පසුගිය දිනවල ලංකාවට බලපෑ දැඩි නියඟය හේතුවෙන් බොහෝ වගාබිම් විනාශ විය. කුඹුරු පමණක් අක්කර 65,000ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා විය. වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර දෙවැනුවට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය. වී වගාව පමණක් නොව සෙසු බෝග වගාවන්ටද නියඟය දැඩි බලපෑමක් එල්ල කළේය. එළවළු, පළතුරු, තේ, කුරුඳු, හා පොල්වලටද නියං රකුසා බැට දුන්නේය. කලක් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලින් වගා කිරීමට එක් දිනකින් ගන්නා ලද අමනෝඥ ක්‍රියාව හේතුවෙන් අසරණ වී සිටි ගොවි ජනතාවට නියඟය වැලේ වැල් නැති කළේය.
ගොවි ජනතාව වගා කටයුතුවල නිරත වූයේ තමන් සතු කනකර ආභරණ පවා උගස් කොටය. එහෙත් නියඟය හේතුවෙන් සියලු අස්වැන්න විනාශ වීමෙන් කැඳ උගුරක් බොන්නටවත් සහල් ටිකක් නොමැති බවත්, තමන් ණයකරුවන් වී සිටින බවත් පවසන ගොවීහු තමන්ට සිදුවූ වගා හානිය වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටිති.
ආණ්ඩුව වන්දි ගෙවීමට තීන්දු කර ඇත්තේ අක්කරයකට රුපියල් 40,000ක මුදලකි. හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයකි. එයද වී, බඩඉරිඟු, සෝයා, මිරිස්, අර්තාපල් සහ බී ලූනු යන භෝග හයක් සඳහා පමණි. 2018 කැබිනට් පත්‍රිකාවක් මගින් බෝග හයක් සඳහා නොමිලයේ රක්ෂණයක් ලබාදීමට ආණ්ඩුව ක්‍රමවේදයක් ඇති කළේය. එමඟින් වී, බඩඉරිඟු, සෝයා, මිරිස්, අර්තාපල් සහ බී ලූනු සඳහා ගංවතුරෙන්, වන අලින්ගෙන් සහ නියඟයෙන් වන හානි සඳහා අක්කරයකට රුපියල් 40,000 වන්දි මුදලක් ලබාදීමට නිර්දේශ කර තිබිණි. මෙම මුදල රජය විසින් වාරික මුදලක් අයකර නොගෙන ලබා දෙන වන්දි මුදලකි.
එදා එම තක්සේරුව අනුව වගා හානි සඳහා එම වන්දිය යම් පමණකට ප්‍රමාණවත් වුවද රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ගොවිතැන් කටයුතු සඳහා වැයවන පිරිවැය මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය ප්‍රමාණවත් නොවේ. එහෙයිත් වසර පහකට ඉහත කළ තක්සේරුව මත ගෙවන වන්දිය සොච්චමක් යැයිද අවම වශයෙන් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලැබිය යුතු යැයිද ගොවීන් මැසිවිලි නඟන්නේ ඒ නිසාය. ගොවි ජනතාව කියන්නේ තමන් මෙම වගාවන් සඳහා තම කනකර ආභරණ සියල්ල උකස් කොට මුදල් ලබාගත් බවයි. වගාබිම් විනාශ වීමෙන් උකස් කළ භාණ්ඩ බේරාගත නොහැකි බවද ඒවා උකස් කළ ආයතනවලට සින්න වනු ඇති බවටද ඔවුහු මැසිවිලි නඟති.
අම්පාර සහ අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි කෘෂිකාර්මික ප්‍රජාව සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශය මගින් කරන සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ. කලින් කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් 30,000කට ආසන්න මුදලක් වැය වුවද 2023 වනවිට ඒ සඳහා අවම වශයෙන් රුපියල් 70,000ක පමණ දක්වා ඉහළ ගොස් ඇති බවටය. තම කෘෂි කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, පොහොර, බිත්තර වී, කෘෂි රසායන ආදිය මිලට ගැනීම සඳහා තමන් සතු රන් ආභරණ උකස් කොට මුදල් උපයාගත් ගොවීන් එම කන්නයේ අස්වැන්න විකුණා ලද ආදායමෙන් තමන් උකස් තැබූ ආභරණ බේරා ගැනීමට කටයුතු කළහ. එහෙත් රසායනික පොහොර තහනම පැවැති කාලයේ බොහෝ පිරිස් කන්නයක් දෙකක් වගාවෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට නිසි ආදායමක් ලැබුණේ නැත. 2022 වැනි කාලයේ යළි කෘෂි කාර්මික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඔවුනට නොමැති විය. එමෙන්ම පොහොර මිල සහ අනෙකුත් වියදම්ද විශාල ලෙස ඉහළ ගියේය. එවැනි වාතාවරණයක් යටතේ අසීරුවෙන් වගාකළ තම වගාවන් සහමුලින් විනාශ වීමෙන් අසරණ වූ ගොවිජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාණවත් වන්දියක් ලබාදෙන ලෙසටය.
වන්දි ලබාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වන්දි ලබාදිය හැක්කේ වී, බඩඉරිඟු, සෝයා, මිරිස්, අර්තාපල් සහ බී ලූනු සඳහා පමණක් බවටය. රටේ පවතින මූල්‍ය තත්ත්වය හේතුවෙන් මේවාට හැර වෙනත් බෝගවලට වන්දි ගෙවීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් අනෙක් ගොවීන්ට වන්දි ලබාදීමට ක්‍රමවේදයක් තිබේනම් ඔවුනටද වන්දියක් ලබාදීමට කටයුතු කරන බවත් එහෙත් මේ අවස්ථාවේ ඉහත කී බෝගවලට හැර වෙනත් බෝගවලට වන්දි ලබාදීමට හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම කුඹුරුවලට ගිනි තැබූ ගොවීන්ට වන්දි නොගෙවන බව කෘෂිරක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කියනවා විතරයි: ගෙවන්නේ නෑ
මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳ ඉතිහාසය එතරම් හොඳ එකක් නොවන බවටය. වන්දි ගෙවන බවට පොරොන්දු වුවද බොහෝ අවස්ථාවන්හි වැඩි ප්‍රමාණයක් පැහැර හැර ඇතැයි ඔහු සඳහන් කළේය. ''පසුගිය කාලේ අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු ගොවීන්ට සේනා දළඹුවාගෙන් වුණු හානියට එක්කෝටි තිස්දෙලක්ෂකයකට අධික වන්දියක් තවම ගෙවා නැහැ. මොණරාගල ගොවීන්ට කෝටි 16ක් තවම ගෙවා නැහැ. අවම වශයෙන් ආණ්ඩුව ගොවීන්ගෙන් මිලදීගත් භෝගවලටවත් තවම ගෙවා නැහැ. පහුගිය කාලයේ වැලිමඩ, ඌව පරණගම ස්ථාන හයක අල ගොවීන්ගෙන් ආණ්ඩුව අර්තාපල් කිලෝ විසිලක්ෂ හතළිස් හතරදාහක් කිලෝවකට රුපියල් අනූ පහ ගණනේ ගෙවන බව පවසා මිලදී ගත්තා. ඒවට මුදල් ගෙවුවේ නැහැ. ගොවිජනතාවට යන්තම් ඉන් කොටසක් ගන්න හැකි වුණේ උද්ඝෝෂණ කරලයි. දඹුල්ලේ ලොකු ලූනු ගොවියන්ගෙන් බීජ මිලදී ගෙන කිලෝවකට රුපියල් 90,000 ගණනේ ගෙවනවා කියලා අද වෙන තෙක් ගෙව්වේ නැහැ. ගොවියන්ගෙන් භාණ්ඩ අරන් මුදල් නුදුන් ආණ්ඩුව නියඟයෙන් වෙච්ච හානියට වන්දි ගෙවයිද කියන සැකය අපිට තියෙනවා. මෙවර නියඟයෙන් බැට කෑ ගොවීන්ට මේ කන්නයට අදාළව තවම වන්දි ගෙවීම ආරම්භ කරලා නැහැ. දැන් මහ කන්නයත් ආරම්භ වෙලා. වන්දි දෙනව නම් කන්නය පටන් ගන්න කලින් එය ලබාදිය යුතුයි. සාමාන්‍යයෙන් ගොවියකුගේ ශ්‍රමයත් එකතු කළාම අක්කරයක් වගා කරන්න රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසකට වැඩි පිරිවැයක් අවශ්‍යයි ඒ නිසා 40,000ක වන්දිය කිසි සේත්ම ප්‍රමාණවත් නැහැ. ජීවන වියදමට ගැලපෙන විදියට සුදුසු වන්දියක් ලබා දිය යුතුයි.''
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව සිදු කෙරුණු අතර එම දිස්ත්‍රික්කයේ වැඩිවශයෙන් සිදුවූයේ අර්ධ වගා හානියකි. එහෙත් එම ගොවීන්ට වන්දි ලබාදීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක සඳහන් කරයි. මේ වනවිට වන්දි අයැදුම්පත් ලබාදෙමින් සිටියද වන්දි ලැබේද යන අවිනිශ්චිතතාව මත ඒ සඳහා ගොවීන් අතර කිසිදු උනන්දුවක් නොමැති යැයි ඔහු සඳහන් කරයි. ඔහුට අනුව වගා හානි පිළිබඳ සමීක්ෂණයක් කර ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පමණකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කිසිවෙක් මෙතෙක් පැමිණ නැත.. ''වන්දි දෙන්නේ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කියලයි ආරංචි තියෙන්නේ. මෙහේ ගොවීන් නම් කියන්නේ වන්දි දෙනවාය කියලා ආණ්ඩුව බොරු කරනවා කියලයි. මේ ප්‍රදේශයේ අක්කර 10,000 පමණ වගා හානි වුණා. ගොවියන්ට තමන් වියදම් කළ මුදල හෝ ලැබෙන්නේ නැහැ. පූර්ණ වශයෙන් සිදුවූ හානිවලට අක්කරයට රුපියල් 40,000 ගෙවන බව කියනවා. එහෙත් තවම ඒ අයටවත් ගෙවීම් ආරම්භ කරලා නැහැ. ගොවියන් කියන්නේ පූර්ණ හානි වූ කුඹුරුලට රුපියල් ලක්ෂයකුත් අර්ධ ලෙස සිදුවූ හානිවලට රුපියල් 50,000කුත් තමන්ට ලැබිය යුතු බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 46,000 හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 50,000 පමණ පූර්ණ හානි සිදුව තිබෙනවා. ඉතින් පූර්ණ හානි සිදුවූ කුඹුරුවලටවත් ගෙවන්නේ නැතුව අර්ධ හානිවලට ගෙවන්නේ කෙලෙසදැයි යන සැකය අපිට තිබෙනවා. ඒ තරම් මුදල් ප්‍රමාණයක් වෙන්කරලා නැති බවයි දැනගන්නට තිබෙන්නේ.''
පවතින නියඟය නිසා වගා හානියට ලක්වූ වී සහ අනෙකුත් භෝග වගා ඉඩම්වලට වන්දි සඳහා මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශ තක්සේරුව අනුව කුඹුරු අක්කර 65,000ක් පමණ හානියට පත්ව ඇති අතර. ඒ අනුව දැනට කෘෂි රක්‍ෂණ මණ්ඩලය මගින් හානි වූ අක්කරයකට ගෙවනු ලබන මුදල වන රුපියල් 40,000 බැගින් ලබා දුනහොත් රුපියල් කෝටි 2600ක් පමණ වන්දි වශයෙන් ගෙවීමට සිදුවනු ඇත.
සමහරු බොරුවට සහල් මිල නග්ගලා
මේ වනවිට දිනෙන් දින සහල් මිලද ඉහළ යමින් පවතී මේ සම්බන්ධයෙන් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මෙලෙස සඳහන් කළේය. ''සහල් මිල ඉහළ යාමට කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඇතැම් ප්‍රකාශත් බලපෑවා. ඔහු ඇතැම් අවස්ථාවල කිව්වා සහල් මිල කීයට යාවිද කියල කියන්න බැහැ කියලා. මෙම ප්‍රකාශ දඩමීමා කරගෙන මහා පරිමාණ මෝල් හිමියන් වී තොග අඩුවට රුස්කර ගෙන පසුව වී මිල ඉහළ දැම්මා. ඒත් ඔවුනට මිලදී ගත හැක්කේ අපේ රටේ අස්වැන්නෙන් තුනෙන් එකක් පමණයි. ඉතිරි තුනෙන් දෙක කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසිනුයි සපයන්නේ. අපේ රටේ වී හිඟයක් නැහැ. වී මිල මහා පරිමාණ මෝල් හිමියන් විසින් කෘත්‍රිමව ඉහළ දැමීම නිසයි සහල් මිල ඉහළ යන්නේ. 2019 පැවැති ඒක පුද්ගල සහල් පරිභෝජනය නෙමෙයි අද තියෙන්නේ. එදා තුන්වේල බත් කාපු මිනිස්සු අද කන්නේ වේල් දෙකයි. දෙකක් කාපු අය කන්නේ එකයි. අද සහල්වලට ඉල්ලුම අඩු වෙලා මිසක් සහල් හිඟයක් නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා