2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

පසුපසින් දැල එලා අල්ලාගත් ළමා ලිංගික වීඩියෝ ජාවාරම

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 467

හයක් හතරක් නොදන්නා පොඩි දරුවන්ගේ අසභ්‍ය වීඩියෝයි ෆොටෝසුයි විකුණන ජාවාරමක් තියෙනවා. එළිපිට කරන වැඩක් නෙවෙයි මේක. ඉන්ටර්නෙට් එකෙන් කරන ටිකක් අමුතු වැඩක්. සමහර වීඩියෝවල ලංකාවේ කොල්ලො කෙල්ලො වගේම පිටරට අයත් ඉන්නවා...

මේ කියන වෙනස් විදිහේ බුද්ධි තොරතුර ලැබී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙතය. අදාළ තොරතුර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා දැනුම්වත් කොට ලබාගත් උපදෙස් අනුව විමර්ශනයක් ඇරඹීමට කටයුතු කෙරිණ. විමර්ශනය සඳහා සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ දක්ෂ නිලධාරීන් කිහිප පොළක් යෙදවීමට අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබිණ.

අන්තර්ජාලය හරහා නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ජාවාරම වැටලීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම හා ප්‍රයෝග භාවිත කරන්නට නිලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ප්‍රථමයෙන් සිදුකර තිබුණේ අන්තර්ජාලයේ විවිධ යෙදවුම් හෙවත් ඇප් කිහිපයක් නිරීක්ෂණය කිරීමය. මෙහිදී නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ (Telegram) ටෙලිග්‍රූම් නැමැති යෙදවුම වෙතය. වැඩිදුරටත් එම යෙදවුම පරිශීලනය කිරීමේදී සැක කටයුතු ටෙලිග්‍රූම් චැනලයක් හඳුනාගෙන ඇත.

ටෙලිග්‍රූම් යෙදවුමේ අදාළ චැනලය සමඟ සම්බන්ධ වී කෙටි පණිවුඩ හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් විමර්ශන නිලධාරීන් පෙනී සිට තිබුණේ ගනුදෙනුකරුවකු වශයෙනි. මෙසේ පණිවුඩ හුවමාරු කරගන්නා අතරතුර බාල වයස්කාර දරු දැරියන්ගේ අසභ්‍ය වීඩියෝ පට කිහිපයක් ඉල්ලා ඇත. ඊට කැමැත්ත දක්වා ඇති ටෙලිග්‍රූම් චැනලයේ හිමිකරු වීඩියෝ පට ලබාදීම සඳහා මුදලක් ඉල්ලා ඇතැයි කියති. එහිදී ඔහු කියා තිබුණේ වීඩියෝ දර්ශන දහයක පැකේජයක් සඳහා රුපියල් දෙදහසක් අය කරන බවකි. ඊට අමතරව කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප රැසක එකතුවක් ඇති බවත් ඒවාද පැකේජ වශයෙන් අලෙවි කරන බවත් කියා තිබිණි.

අදාළ ගනුදෙනුව සඳහා එකඟ වූ ගනුදෙනුකරු වශයෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීහු අසභ්‍ය වීඩියෝ දර්ශන 10ක පැකේජය මිලට ගැනීමට එකඟ වූහ. ඒ සඳහා අය කරන රුපියල් දෙදහසක් බැර කිරීම සඳහා පෞද්ගලික වාණිජ බැංකුවක් සතු ගිණුම් අංකයක් ලබා දී ඇත. ඊට අමතරව දීර්ඝ ලෙස ගනුදෙනු සිදුකරන්නේ නම් ඩිජිටල් මුදල් නැතිනම් ක්‍රිප්ටො කරන්සි ක්‍රමය භාවිත කළ හැකි බව චැනලයේ හිමිකරු දන්වා ඇතැයි කියති. තොරතුරු සනාථ කර ගැනීමේ අපේක්ෂාවෙන් පළමු ගනුදෙනුව සිදුකර වීඩියෝ දර්ශන 10ක් ගෙන්වාගෙන තිබිණ. ඒවා (Link) හෙවත් සබැඳියක් වශයෙන් ටෙලිග්‍රූම් යෙදුම ඔස්සේ ලබා දී ඇත. එම සබැඳිය අදාළ ගනුදෙනුකරුට පමණක් විවෘත කිරීමට හා නැරඹීමට හැකිවන පරිදි මුර පදයක් යොදා ලබාදීමට ගනුදෙනුකරු ක්‍රියා කර ඇත්තේ දක්ෂ ලෙසය. එබැවින් එම දර්ශන වෙනත් පාර්ශ්වවලට බෙදාහැරීම අපහසුය.

සිදු කරන ජාවාරම සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් සිදු කළ පසුව නවීන තාක්ෂණය භාවිතයෙන් සැකකරුගේ දුරකථන හා අන්තර්ජාල පහසුකම් ආශ්‍රිතව දත්ත විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කෙරිණ. එහිදී ජාවාරම මෙහෙයවීම සිදුවන්නේ කොළඹ නුදුරු රාගම ප්‍රදේශයේ සිට බවට හෙළිකර ගැනිණ. ඒ අනුව ක්‍රියාත්මක වූ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රාගම නගරය වෙත ගොස් ඇතැයි කියති. එම ප්‍රදේශයේ සිට තාක්ෂණික මෙවලම් ආශ්‍රයෙන් නැවත නැවතත් සිදු කළ විශ්ලේෂණයේදී සැක කටයුතු ටෙලිග්‍රූම් චැනලය මෙහෙයවීම සිදුවන්නේ රාගම නගරයට නුදුරු ස්ථානයක පිහිටි විහාරස්ථානයක සිට බවට තහවුරු කර ගැනිණ. ඒ සමඟම රහසිගතව විහාරස්ථානය පිළිබඳව සොයා බැලීමක් සිදුකොට එම ස්ථානය පරීක්ෂා කිරීමට නිලධාරීහු සමත් වූහ.

විහාරස්ථානයේ පෙනෙන්නට සිට තිබුණේ විහාරාධිපති හිමියන් සමඟ තරුණ වයසේ භික්ෂුවකි. එම විහාරයේ ආවාස ගෙය තුළ කාමර කිහිපයක් පිහිටා තිබිණ. සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ නිලධාරීන් එම කාමරය පරීක්ෂා කළේ ඉන් අනතුරුවය. තරුණ වයසේ පසුවූ භික්ෂුවගේ කාමරය පරීක්ෂා කිරීමේදී එය තරමක් විශේෂිත තැනක් බවට තහවුරු වී ඇත. කාමරයේ පසෙක වූ මේසයක නවීන ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණක තුනක් තබා තිබූ අතර ඒවා විධිමත් කාර්යාලයක ස්වරූපයක් ගෙන තිබිණ. ඒ පිළිබඳ විමසීමේදී තරුණ භික්ෂුව කියා ඇත්තේ සුළු වශයෙන් ග්‍රුෆික් ඩිසයින් සිදු කරන බවකි. සැක සහිත භික්ෂුව එහි රඳවාගෙන පරිගණක තුන පරීක්ෂාවට ලක් කිරීමේදී ඒවායේ ගබඩා කර තිබූ කුඩා දරු දැරියන්ගේ නිරුවත් ඡායාරූප තොගයක් සමඟ වීඩියෝ පට තොගයක්ද සොයා ගැනිණ. මේ අනුව මෙතෙක් කල් මෙම ජාවාරම සිදුකර ඇත්තේ තරුණ හිමි නම බවට තහවුරු කර ගැනිණ.

මෙම සැකකාර හිමිනම තමන් අනුරාධපුර ප්‍රදේශයේ උපන් අයකු බවත් දොරමඩලාවේ වජිර නමින් මීට වසර දහයකට පෙර පැවිදි වී ඇති බවත් ප්‍රකාශ කර තිබිණ. 19 වැනි වියේ පසුවන හිමිනම වයස අවුරුදු 2, 3, 4, 5 වයස්වල පසුවන කුඩා දරු දැරියන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලය හරහා අලෙවි කරන බව කියා තිබුණේ මගහැරීමට හෝ අවස්ථාවක් නොවූ බැවිනි. වීඩියෝ පට දහයක් අඩංගු (Link) හෙවත් සබැඳියක් රු. 2000 කට අලෙවි කරන අතරතුර ඡායාරූප 1500ක් අඩංගු සබැඳියක් රු. 1500 කට අලෙවි කරන බවද කියා ඇත. එහිදී එම ඡායාරූපයක් සඳහා රුපියලක මිලක් නියම කර තිබිණ.

සැකකාර හිමිනම මේ සඳහා අය කරන මුදල් බැර කර ඇත්තේ වෙනත් පුද්ගලයකුගේ නමට ඇති ගිණුමක් වෙතය. එම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි තරුණයකු වන අතර ඔහුට හිමිනම පවසා තිබුණේ සුළුවට ග්‍රුෆික් ඩිසයින් සම්බන්ධ ව්‍යාපාරයක් කරන බවත් ඒ සඳහා අය කරන මුදල් ඔහුගේ ගිණුමට යොමු කරන බවත්ය. මේ තොරතුරු අනුව සැකකාර තරුණයාද අත්අඩංගුවට ගැනීමට සමත් වූ නිලධාරීන් වැඩිදුර විමර්ශනයේදී ඡායාරූප සහ වීඩියෝ මිලදී ගත් අය පිළිබඳව ද සොයා බලා තිබිණ. එහිදී ඡායාරූප හා වීඩියෝ අඩංගු සබැඳි ගණනාවක් යොමු කළ අන්තර්ජාල සබඳතා රැසක් හඳුනාගෙන තිබූ අතර ඒ අතුරින් සැක කටයුතු තිදෙනෙක් කෑගල්ල, කුරුණෑගල හා නිකවැරටිය ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් අවුරුදු 18 – 20 අතර පසුවන්නන් වන අතර ඔවුන්ගෙන් අයකු තවත් මෙවැනිම ජාවාරමකට යොමුවී සිටි අයෙකි. එම තරුණයාද නිවෙසේ සිට ජංගම දුරකථනය හා පරිගණකය භාවිතයෙන් පෙර කී සැකකාර හිමිනමගෙන් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඇතැයි පැවසේ. පසුව ඒවා රැස් කරගෙන අන්තර්ජාලයේ ටෙලිග්‍රූම් චැනල කණ්ඩායමක් සඳහා පිරිස බඳවාගෙන ඇතැයි කියති. එම කණ්ඩායමට එක්වන අයකුගෙන් රු. 1000 බැගින් අය කරගෙන තිබූ බවද හෙළි කරගෙන ඇත. අනතුරුව එම තරුණයාද ඡායාරූප හා වීඩියෝ විවිධ ගැනුම්කරුවන්ට ලබා දී ඇති බව හෙළි වී තිබේ.

මේ ආකාරයට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇතැම් ඡායාරූප හා වීඩියෝ මොවුන් විසින්ම නිෂ්පාදනය කළ ඒවාද යන්න සෙවීම සඳහා විමර්ශන සිදු කෙරේ. මෙවැනි ඡායාරූප හා වීඩියෝ මිලදී ගැනීමට මෙවැනි විකෘති ලිංගික ආශාවන්ට ඇබ්බැහි වූ පිරිස් යොමුව ඇති බවට විශ්වාස කෙරේ.

මෙම ජාවාරම සිදු කළ හිමිනම හා අනුබල දුන් තරුණයා සමඟ සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02