ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක අරමුදල් පහසුකමක් අනුමත කළේය. එහි පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට හිමි වූ අතර එම ණය මුදල ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ කොන්දේසි පනවා තිබිණි. එහි දෙවැනි වාරිකය ලබාදීමට ප්‍රථම ඔවුන් විසින් පනවන ලද කොන්දේසි සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව පෙන්වා ඇති ප්‍රගතිය හා කැපවීම පිළිබඳව සමාලෝචනයක් කිරීමට දිවයිනට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ඒ සම්බන්ධ සාකච්ඡා පසුගිය සැප්තැම්බර් 14 දින ආරම්භ කළහ. සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර එහි අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් 26දාය. ඒ අනුව එම නියෝජිත පිරිස තම නිගමනයන් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ දෙවැනි ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් සපුරාලිය යුතු ඇතැම් කොන්දේසි තවමත් සපුරා නොමැති හෙයින් එය ලබාදීම සඳහා නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවටය.
අසීරු වුවද ඉතාමත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර 2022 70%ක්ව පැවැති උද්ධමනය 2023 සැප්තැම්බරය වනවිට 2%ක් දක්වා පහත වැටී ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම මාර්තු - ජූනි කාලය තුළ දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කින් ඉහළ ගොස් ඇත. ආර්ථිකය ස්ථාවර වන බවට වන ලක්ෂණ පැවතියද එය පූර්ණ වශයෙන් ශක්තිමත් කර ගැනීම සඳහා සහතිකයක් නොමැත. ආදායම් ඉහළ නැංවීමට සහ මනා පාලනයක් ඇතිකිරීමට බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම, ඉවත් කිරීම සහ සක්‍රීය බදු පැහැර හැරීම නවතාලීම වැදගත් වන බවද එම නියෝජිත පිරිස පෙන්වා දී තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසාධනය තවමත් ළඟා කරගෙන නොමැති බවයි. එහි වර්ධන වේගය අවම වී ඇති අතර වසරේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂිකව 3.1%කින් හැකිළී තිබේ. ප්‍රතිසංස්කරණ ඉහළ නැංවීම සඳහා තවත් බොහෝ දේ සිදුකළ යුතුවන අතර ආර්ථිකය ස්ථාවර වර්ධනයක් කරා යොමුකළ යුතුව පවතී.
''බදු ආදායම වැඩිකර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධානතම සාධකයක් වන අතර එය රජයේ වියදම් කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය කරුණක්. ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් පවතිනවා. රටේ වැය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක් වන අතර ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%යි. එම පරතරය පියවීමට පියවර ගත යුතුයි. 2019 සිදුකළ බදු කප්පාදුව නව බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආපසු හැරීමක් පෙන්නුම් කරනවා. එහෙත් ආදායම හා වියදම අතර පරතරය පියවමින් ඉදිරියට යාම සඳහා එය පමණක් ප්‍රමාණවත් නැහැ. දෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් තෘප්තිමත් විය යුතුයි. එනම් ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව අප එකඟතාවකට පැමිණිය යුතුයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ස්ථාවර කරනු වස් ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි. මෙම කරුණු සම්පූර්ණ කළ විට දෙවැනි ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකියි.'' යනුවෙන් සඳහන් කළේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට සඳහා ඔවුන් විවිධ කොන්දේසි පනවා තිබිණි. ණය සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය සඳහා රජයේ ආදායම ඉහළ නංවා ගැනීම (බදු පැනවීම - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වූයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය හැර සෙසු සියලු අංශ සඳහා බදු පැනවිය යුතු බවයි). එමෙන්ම ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මුදලක් ලබාගෙන රාජ්‍ය ව්‍යවසාය මගින් ඇතිකර ඇති පීඩනය අවම කිරීම, (රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම) මිල ස්ථාවරත්වය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, විදේශ සංචිත ඉහළ නංවා රටේ මූල්‍ය ස්ථාවරත්වය යළි සැකසීම, අර්බුදය මගින් දුගී ජනතාව වෙත පනවා ඇති බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම (වෙළෙඳ පොළ මිල වෙනස් නොකර දිළිඳු ජනතාවට මූල්‍ය ආධාරයක් ලබා දීම) සහ දූෂණය අවම කිරීම සඳහා තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ප්‍රවර්ධනයක් ඇති කිරීම යන කරුණු ඔවුන්ගේ කොන්දේසි මාලාවට ඇතුළත්ව තිබිණි.
ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් දිගින් දිගටම විමසිල්ලෙන් සිටි ''වෙරිටේ රිසර්ච්'' ආයතනය 2023 අගෝස්තු 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාව අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට කොන්දේසි 100ක් පනවා තිබේ. 2023 අගෝස්තු 31 දින වන විට එම කොන්දේසිවලින් සම්පූර්ණ කර ඇත්තේ 38%ක් පමණි. ඉටුකර නොමැති කොන්දේසි 8%ක් වන අතර අර්ධ වශයෙන් ඉටුකර ඇති කොන්දේසි 43%කි. ප්‍රගතිය පිළිබඳව කිසිත් නොදන්නා කොන්දේසි 11%කි.
ආණ්ඩුව විසින් ඉටුකර නොමැති ප්‍රධාන කොන්දේසි වන්නේ 2023 මාර්තු මාසය වනවිට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1%ක් හෙවත් රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ නැංවීම, මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම, තෝරාගත් බැංකුවල ගුණාත්මක භාවය පිළිබඳ සමාලෝචනය සම්පූර්ණ කිරීම, 2023 ජූනි මාසය වනවිට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3%ක් හෙවත් රුපියල් බිලියන 1300ක් ලෙස පවත්වාගෙන යාම, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ම 2022 වසරට අදාළ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බව සහතික කර ගැනීම, මෙම වැඩසටහන් කාලය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීමට සැලසුමක් පිළියෙළ කිරීම සහ 2024 සඳහා වන ආදායම් විධිවිධාන සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම යන කොන්දේසිය. මින් ආනයන සීමාවලට යටත් ඇතැම් භාණ්ඩ සඳහා එම සීමා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව පසුගියදා ආණ්ඩුව ප්‍රකාශ කළේය.
කෙසේ නමුදු රජය බදු ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය. ''ඔවුන් රජයට යොමුකළ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. ඉන් වැඩිම අවධානය යොමුවුණේ රාජ්‍ය ආදායම වෙතයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2023 ඉලක්ක ගත රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 3101ක්. එහෙත් සැප්තැම්බරය වනවිට ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 1643ක් පමණයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම අප්‍රසාදය පළකළා.'' යනුවෙන් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා රජය විශාල ලෙස බදු අයකර ගැනීමට පියවර ගත්තේය. ජල බිල, විදුලි බිල, අධික ලෙස ඉහළ දැමීය. වෘත්තීයවේදීන්ට පැනවූ බදු හේතුවෙන් බොහෝ පිරිසක් විදෙස්ගත වූහ. විදුලි බිල විශාල ලෙස ඉහළ යාමෙන් සුළු හා මධ්‍යම කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී යන්නට විය. මහ පරිමාණ කම්හල්ද පවත්වාගෙන යාමට සිදුවූයේ මහත් අසීරුවෙනි. ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ අතර රටපුරා විවිධ උද්ඝෝෂණ ඇති විය. එහෙත් ආණ්ඩුව ප්‍රකාශ කළේ රට යම් ස්ථාවරත්වයක් ළඟාකරගෙන ඇති අතර උද්ධමනය පහළ ගිය බවටය.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ එකක් නොව රජය විසින් ණය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් බවයි.
''එම වැඩපිළිවෙළ තමයි අයි.එම්.එෆ්. එක බාර ගත්තේ. අයි.එම්.එෆ්. එක සහ ආණ්ඩුව අතර තියෙන්නේ එකඟතාවයක්. මෙම වැඩපිළිවෙළ ඉදිරියට යන්නේ එම එකඟතාවය මතයි. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ වියදම අවම කරනවාට වඩා ආදායම වැඩි කර ගැනීම පිළිබඳව කටයුතු කිරීමයි. දැනටත් ආණ්ඩුවට දැරීමට ඇති වියදම් දරාගත නොහැකියි. ආණ්ඩුවේ ආදායම වැඩිකරගැනීමේ පැත්තෙන් සතුටු දායක තත්ත්වයක් ඇති වෙලා නැහැ. බදු ගැහැව්වට මිනිස්සුන්ට බදු ගෙවන්න හැකියාවක් නැහැ. මිනිස්සුන්ට වියදම් කරන්න හැකියාවක් නැතිවිට ඉල්ලුම අඩු වෙනවා. එවිට මිල පහළ යනවා. උද්ධමනය අඩුවෙලා කියල ආණ්ඩුව කිව්වට රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා උද්ධමනය අඩුවෙලා නැහැ. වෙලා තියෙන්නේ ආර්ථිකය සංකෝචනය වීමක්. අයිඑම්එෆ් එකේ තවත් කොන්දේසියක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළේ අසාධාරණ විදිහටයි. එහි බර සම්පූර්ණයෙන්ම අර්ථසාධක අරමුදල පිට පැටෙව්වා. මේ කොන්දේසි අයි.එම්.එෆ්. එක පටවපුව නොවෙයි. ඔවුන් කිව්වෙ නැහැ දේශීය ණය සම්පූර්ණයෙන්ම අර්ථසාධකයට පටවන්න කියලා. ඔවුන් කිව්වේ දේශීය හා ජාත්‍යන්තර ණය අවම කර ගැනීම සඳහා ඔබේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න කියලයි.'' යනුවෙන් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය වෙනස් වූයේ කුමන ආකාරයටදැයි විමසා බැලිය යුතුය. මින් ඉහත අවස්ථා 16කදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන තිබේ. එම අවස්ථාවන්හි එවක පැවැති ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවන ලද කොන්දේසි ප්‍රමාණයට වඩා වැඩි කොන්දේසි ප්‍රමාණයක් මෙවර ඉටු කර ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි මූල්‍ය අරමුදලේ සහය නොමැතිව කළ නොහැකි ආර්ථිකය තුළ නිවැරදි විය යුතුව පැවැති ප්‍රතිසංස්කරණ කිහිපයක් ආණ්ඩුව විසින් සිදු කර ඇති බවයි. විශේෂයෙන් සමාජ ආරක්ෂණය පිළිබඳ වැඩ සටහන, කලක් මුළුල්ලේ සිදුවිය යුතුව තිබූ මිල ගැලපීම්, බදු ආදායම් වැඩිකර ගැනීම, කාලයක් පුරා ඇදී යමින් පැවැති මහ බැංකුව ස්වාධීන කිරීම, පාඩු ලබන ආයතන ක්‍රමානුකූලව ප්‍රතිව්‍යුහ ගතකිරීම වැනි ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන හේතුවෙන් ක්‍රියාවට නැංවීමට හැකි වූ බව ඔවුහු පෙන්වා දෙති.
එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ කොන්දේසි ඉටු කිරීමට රජය උත්සහ කළ ද ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවටය. උදාහරණයක් වශයෙන් අල්ලස් හෝ දූෂණ වංචා සම්බන්ධ පනත් කෙටුම්පතක් සකස් කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන්නේ නම් එහි කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔහු සඳහන් කර තිබේ. මීට අමතරව රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ වියදම් අඩුකර ගැනීම පිළිබඳව ප්‍රකාශ වුවද, ඉකුත් මාස හයේදී රජයේ ආදායම 43% කින් ඉහළ යන විට රජයේ වර්තන වියදම් 48% කින් ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය නිකුත් කිරීමට පෙර දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු වුවද දේශීය ණය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ආණ්ඩුවට තවම හැකිවී නොමැත. මහ බැංකුව විසින් ලබා දුන් ණය පිළිබඳව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මෙතෙක් සිදුව නොමැති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැලැස්ම තවම ඉදිරිපත් කර නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය මගින් ජුනි මස අවසානය වනවිට ඉටුකළ යුතුව තිබූ කොන්දේසි සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබිණි. එහෙත් ඇතැම් කරුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටී. ඉන් එක් කරුණක් වන්නේ මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීමය. මෙය මාර්තු අග වන විට ක්‍රියාවට නැංවීමට නියමිතව තිබූ නමුදු මෙතෙක් ඉටු වී නොමැති බව පැවසේ. මෙම ක්‍රියාවලියේදී අර්ධ වාර්ෂිකව තුන් ආකාරයක තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කර තිබිණි. එනම් සියලුම සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කරනු ලබන සියලුම සමාගම් සහ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කරන ලද පුද්ගලයන්ගේ සහ සමාගම්වල නම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමය. රාජ්‍ය ආදායමින් පුද්ගලික වාසි ලබාදීම සඳහා බලය අනිසි ලෙස භාවිතා කිරීම සීමාකිරීම එහි අරමුණ විය.
කෙසේ නමුදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රකාශ අනුව හැඟ වන්නේ තවදුරටත් බදු මගින් රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බවටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ්‍රී ලංකාව තවමත් බදු අඩුවෙන් අයකරන රටක් බවයි. එසේ නම් ඔවුන් නොකියා කියන්නේ තව තවත් බදු ගසා රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බවටය. දැනටමත් බුද්ධි ගලනයක් සිදුවෙමින් පවතින වාතාවරණයක් තුළ අනාගතයේ තවත් වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ලංකාව හැර යනු ඇත. රටක් විනාශ කළ දේශපාලකයන්ගෙන් සහ බදු නොගෙවන පුද්ගලයන්ගෙන් හා සමාගම්වලින් බදු අයකරගැනීමට උත්සාහ නොකර ජනතාව මත බදු පැනවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. 2022 වසරේ ආදායම් බදු ලිපිගොනු 292,000ක් පැවතියද එම පිරිසෙන් බදු ගෙවා ඇත්තේ 10%ක් හෙවත් 31,000ක පමණ පිරිසක් යැයි ජාතික ආර්ථික හා භෞමික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා සඳහන් කළේය. මෙරට විවිධ සමාගම් එක්ලක්ෂ පන්දහසක් (105,000) පවතින නමුදු ඔවුන්ගෙන් බදු ගෙවා ඇත්තේ 15% ප්‍රතිශතයක් හෙවත් 10,700ක් වැනි පිරිසක් පමණි. නව බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති නමුදු විවෘත කර ඇත්තේ ලිපිගොනු 10,000ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන්, නිමි ඇඳුම් වෙළෙඳසල් හිමියන්, ප්‍රධාන පෙළේ ආනයන අපනයනකරුවන්, කල්බදු සමාගම්, සුපිරි වෙළෙඳසල් හිමියන්, ඉදිකිරීම් සමාගම් සහ මහා පරිමාණ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් වැනි විශාල පිරිසක් එකදු රුපියලක් හෝ බදු නොගෙවන අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේ ක්‍රමවේදයක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට නොමැති යැයි ද ඔහු සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා