2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුවට නොඑන මිනිසුන් ජීවත් කරවන පනත්

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

පසුගිය අගෝස්තු මාසයේදී පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයේදී, ආහාර සුරක්ෂිතතාවය හා මානව හිමිකම් ප‍්‍රධාන මාතෘකාව වී තිබුණි. ජගත් ප‍්‍රජාව මිනිසුන්ගේ ජීවත්වීම හා නිදහස ගැන අප‍්‍රමාණ සැලකිල්ලක් දක්වන බවට එය සාක්ෂියකි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයන් මෙම ව්‍යුහය දෙස සාවධානව සලකා බැලීම අවශ්‍යය. මානව හිමිකම් සම්බන්ධ චෝදනාවක් ශ‍්‍රී ලංකාව ඉදිරියේ නොවිසඳී පවතී. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බටහිර රටවල් අටවන ලද උගුලක් බව මැදහත් විචාරකයන්ගේ මතය වී තිබේ. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවට සරල උත්තර නැත. ආර්ථික අර්බුදයක පසුවන ශ‍්‍රී ලංකාවේ ජනී ජනයා ජීවත්වීම සඳහා අරගලයක පසුවේ. ආහාර මිල ගණන් ඉහළ ගොස් ඇත. ආදායම් උත්පාදන මාර්ග අවහිර වී තිබේ. දරුණු ප‍්‍රතිශතවලින් පනවන බදු විශාල හිරිහැරයකි. උද්ගතව ඇති තත්ත්වයට මුහුණ දිය නොහැකිව පසුවන අතරවාරයේ හැකි සෑම පුද්ගලයකුම රට හැරගොස් සිය අනාගතය සාක්ෂාත් කර ගැනීමට වෑයම් කරමින් සිටිති.

ව්‍යාකූල වූ සමාජයක් යළි සුපුරුදු තත්ත්වයට පත්කිරීම සඳහා විශාල ප‍්‍රයත්නයක් අවශ්‍යය. මෙම වසරේදී ද සහනයක් නොපෙනෙන බව පැහැදිලිය. පුරෝකථනවලට අනුව 2023 වසරේ දී පවා ආර්ථිකය සියයට තුනක ඍණ අගයක පසුවිය හැකිය. ආර්ථිකය තවත් වටයකින් දුබල වන පසු ජීවත්වීමේ ප‍්‍රයත්නය තවත් අසීරුවන බව සඳහන් කළ යුතුය. දූෂණ වලක්වන, ආර්ථිකය හදන අලුත් අණ පනත් සම්මත කරන ආණ්ඩු මිනිසුන් ජීවත්කරන පනතක් ද සම්මත කරගත යුතුව තිබේ.

• මහජන මතය නොදන්නා ආණ්ඩුවක ගමන

මහජනතාවගේ සංකීර්ණ ගැටලු ආණ්ඩුව වටහා ගෙන නැත. ආණ්ඩුව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ දේශපාලන පක්ෂවලට ද හැඟීමක් නැති බව පෙනේ. තවත් අවුරුද්දකින් පවත්වන ජනාධිපතිවරණයකට සූදානම් වන දේශපාලනඥයන් මහජනතාව අද ජීවත්වන අසුබ පරිසරය ගැන සාකච්ඡා නොකරන්නේ ඇයි?

ආර්ථිකය නිසි මගට ගැනීමේ කාර්ය භාරය ජාත්‍යන්තර මුලය අරමුදල පවරාගෙන තිබේ. එහි නියෝජිතයන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සූදානමක් ඇත. ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් එකඟ වූ කරුණු ගණනාවක් ඉලක්කය සාර්ථක කරගෙන නැත. ආදායම් අභිමතාර්ථ සාර්ථක කරගන්නට අවස්ථාවක් නොලැබී ඇති බව වාර්තා දක්වයි. මහජනතාව බදු ගෙවන්නේ පහසුවෙන් නොවේ. වෘත්තිකයෝ විරුද්ධත්වය පළ කර ඇත. විරුද්ධවන අංශ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ. දුම්රිය, වරාය, විදුලිය හා ගුවන් සේවා අංශ ගණනාවක් පසුගිය කාලය තුළ වැටුප් හා වෙනත් ප‍්‍රශ්න මත වර්ජන ක‍්‍රියාත්මක කළේය. තද පියවරවලින් පසු පාලනය කරගත් නමුත් අභ්‍යන්තරයෙහි ඇවිලෙමින් පවතී. වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලු සාකච්ඡාවට ගැනෙන්නේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දක්වන පරිදි බදු වැඩිකිරීම සම්බන්ධයෙන් සහනයක් දෙන බව ප‍්‍රකාශ වූ නමුත් මෙතෙක් උත්තර ලැබී නැත. පළමු වතාවට අධිකරණ විනිසුරුවරු සිය උපයනවිට ගෙවන බද්ද ඉවත්කරන ලෙස ඉල්ලා නඩු පැවැරූහ. රජයේ තිරණය වෙනස් කරන්නට බලපාන තීන්දුවක් ප‍්‍රකාශ කරන්නට අධිකරණය පියවර ගත්තේ නැත.

වැඩකරන ජනතාව තුළ පවතින කැකෑරෙන අතෘප්තිය මැතිවරණයක දී පිටාර ගලන්නට ඉඩ තිබේ. පළාත් සභා ජන්දය පවත්වන දිනයක් නැත. පළාත් පාලන ආයතන ඡන්ද කල් දමා ඇත. පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණය පවත්වන්නට නියමිත ලබන වසරේ දීය. මහජනතාව නගන හඬ ගැන සැබෑ අදහසක් දැනගැනීමට ක‍්‍රමය අපොහොසත්වීම අනතුරුදායක තත්ත්වයකි.

• මහජනතාව ගෙවන බදු

2023 වසරේ මුල් කාර්තුවේ ආදායම්  බදු වශයෙන් රුපියල් බිලියන 316 ක් ලැබී ඇති අතර එම බදු ගෙවීම සම්බන්ධයෙන් ආදායම් බදු කොමසාරිස්වරයා ජනතාවට කෘතඥතාව පළ කර තිබේ. 2022 වසරේ පළමු කාර්තුවේදී ආදායම් බදු වශයෙන් අය කරගත හැකි වූ මුදල රු. බිලියන 146 කි. එම ප‍්‍රමාණය අනුව සලකන විට සියයට 216 කින් බදු ආදායම උපයා ගැනීමට සමත්ව ඇත. ආණ්ඩුව ආර්ථික අර්බුදය පසුවන අතර ආර්ථිකය ඍණ අගයක් ගෙන තිබේ. මෙම අති විශාල බදු ප‍්‍රමාණය මහජනතාවගෙන් ලබාගැනීම යුක්තිසහගත ද යන්න ප‍්‍රශ්න කළ යුතුය. බලහත්කාරයෙන් පනවන නීති අනුව උපයනවිට බදු හා රඳවාගැනීමේ බදු නංවන ලද ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ මාසික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ආපසු උදුරාගෙන ඇත.

මුල්‍ය වාර්තා දක්වන පරිදි උපයනවිට ගෙවන බදු ආදායම රු. බිලියන 4ක සිට 25 දක්වා වැඩිකරගන්නට සමත්ව ඇත. රඳවා ගැනීමේ බද්ද 2023 පළමු කාර්තුවේ ආදායම රු. බිලියන 26 කි. කලින් වසරේ සමාන කාලසීමාවේ දී රජයට අයකරගත හැකිවව තිබුණ මුදල රු. බිලියන තුනකි. 2022 වසරේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 8.3ක සිට මෙම අවුරුද්දේ සියයට 11.4 දක්වා වැඩි කරගන්නට ඉලක්ක කර ඇති අතර ලබන වසරේ දී සියයට 15ක ආදායමක් අපේක්ෂා කරයි. මෙම බදු ගෙවන්නේ මහජනතාව බව මතක තබාගත යුතු කරුණකි. අත්‍යවශ්‍ය දේ මිලදී ගන්නට පවා මුදල් හිඟ තරමට සාක්කුව හිස් කරගෙන සිටින වැඩ කරන ජනතාවගෙන් අසමාන බදු අය කිරීම අකෘතඥ තත්ත්වයකි.

ආනයන බදු ගැන සලකා බලන කල රේගු බදු ආදායම මෙම වසරේ මුල් මාස තුන ඇතුළත රු. බිලියන 400 කට සීමා වී ඇත. අවුරුද්දේ ඉලක්කය රු. බිලියන 1,200ක් බව දැක්වේ. මෙම ආදායම ලබාගැනීමට නොහැකිවනු ඇති බව දැනට ප‍්‍රකාශ වි තිබේ. ආදායම පහතවැටෙන විට තවත් බදු ජනතාව මත පැටැවෙනු ඇත. වත්කම් හා දේපොල සලකා අලූත් බද්දක් ලබන වසරේ සිට පනවන බවක් කියැවේ. පුරවැසියන්ගේ නමට ඇති ඉඩම්, වාහන හෝ නිවාසවල වටිනාකම සලකා බදු අලූතින් නියම කරනු ඇත. දැනටත් වරිපනම් බදු ගෙවන, ඉඩම් පැවැරීමේ දී වටිනාකම අනුව ගාස්තු ගෙවන ජනතාවට මෙය අතිශය හිරිහැරදායක තත්ත්වයක් වනු නිසැකය. 

• සංචාරක ව්‍යාපාරය අතහැර තොරතුරු තාක්ෂණයට බදු

රජයේ ආදායමෙන් සියයට අසූවක් පමණ රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන්නට වැයවන බව දැක්වේ. රජයට බරක් නොවී තමන්ගේ වෘත්තියක් කරගෙන ආණ්ඩුවට ආදායමක්ද ගෙන දෙන අලුත් ක්ෂේත‍්‍රයක් දියුණුවෙමින් පවතී. යාන්තම් හිස ඔසවනවිට එය තමන්ගේ වාසියට හරවාගන්නට වෑයම් කරන බව පෙනේ. පසුගියදා පාර්ලිමේන්තු කමිටුවක දී හෙළිවූ පරිදි තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග සේවා අපනයනයෙහි යෙදී සිටින ව්‍යවසාය වලින් අලුත් බද්දක් අය කෙරෙනු ඇත. 

තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග අපනයන අංශය 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායම් රටට සපයා ඇත. එක් ලක්ෂ පනස් දහසක පිරිසක් එහි සේවයේ නිතරව සිටිති. සංචාරක කර්මාන්තය අබිබවා මෙම අංශයෙන් විනිමය ඉපැයීම විශේෂයෙන් දැක්විය යුතුය. සංචාරක ව්‍යාපාර අවිනිශ්චිත ආදායමක් වන අතර දැනටමත් රජයේ සහන යටතේ ක්‍රියාත්මක ක්ෂේත‍්‍රයකි. රජයේ සහය රහිතව සහ රජයෙන් රස්සා ඉල්ලා සිටිය යුතු ලක්ෂ ගණනක් ජීවත් කරවන අංශයක් තවත් පෝෂණය කළ යුතුව තිබිය දී එයින් කොටසක් උදුරාගෙන අකාර්යක්ෂම රාජ්‍ය අංශය නඩත්තු කිරීම වරදකි.

ආර්ථික අර්බුදය හේතුකොටගෙන රජයේ මැති ඇමැතිවරුන්, නිලධාරීන් කැපවීමක් කර තිබේද? රාජ්‍ය ආයතනවල විදුලිය බිල හෝ අඩුකර නැත. වාහන භාවිතය සීමාවක් නැති බව පෙනේ. අඩුම තරමින් කාර්යාලවල වායු සමීකරණ යන්ත‍්‍ර සීමා කරන අතර ජල පරිහරණය අඩු කරන තීරණයක් හෝ නොගන්නා ආණ්ඩුව එම වියදම් සඳහා මහජනතාවට හා ව්‍යවසායකයන්ට තවත් බදු පැනැවීම සාධාරණ නැත. රජයේ වියදම් ද සමාලෝචනය කර ප‍්‍රතිශතයක් වශයෙන් කපා හැරිය යුතුය.

• දුස්පාලනය ජනතාවගේ හිසට පැවැරීම

එක පැත්තකින් අධික බදු පනවන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙයැවීම අනුව රාජ්‍ය ව්‍යවසායවල වියදම පාරිභෝගිකයන්ට හරවමින් සිටී. විදුලිය නිපදවන මිල සලකා ගාස්තු නියම කෙරේ. විදුලිය ඒකකයක් නිපදවන්නට වැඩිම මිලක් ගෙවන රට වශයෙන් ශ‍්‍රී ලංකාව සැලකීම වරදක් නොවේ. ලෝකයේ අනෙක් රටවල් නිෂ්පාදන පිරිවැය අඩු කරන ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කරති. සවුදි ආරබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි තෙල් නිෂ්පාදකයන් පවා සූර්ය තාප විදුලියට නැඹුරු වෙමින් සිටී. ඉන්දියාව සමඟ ග‍්‍රිඩ් සබඳතා ඇති කරගන්නට ගිවිසුම් අත්සන් කර ඇත. ශ‍්‍රී ලංකාව විදුලිය නිපදවීමේදී පැරණි ක‍්‍රම, අධික නාස්තිය, දූෂණ හා අයහපත් කළමනාකරණය හේතුවෙන් තවත් බරක් උහුලන බව සඳහන් කළ යුතුය. මේවායේ ප‍්‍රතිසංස්කරණ නොකරන ආණ්ඩුව සියලු බර විදුලිය පාරිභෝගිකයන්ට පවරා ඇත. ඛනිජ තෙල්, ජලය, ගෑස් වැනි අංශවලද රාමුව සියලු වියදම ජනතාව මතට පැවරෙන පරිදි සකස් කිරීමෙන් පසු ආණ්ඩුවේ වියදම අවම කරගන්නට වෑයම් කරන බව පෙනේ. අයවැයද පියවා ගන්නා අතර රාජ්‍ය ආයනවල වියදම්ද ජනතාවට පවරන පසු මිනිසුන් ජීවත්වෙන්නේ කෙසේද?

පසුගිය කාලයේ රට තුළ පැන නැගුණ දූෂණ වංචා, ලිපිගොනු ගැන කිසිම කතාබහක් නැත. පවරන ලද නඩුවලින් පවා මැති ඇමැතිවරුන් හා නිලධාරීන් නිදොස් කොට නිදහස් වෙන බව වාර්තා වේ. රාජ්‍ය ධනය කොල්ල කෑ බවට පළ වූ තොරතුරු ගැන කිසිම සඳහනක් නැත. සොරකම් කළ ධනය ගෙනැවිත් භාණ්ඩාගාර පුරවන බවට කළ ප‍්‍රකාශ වෙනුවට ජනතාවගේ සුළු මුදල ආපසු අය කරගන්නා ක‍්‍රමයකට අවතීර්ණ වී ඇත. ක‍්‍රමය වෙනස් කරන සේ බලකරන ලද අරගලය අවසානයේ නිර්මාණය වී තිබෙන පසුබිම විපක්ෂයේ අවධානයට නොගැනීම බරපතල තත්ත්වයකි. වහාම මිනිසුන් ජීවත් කරන්නට බලකරන අණ පනත් සම්මත කරගත යුතුව තිබේ. ආහාර ලබා ගැනීම ද මුලික අයිතියකි. අධ්‍යාපනය, නිවාස, මානව හිමිකම් මෙම සියලු දේ සඳහා උපයන ධනය ප‍්‍රමාණවත් නැති රටක තත්ත්වය වගකිය යුතු අංශවල අවධානයට පත්විය යුතුය. 

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02