දමිඳු ප්‍රනාන්දුගේ සිත තුළ සිහිනයක් ඇත. ඒ වසර ගණනාවක සිට දකින්නට වෙර දරන සිහිනයකි. තමාගේම කෞතුකාගාරයක් ගොඩනගන සිහිනයකි. ඒ සිහිනය තුළ ඇත්තේ මෝටර් බයිසිකල් පමණි. ලොව පුරා බොහෝ රටවලින් මෙරටට ගෙන්වූ පැරණි මෝටර් බයිසිකල්වලින් පිරුණු කෞතුකගාරයක් ගොඩනැගීම ඔහුගේ බලාපොරොත්තුවයි. දමිඳු තම සිහිනය සැබෑකර ගන්නට උත්සාහ දරමින් සිටින තරුණයෙකි. මොරටුවේ පිහිටි තම ව්‍යාපාරික ගොඩනැගිල්ල මෙම කෞතුකාගාරය බවට පත්කිරීම ඔහුගේ අපේක්ෂාවයි.
දමිඳු ප්‍රනාන්දු මොරටුව ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙකි. ඔහුගේ ආදරණීය පියා නමින් ඩිලන්ත ප්‍රනාන්දුය. කුඩා කල සිටම දමිඳු දුටුවේ තම පියා රුකියාව හේතුවෙන් මෝටර් බයිසිකල් අතපත ගාමින් ඒවා අලුත්වැඩියා කරන ආකාරයයි. දමිඳුගේ පියා වන ඩිලන්ත මුලින්ම බයිසිකලයක් මිලදී ගෙන තිබුණේ ඩිලන්තට වයස අවුරුදු 13 දීය. එතැන් සිට ඩිලන්ත ජීවිතයේ වැඩි නැඹුරුවක් දැක්වූයේ මෝටර් බයිසිකල් වෙතය. කල් යත්ම ඩිලන්තගේ රුකියාව වූයේ මෝටර් බයිසිකල් අලුත්වැඩියා කිරීමය.
''අපේ ගම වුණේ මොරටුව. ඉස්සර ඉඳන්ම මගේ තාත්තගේ ලොකුම ආසාව වගේම විනෝදාංශය වුණේ මෝටර් සයිකල් පැදීමයි. 1980 ගණන්වලදි ලංකාවට ආපු සුද්දන් මෙහේ බයිසිකල් ගෙනියන්න පටන් ගත්තා. ඒ කාලෙදි මේ අයට ඔය ඇන්ටික් බයිසිකල් ගැන ලොකු අවබෝධයක් සහ ඒවාට වටිනාකමක් තිබුණේ නැහැ. ඒ නිසා ඕනෑ තරම් බයිසිකල් තිබුණා. සුද්දන් ලංකාවට ඇවිත් මෙහේ පරණ බයිසිකල් කන්ටේනර්වල දාගෙන පිටරටට ගෙන ගියා. ඒ අතරේ ඒ වගේ පරණ බයිසිකල් එකතු කරලා සුද්දන්ට දීපු අවස්ථා තිබුණා. ඒ වෙද්දි අපේ තාත්තා ළඟත් පරණ බයිසිකල් ටිකක් තිබුණා. තාත්තා පරණ මෝටර් බයිසිකල්වලට හරි කැමැතියි. ඒ නිසා ඒ වගේ බයිසිකල් කිහිපයක්ම තාත්තට තිබුණා.'' යැයි දමිඳු තම ජීවිතයේ අපූරු මතක දේශයට මුසු කළේය.
දිනක් විදේශිකයෙක් ඩිලන්තගේ නිවෙසට පැමිණියේය. ඒ වන විට ඩිලන්තගේ නිවෙසේ මෝටර් බයිසිකල් දහයක් පහළොවක් පමණ තිබිණ. ඒවා ඉතා පැරණි මෝටර් බයිසිකල් විය. ඩිලන්තට ඒවා සම්බන්ධයෙන් ලොකු වටිනාකමක් දැනී තිබුණේ නැත. නමුත් ඔහු මේ පැරණි බයිසිකල්වලට ඉතාමත් කැමැතිය. නිවෙසට පැමිණි විදේශිකයා ඉතා ඉහළ මිලකට මෙම මෝටර් බයිසිකල් මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. ඒ සඳහා ඉහළ මිලක් ඔහු ලබා දුන්නේය. නමුත් ඩිලන්ත ඒ කිසිදු මෝටර් බයිසිකලයක් විකිණීමට කැමැත්ත පළ කළේ නැත. අවසානයේදී එම විදේශිකයා ඔහුගේ නිවෙසින් පිටවීමට සිදුවූයේ හිස් අතිනි. කෙසේ වෙතත් ඩිලන්ත තමන් එකතු කළ පැරණි මෝටර් බයිසිකල් රටින් පිටට ලබා දී ඇත්තේ දෙවතාවක් පමණි. දිනක් ගුවන් නියමුවකු නිවෙසට පැමිණ පෙරුත්ත කරමින් මෙම මෝටර් බයිසිකලයක් ඉල්ලා තිබූ අතර එකම වර්ගයේ බයිසිකල් දෙකක් තිබූ හෙයින් ඔහු එකක් ගුවන් නියමුවාට විකිණා තිබිණ. තවත් එවැනිම වැඩිපුර තිබූ මෝටර් බයිසිකලයක් එලෙසම ඔහු විකිණුවේය.
කුඩා කල සිටම දමිඳුගේ වැඩි කැමැත්ත වූයේ නිවෙසේ තිබූ තම පියාට අයත් මෝටර් බයිසිකල් අතපත ගෑමය. ඔහු ජීවිතේ මුල්ම වතාවට මෝටර් බයිසිකලයක් පදවන විට වයස අවුරුදු අටකි. ඒ ජපන් මෝටර් බයිසිකලයකි. ඔහු වයස දොළහේදී ඉංග්‍රීසි මෝටර් බයිසිකලයක් පැදවූවේය. කුඩා කොලු ගැටයකු වූ දමිඳුට එකල එම මෝටර් බයිසිකලය ප්‍රමාණයෙන් විශාලය. තම පුතා මිදුලේ තමන් දෙස බලා සිටිනු දුටු ඩිලන්ත තමා පැදගෙන ආ මෝටර් බයිසිකලය නවතා එහි යතුර දමිඳුගේ අත තබා ''වටයක් පරිස්සමින් පැදල එන්න'' යැයි පැවසීය. දමිඳුට ඉගිලෙන්නට තටු ලැබුණාක් මෙන් විය. එතැන් සිට ලැබුණු අවසරයෙන් ඔහු අදටත් ඉතා පරිස්සමට තම මෝටර් බයිසිකල් පදින්නේය.
මේ වන විට දමිඳු මෝටර් බයිසිකල් සියයකට වැඩි ගණනක හිමිකරුවෙකි. ඒ බොහෝ මෝටර් බයිසිකල් ඉතා පැරණි වර්ගයේ ඒවාය. පැරණි ඉංග්‍රීසි මෝටර් බයිසිකල් වර්ග බොහොමයක් ඔහුට හිමිය. ඊට අමතරව පැරණි ජපන්, ජර්මන්, රුසියානු, ඉතාලි, ඇමෙරිකානු මෝටර් බයිසිකල් ද මේ අතර වේ. ඔහුගේ මේ සියයකට අධික මෝටර් බයිසිකල්වලින් 70ක් 75ක් පමණ අදටත් ධාවනය කළ හැකිය. වසර දෙක තුන ධාවනය නොවූ හොඳ තත්ත්වයේ ඉතා පැරණි මෝටර් බයිසිකල් ද ඔහු සතු වේ. මේ අතර තම නිවෙසේ ඇති කොටසේ ඉඩකඩ සීමිත බැවින් තවත් බොහෝ මෝටර් බයිසිකල් ගලවා ඔහු වෙනත් කොටසක ගබඩා කර ඇත. නොබෝ කාලයකින් නිමැවෙන ඔහුගේ කෞතුකාගාරය තුළින් මේ සියලු පැරණි මෝටර් බයිසිකල් ඔබට ද දැකබලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
දමිඳු මේ රැස් කරමින් සිටින්නේ දිවයින පුරා විවිධ පුද්ගලයන් සතුව පැවති පැරණි මෝටර් බයිසිකල්ය. ලංකාව තුළ ලියාපදිංචි වූ මෝටර් බයිසිකල් ඔහු හිමිකරුවන්ගෙන් මිලදී ගෙන ඇත. මේ බොහෝ ඒවා ඔහු මිලදී ගෙන ඇත්තේ අධික මුදලකටය.
ඔහු විනෝදාංශයක් ලෙසින් මෝටර් බයිසිකල් එකතු කරයි. එමෙන්ම ඔහු ඒ පැරණි මෝටර් බයිසිකල්වලින් රට පුරා සංචාරය කරයි. විවාහ වීමට පෙර මෙන්ම ඔහු විවාහයෙන් පසුවද නිවාඩුවක් විවේකයක් ලද සැණින් මිතුරන් සමඟ මෙන්ම මේ වන විට තම බිරිඳ සමඟ ද පැරණි මෝටර් බයිසිකලයකින් රට පුරා සංචාරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් කාලවලදී ඔහු තනිවම තමන්ට අවශ්‍ය කළමනා රුගත් විශාල බෑගයක් උරහිසේ දමාගෙන තම පැරණි මෝටර් බයිසිකලයෙන් රට පුරා සංචාරය කරයි.
දමිඳුගේ බිරිඳ දිවංකාය. ඇය ද තම සැමියා සමඟ මේ අපූරු සංචාරයන්ට එකතු වන්නේ ඉතා කැමැත්තෙනි. පසුගිය කාලයේදී ඔවුහු ලංකාව වටේ සංචාරයක නියැලුණහ. ඒ දමිඳු සතු වූ පැරණිම මෝටර් බයිසිකලයෙනි. ඒ සඳහා දින නවයක් ගතවිය. එය කිලෝමීටර් 1750 ක පමණ දිගු ගමනකි. ඔවුන් සමඟ මේ ගමනට දමිඳුගේ තවත් මිතුරන් කිහිප දෙනෙක් ද එක්වූහ. ඒ දමිඳුගේ වෙනත් පැරණි මෝටර් බයිසිකල්වලිනි. ඔවුන් ගමන ආරම්භ කළේ මොරටුව මහ පල්ලිය අසලිනි. පැරණි මෝටර් බයිසිකල්වලට අමතරව ඔහු මේ ගමනට ලොරි රථයක් ද එක්කර ගත්තේය. දින නවයක් පුරාවට අවශ්‍ය වන කළමනා සහිත ගමන් මලු මෙන්ම පැරණි මෝටර් බයිසිකල්වලට අවශ්‍ය ආයුධ ආදිය රැගෙන එම ලොරි රථය මෝටර් බයිසිකල් පසුපස සංචාරයේ නියැලුණේය.
''ලංකාවේ මුහුද අසලින් දිවෙන පාර දිගේ අපි ලංකාව වටේ ගියා. යාල ඇතුළෙන් යන්න දෙන්නෙ නැති නිසා අපි මොණරාගල පැත්තෙන් ගියා. කෝකිලායි කලපුවෙන් අපි බයිසිකල් බෝට්ටුවලට දාලා තමයි එහා පැත්තට ගියේ. සංචාරය කරන්න කලින් මම ගෙදර ඉඳන් ඒක සැලසුම් කළා. පළවෙනි දවසේ අපි අම්පාර මගේ යාළුවෙක්ගේ ගෙදර නැවතුණා. දෙවැනි දවසේ ත්‍රිකුණාමලේ නැවතුණා. තුන්වැනි දවසේ අලිමංකඩ ආමි එකේ රෙස්ටුරන්ට් එකේ ඉස්තෝපුවේ නිදාගත්තා. ඒ වෙනුවෙන් ආමි එකෙන් අපිට ඉඩ ලබා දුන්නා. අපි බොහෝ විට සංචාරය කළේ රාත්‍රී කාලයේදීයි. ඒ රස්නය අඩු නිසායි. නිදාගන්න අවශ්‍ය මෙට්ට පවා අපි ලොරියෙන් අරගෙන ගියා. අපි යාපනේ දවස් දෙකක් හිටියා. මන්නාරමේ මුහුදු වෙරළේ අපි කෑම්ප් කළා. අපි පොඩි කූඩාරම් දෙකක් ගහලා මුහුදු වෙරළේ උයාගෙන කාලා තමයි ඒ දවස් ගත කළේ. ඒ විදිහට රට වටේ දවස් නවයක් සංචාරය කරමින් අපි ඒ සාර්ථක සංචාරය අවසන් කළා.'' යැයි දමිඳු ප්‍රනාන්දු මේ අපූරු සංචාරය ගැන අදහස් පළ කරමින් පැවසීය.
දමිඳු වෘත්තියෙන් මෝටර් රථ කාර්මිකයෙකි. නමුත් අද වන විට ඔහු සාමාන්‍යඉන්දියානු මෝටර් බයිසිකල් අලුත්වැඩියා කිරීම නතර කර තිබේ. ඔහු බොහෝ විට බාරගන්නේ පැරණි මෝටර් රථ පමණි. එමෙන්ම නව මාදිලියේ විශාල මෝටර් බයිසිකල් අලුත්වැඩියා කටයුතු ද ඔහු සිදු කරයි.
සෑම වසරකම පාහේ පවතින පැරණි මෝටර් රථ ප්‍රදර්ශනවලදී දමිඳු තම මෝටර් බයිසිකල් ප්‍රදර්ශනයට තබයි. අද ඔහු මාස නවයක පුංචි පුතකුගේ පියෙකි.
''මගේ ලොකුම බලාපොරොත්තුව මේ පැරණි මෝටර් බයිසිකල් එකතු කරලා කෞතුකාගාරයක් හදන එකයි. ඊට වඩා මේ සම්බන්ධයෙන් බොහෝ බලාපොරොත්තු තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු සැබෑකර ගන්න මේ රට ඉඩ දෙන්නෙ නැහැ. මේ දේවල්වලට රජයෙන් කිසිම සහයෝගයක් ලබා දෙන්නෙ නැහැ. වාහනයක් ලියාපදිංචි කරන්න, අයිතිකරුවන්ට පරිවර්තනය කරන්න දෙන්නෙ නැහැ. නිසි පරිදි පොත තියෙන වාහනයක් ලියාපදිංචි කරන්න ගියාම අවසරය නොදී පොත තියාගන්නවා. මේ සම්බන්ධයෙන් කිසිම අගය කිරීමක් රජයෙන් ලැබෙන්නෙ නැහැ. බොහෝ ගැටලු මේ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඒවා කියන්න, ඒවා විසඳා දෙන්න මේ රටේ නිලධාරියෙක් නැහැ. දැන් නම් මේ රටේ ඉඳීමත් එපාවෙලයි තියෙන්නෙ. BS500 මෝටර් බයිසිකලය තමයි මගේ පැරණිම බයිසිකලය. ඒක 1920 වසරේ බයිසිකලයක්. ඒ වගේ අවුරුදු සීයකට වඩා පැරණි බයිසිකල් තුනක් මම ළඟ තියෙනවා. මෝටර් බයිසිකලයක් අලුතින් නිර්මාණය කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන මට ලොකු විශ්වාසයක් සහ හැකියාවක් තියෙනවා. නමුත් රටේ පවතින තත්ත්වය සහ අපි වගේ අයට දක්වන සැලකිල්ල නිසා මම ඉන්නෙ ලොකු හිතේ වේදනාවකින්. මට විතරක් නෙවෙයි බොහෝ තරුණයන්ට අද තියෙන්නෙ එවැනි මානසික තත්ත්වයක්. ඒ නිසා සමහරවිට මේ හැමදේම අතහැරල අපි විදෙස්ගත වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තීරණය ගන්න වෙන්නෙ ගොඩක් අමාරුවෙන්.''
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ