්ට මෙන්ම පාරිභෝගිකයන්ට අත්වන වාසියක් නැත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්තවල දැක්වෙන්නේ අපේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 225,000ක් වන අතර දේශීයව වගාකරන්නේ මෙට්‍රික් ටොන් 33018 පමණක් වන බවය. ඒ නිසා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 191982ක් ආනයනය කිරීමට සිදුව තිබේ. දේශීය අර්තාපල් අස්වැන්න ඉහළ නැංවීමට නම් බීජ අර්තාපල් මෙරට තුළ නිෂ්පාදනය කළයුතු වෙයි. එහෙත් තවමත් සිදුවන්නේ විශාල මුදලක් ගෙවා දේශීය බීජ අල ආනයනය කිරීමයි. මේ සඳහාම කටයුතු කරන අතරමැදි වෙළෙන්දෝ සිටිති. ඔවුහු ආනයනය කරන බීජ විශාල මුදලකට ගොවියාට විකුණා අධික ලාබ ලබති. දේශීය අර්තාපල් මිල නිතරම ඉහළ මට්ටමේ පවතින්නේ මේ නිසාය.
මේ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ දේශීය බීජ අර්තාපල් සැපයීම මිලියන 3 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවය. එමගින් අර්තාපල් මෙට්‍රික් ටොන් 3000ක් සකසා ගැනීමට බලාපොරොත්තු වන අතර, එය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 24ක් බව කියයි. කෘෂිකර්ම අමාත්‍යංශය මේ පිළිබඳ පවසන්නේ අස්වනු නෙලාගන්නා කාලයේදී ආනයන බදු ඉහළ දැමුවද ආනයනකරුවන් වසර පුරාවටම අර්තාපල් ආනයනය කරන බවයි. ඒ නිසා ඔවුන්ට සාමාන්‍ය බද්ද යටතේ ආනයනය කිරීමට හැකි වී තිබේ. මේ තත්ත්වය නිසා ගොවියාට අසාධාරණයක් වන බව අමාත්‍යංශය හඳුනාගෙන ඇත. මෙහිදී අවශ්‍යව ඇති ප්‍රධානතම දෙය නම් අඩු මිලට ගොවියාට බීජ අර්තාපල් ලබාදීමය. තවද මේ වනවිට බීජ අර්තාපල් මිල විශාල ලෙස ඉහළ ගොස් ගොවියා අමාරුවේ වැටී ඇත. කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ තමා මේ පිළිබඳ අවබෝධ කරගෙන නුවරඑළිය, සීතාඑළිය, දියතලාව සහ කහගොල්ල බීජ අර්තාපල් ගොවිපළවල කටයුතු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර අවශ්‍ය උපදෙස් අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහට ලබාදී තිබෙන බවයි.
කෙසේ වුවද දේශීය අල ගොවියාට සහන සලසමින් නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් පාරිභෝගික ජනතාවටද ගුණාත්මක බවෙන් යුතු අර්තාපල් පහසු මිලට ලබාදීම අවශ්‍ය වන්නේ දැනට ආහාර මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක් පවතින නිසාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ අවධාරණය කරන්නේ ආනයනය කිරීමට අවශ්‍ය වන අර්තාපල් ප්‍රමාණය සඳහා දේශීය අලවර්ග ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යංශය හරහා දියත් කිරීමේ අවශ්‍යතාවයයි. මෙලෙස දේශීය අලවර්ග ජනප්‍රිය කිරීම තුළින් අනවශ්‍ය ලෙස විදේශ විනිමය රටින් පිටතට ඇදීයාම වැළැක්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
''අර්තාපල් යනු අපේ රටට ආවේනික ආහාරයක් නොවෙයි. අප නතුකරගෙන සිටි විදේශිකයන් විසින් අපට හුරුකරනු ලැබූ ආහාරයක්. අර්තාපල් ප්‍රධාන වශයෙන් දිවයිනේ නුවරඑළිය, වැලිමඩ සහ යාපනය යන ප්‍රදේශවලයි හැදෙන්නේ. ඒ ඒ ප්‍රදේශ අනුව අර්තාපල්වල ගුණාත්මකභාවය අඩු වැඩිවෙන්න පුළුවන්. වැලිමඩ අර්තාපල් තමා වඩාත් ප්‍රසිද්ධ. අපට කිසිවිටෙක අර්තාපල්වලින් ස්වයංපෝෂිත වන්නට බැහැ. රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට 60-65ක් පමණයි. ඉතිරි ප්‍රමාණය ආනයනය කරන්නට වෙනවා. ඒ නිසා කිසිවිටෙක ආනයනය සපුරා නැවැත්විය නොහැකියි. මෙහිදී සිදුවිය යුත්තේ ආනයන අර්තාපල්වල මිල හා දේශීය අර්තාපල් මිල සමානුරූපීව තබා ගැනීමයි. මෙහිදී පාරිභෝගිකයාටත් අසාධාරණයක් විය යුතු නැහැ.
අද නිෂ්පාදන වියදම වැඩියි. බීජ අර්තාපල් මිල වැඩියි. පොහොර හා කෘෂි රසායන මිලත් පවතින්නේ ඉහළ මට්ටමකයි. රුපියලේ විදේශ අගයද පහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ගොවියාට නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිලක් තිබිය යුතුයි. ආනයනය කරන අර්තාපල් මිල වඩාත් පහළ මට්ටමක තිබේ නම් දේශීය නිෂ්පාදන වෙළෙඳපොළ පහළ යනවා. අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එන කාලයට රජය අර්තාපල් සඳහා ආනයන බද්ද ඉහළ දමන්නේ මේ නිසයි. එහෙත් එයින් මෙම ගැටලුව සම්පූර්ණයෙන් විසඳන්න අපහසුයි. බදු වැඩි කිරීමේදී මිල වැඩිවන නිසා පාරිභෝගිකයාට වෙන අසාධාරණය ගැනද සලකා බැලිය යුතු වෙනවා.
ඇතැම් ආනයනකරුවන් උත්සාහ කරන්නේ බදු වැඩිකරන්නට ආසන්න වනවිට විශාල වශයෙන් තොග ගෙනැවිත් රැස්කර තබාගෙන බද්ද අනුව නියමවෙන මිලට අලෙවිකර අධික ලාභ ලැබීමටයි. දීර්ඝ කාලයක් ශීත ගබඩාවල තබාගත් විට අලවල ප්‍රමිතිය බාල වෙනවා. අද ආනයනික අර්තාපල්වල ගුණාත්මක භාවයේ ප්‍රශ්න ඇත්තේ ඒ නිසාය. මෙහිදී ආනයන බලපත්‍ර දීමේදී ප්‍රවේශම් විය යුතුයි. අපේ රටේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යැයි සෑම වසරකම වාගේ අස්වැන්න ලැබෙන කාලයට ආනයන බදු ඉහළ දැමීමත් දේශීය නිෂ්පාදකයාට ඉන් ලැබෙන වාසියක් නැහැ.
මෙහිදී සිදුවිය යුත්තේ ආනයනික අර්තාපල් වෙනුවට ජනතාව විකල්ප දේශීය අලවර්ගවලට නැඹුරු කිරීමයි. අපේ රටේ ඇති විවිධ අල වර්ග අර්තාපල්වලට වඩා ගුණාත්මක බවෙන් අනූනයි. මෙලෙස දේශීය ආදේශකවලට යොමු කළහොත් එය විදේශ විනිමය අර්බුදයටද පිටිවහලක් වේවි. පේෂණවේදීන්, කෘෂි විද්‍යාඥයන්, විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන්, පළාත් කෘෂිකර්ම විශේෂඥයන් එකතු වී මේ සඳහා වැඩපිළිවෙළක් ඇතිකළ යුතු වෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර් යේෂණ ආයතනය වැනි අංශවල සහය ලබාගෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යොමුවිය යුතුයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:
ආණ්ඩුව ආනයන අර්තාපල්වල බද්ද වැඩි කරලා දේශීය ගොවියාට සහන සැලසුවා යැයි කීවාට අපට නම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ. දේශීය අර්තාපල් රුපියල් 200-225 සීමාවේ තමා තියෙන්නේ. මේ දිනවල ඌව පරණගම, වැලිමඩ, බොරලන්ද ආදී ප්‍රදේශවල අර්තාපල් අස්වැන්න නෙලීම අරඹලා තියෙනවා. නිෂ්පාදන වියදම වැඩියි. එයට සරිලන ආදායමක් නොලැබෙන නිසා ගොවියන් වගාවෙන් දුරස් වෙනවා. අක්කරයක වගා කරන්න බීජ අර්තාපල් හොන්ඩර 16ක් අවශ්‍යයි. හොන්ඩරය රුපියල් 25,000, 30,000 මිල වෙනවා. කෘමිනාශක, රසායන පොහොර ආදියට විශාල මුදලක් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඉතින් සියලු වියදම් ආවරණය කරන අන්දමට දේශීය වෙළෙඳපොළ සකස් විය යුතුයි. එහෙම නැතිනම් ගොවියාට අනාගතයක් නැහැ.
මේ දිනවල අර්තාපල් පමණක් නොවෙයි. සෑම එළවළුවකම වාගේ මිල පහළ ගිහිල්ලා තියෙන්නේ. ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනෙන එළවළු විනාශ කරන්නට සිදුවෙලා. අර්තාපල්වලට සිද්ධ වෙන්නේ ඒ ඉරණම තමා. පාඩුවට අලෙවි කරනවාට වැඩිය ඉවත දමන එක හොඳයි කියලයි ගොවියො කියන්නේ. ආනයන අර්තාපල්වලට බදු පැනවීම ගැන අපට ගැටලුවක් නැහැ. එහෙත් එයින් දේශීය අර්තාපල්වලට යහපත් බලපෑමක් නැතිනම් ගොවියා අමාරුවේ. මේ දිනවල ඉන්දියාවෙන් ආනයනය කළ අර්තාපල් විශාල වශයෙන් වෙළෙඳපොළට පැමිණිලා ඇත. මේවා බදු ඉහළ දැමීමට පෙර ආනයනය කළ ඒවා විය හැකියි. එහෙත් අලුත් බද්දද එකතු කරලා මිල තීරණය කරනවා. මෙයින් පාරිභෝගිකයාට යහපතක් සිදුවන්නේ නැහැ. මෙයින් එක්තරා කණ්ඩායමක් තමයි මුදල් උපයන්නේ.
වී වලට සහනාධාර දුන්නත් අනිකුත් එළවළුවලට සහනාධාර දෙන්නේ නැහැ. වගා හානිවලට ගොවියාට මුහුණ දෙන්න සිදුවෙලා. අර්තාපල් ගොවියාට සාධාරණ මිලක් හිමිවිය යුතුයි. ආනයනික අර්තාපල්වල ප්‍රමිතිය පහළයි. ඒවා ශීත කාමරවල මාස ගණන් තබලයි ගෙනෙන්නේ. ඒවායේ රස දේශීය අර්තාපල්වලට වඩා පහළයි. ඒ වුණත් මිල අඩුවීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයා මිලට ගැනීමට පෙළඹෙනවා. ඒ ගැන ඔහුට දොස් කියන්න බැහැ. මේ අර්තාපල් දෙවර්ගය අතර මිල පරතරය අඩුවනවා නම් පාරිභෝගිකයා දේශීය අලවලට වැඩිපුර නැඹුරු විය හැකියි. වඩාත්ම ප්‍රමිතියෙන් උසස් වෙන්නේ වැලිමඩ අලයි. නුවරඑළිය අල පත්වන්නේ දෙවන ස්ථානයටයි. කොහොම වුණත් දේශීය අල කල්තබා ගත හැකියි. නරක්වීමේ ප්‍රවනතාව අඩුයි. ඒ නිසා පාරිභෝගිකයාට වාසියක් වෙනවා. කෙසේ වුවත් දේශීය අල අතරමැදියන්ට හසු නොවී ගොවියාටත් පාරිභෝගිකයාටත් යහපතක් සිදුවන අයුරු වෙළෙඳපොළට පැමිණිය යුතුයි.
I යසවර්ධන රුද්රිගු