2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සී.අයි.ඩි.ය ඇතුළේ යකා නැටූ හරක් කටා

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මිදිගම නඳුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පලායාමට ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබුණි. ඒ සඳහා සහාය වූ බව කියන එම දෙපාර්තමේන්තුවේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයා සිද්ධියෙන් පසුව පලාගොස් ඇති අතර ඔහු ගැන තවම ආරංචියක් නැත. දැනට හරක් කටාගේ ආරක්ෂාව තරකර තිබෙන අතර ඒ සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය 10 වැනි ඉරිදා හරක් කටා පලායාමට උත්සාහ කොට තිබුණේ එහි ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු සතු ගිනි අවියද උදුරාගෙනය. පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ එම සිදුවීමට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව තරකොට ඇති බවය. ඉරිදා දිනයන්හිදී බොහෝවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිලධාරීන් අඩුය. නමුත් රුඳවුම් නියෝග මත සිටි නඳුන් චින්තක හෙවත් හරක් කටාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමට එදින නියමිතව තිබී ඇත. ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු සඳහා නිලධාරීන් අට දෙනකු සූදානමින් සිට තිබෙන බව පැවසේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවේ ආරක්ෂිතව රඳවා සිටි හරක් කටා ප්‍රශ්න කිරීම සඳහා එම ගොඩනැගිල්ලේ හයවැනි මහලේ පිහිටි මහජන පැමිණිලි විමර්ශන ඒකකය වෙත රැගෙන ගොස් ඇත්තේ එදින පස්වරු 12.30ට පමණය.

ඊට මොහොතකට පසුව හරක් කටා පවසා ඇත්තේ තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බවකි. එහිදී රාජකාරියේ නිතරව සිටි පොලිස් කොස්තාපල්වරයකු සමඟ මාංචුව සහිතව හරක් කටාට වැසිකිළිය වෙත යාමට අවස්ථාව ලබාදී ඇත. එම අවස්ථාවේ හරක් කටාගේ අතට දමා තිබූ මාංචුව ලිහිල්කොට තිබෙන අතර වැසිකිළියෙන් පිටතට ආ පසුව එය නැවත තිබූ ලෙසින් දැමිය යුතුව තිබිණ. කෙසේ හෝ හරක් කටා නැවත එළියට පැමිණ ප්‍රශ්න කරන ස්ථානය වෙත යාමට පිටත්ව තිබුණේ ඔහු පසුපස පොලිස් කොස්තාපල්වරයකු ආරක්ෂාවට සිටියදීය. ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියකු පසුකර යාමට ගිය හරක් කටා එකවරම එම නිලධාරියාගේ ඇඟට පැන ඔහු පෙරළාගෙන තිබුණේ ක්ෂණිකවමය. ඒ මොහොතේ හරක් කටා තම අත වූ මාංචු කුට්ටම ගලවා විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ එක් අතකට දමන්නට තරම් ඉක්මන්ව තිබූ නමුත් එම නිලධාරියාගේ කෑගැසීම හා පොරබැදීම හමුවේ නිලධාරීන් පිරිසක් එතැනට දුවවිත් ඇත. ඔවුන් විසින් හරක් කටා මෙල්ල කරගෙන නැවත මාංචු දමා තිබූ අතර හරක් කටාගේ ගැටුම වළක්වා තිබුණි. මේ අනුව හරක් කටා සැලසුම් කර ඇත්තේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයා සතු ගිනි අවිය උදුරාගෙන ඔහු ඇතුළු ඉදිරියට එන පිරිසට වෙඩි තබා ගොඩනැගිල්ලෙන් පිටතට පැන පලා යාමටය.

මේ කලබලය මැද හරක් කටාගේ ආරක්ෂාවට රැඳී සිටි පොලිස් කොස්තාපල්වරයා එතැනින් අතුරුදන්ව සිටියේය. ඔහු විසින් හරක් කටාගේ මාංචුව ලිහිල්ව තබා පැනයාමට පහසු ලෙස තබන්නට ඇතැයි සෙසු නිලධාරීහු සැක පහළ කරති. මේ අනුව සැක කරන්නේ නිලධාරීන් අඩුවෙන් රැඳී සිටින ඉරිදා දිනය තුළ පළායාමට සැලසුම් සහගතව ක්‍රියාකරන්නට ඇති බවය.

මෙම සිදුවීමට හෝරාවකට පමණ පෙර සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් එම ඒකකයේ නිලධාරීන් වෙත තේ පිළියෙළ කොට ඇතැයි පැවසේ. එම අවස්ථාවේ සිය පෙම්වතිය විසින් ලබාදුන්නා යැයි කී කිරි ටොෆී කිහිපයක්ද පිරිස අතර බෙදා දී තිබිණ. එම ටොෆී තරමක තිත්ත ගතියෙන් යුක්තව තිබී ඇතැයිද ඇතැමුන්ට යම් මත් ගතියක් සහිතව ශරීර අපහසුතාවන්ට ලක්ව ඇතැයිද වාර්තා විය. 

සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව සිදුකළ විමර්ශනයේදී ඔහු රවිඳු සංදීප ගුණසේකර නැමැත්තකු බවත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද තහවුරු කරගෙන ඇත. මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය පසුව නිලධාරීන් රැඳී සිටින තනිකඩ භට නිවාසය වෙත ගොස් ගමන් බෑගයක් රැගෙන වෙනත් නිලධාරියකුට අයත් ජංගම දුරකතනයක්ද සොරාගෙන ගොස් ඇති බව හඳුනාගෙන ඇත. ඔහු රැඳී සිටි භට නිවාසයේ තිබියදී මත්පෙති කිහිපයක්ද හමුවී ඇති අතර ඒවා යොදා නිලධාරීන්ට කිරිටොෆී හා තේ ලබාදෙන්නට ඇති බව සැක කෙරේ. එම මත්පෙති සමග කිරිටොෆි පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇත. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ තිබූ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී සැකකාර කොස්තාපල්වරයා දුරකතන ඇමතුමක් ලබාගනිමින් පාර හරහා දුවන අයුරු දකින්නට ලැබී ඇත. ඒ එදින පස්වරු 2.00ට ආසන්න මොහොතකය. සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය බව කියන පොලිස් කොස්තාපල්වරියක අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන බව හඳුනාගෙන ඇත. පලාගිය සැකකරු ඇයට දුරකථන ඇමතුමක් ලබාගන ඇති බවත් හරක් කටා සමග පෙම්වතාගේ හිතවත්කමක් නොදන්නා බව ඇය පවසා ඇත.

සිදුවීමෙන් දින තුනකට පසුව සැකකාර කොස්තාපල්වරයා විදෙස් රටකට පලාගොස් ඇති බව හෙළි වී ඇත්තේ ඔහු සිය නිවැසියන්ට ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක් මගිනි. මොහු ව්‍යාජ නමක් මගින් ගුවන්තොටුපළ ඔස්සේ විදෙස්ගත නොවූයේ නම් මුහුදු මගින් පලායන්නට ඇති බවට සැක කෙරේ.

හරක් කටාට පලායාම පිණිස එම කොස්තාපල්වරයා පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේද සහාය ලැබෙන්නට ඇති බවට සැකයක් පවතී. ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේදී හෙළිවී ඇත්තේ හරක්කටාට සහ කුඩු සළිඳු යන අපරාධකරුවන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් පිරිස් විවිධාකාරයෙන් සැලකිලි දක්වා ඇති බවකි. එය ආහාර පාන හා වෙනත් උදව් උපකාර කිරීම් හරහා සිදුකර ඇතැයි කියති. ඇතැම් නිලධාරීන්ට හරක් කටා මුදලින් සංග්‍රහ කොට ඇති බවද කියැවේ. පසුගිය මාස කිහිපයේ පෙර කී සැකකාර කොස්තාපල්වරයා යහමින් අතදිග හැර මුදල් වියදම් කොට ඇති බවද ඒ මුදල් හරක් කටා විසින් ලබාදෙන්නට ඇති බවට සැක කෙරේ.
මෙම සිදුවීම හා සැකකරුවන් සොයා සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය එක්ව සිදුකරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර