''මේ රටේ ඉඳලා මොනව කරන්නද? ලැබෙන පඩියෙන් එදාවේල පිරිමහ ගන්නවත් බෑ. හැබැයි අර 225ට නම් කිසි හිඟයක් නෑ. පාලකයො බංකොලොත් කරපු රට ගොඩගන්න අපි බදු ගෙවනවා. ඒක හින්දා අපේ ළමයි නම් මේ රටේ තියන්නෙ නෑ. රුමේනියාවට හරි යවනවා.'' මෙසේ පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙක් වන රණතුංගය.
''දේශපාලනඥයන්ගෙ හොරකම තවම දිගටම සිද්ධ වෙනවා. අපිට අමාරුවෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ පසුගිය කාලෙ හොරා කාපුවා ගෙවන්න. මම නම් හරිම කලකිරීමෙන් ඉන්නේ. එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටකට බැරි නම් කොහේ හරි පොඩි රටකට හරි යන්න තමයි මම බලන්නේ. මේ රටේ ඉඳලා අපේ ළමයින්ගේ ජීවිතෙත් විනාශ කරන්න බෑ.'' දේශයට අදහස් දක්වමින් එසේ පැවසුවේ ගම්පහ පදිංචි රජයේ සේවිකාවක වන පද්මිකාය.
මේ දිනවල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උදේ පාන්දර පටන් තරුණයන් ඇතුළු දහස් ගණනක් පෝලිම්වල සිටීම සාමාන්‍ය සිද්ධියක් වී තිබේ. ''තරුණයන්ගෙන් ඇහුවොත් බලන්නකො කවුද ඉන්න කැමති කියලා. දුප්පත් පෝසත් බේදයක් නැතිව කවුරුත් හොයන්නේ වෙන රටකට වීසා ගන්නෙ කොහොමද කියලා.'' පද්මිකා වැඩිදුරටත් කීවාය.
කුරුණෑගල පදිංචි මගේ මිතුරකු තම එක් පුතෙක් එංගලන්තයට වෘත්තීය අධ්‍යාපනය සඳහා මාස කිහිපයකට පෙර යවා ඇති අතර මේ දිනවල බාල පුතාත් එරටට යැවීම සඳහා මූලික සුදුසුකම් සපුරා ගැනීමට IELTS විභාගයට සූදානම් කරවමින් සිටී. 2022 වසරේ ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 9ක් පමණ නිකුත් කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කර සිටියේය. මේ වර්ෂයේද එම ප්‍රවණතාව තවත් වර්ධනය වී තිබේ.
මෙසේ දෙමාපියන් තම සියලු වත්කම් උකස්කර හෝ තරුණ දරුවන් රට යැවීමට උත්සාහ කරන අතර ඒ නිසා දෙමාපියන්ට ඉදිරියේ විශාල ඛේදචාකයකට මුහුණදීමට සිදුවන බව මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.
එයට අනුව රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට තම දූ දරුවන්ගෙන් ඈත්වී හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව අසන්නට ලැබේ. අප රටේ වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව එහිදී හෙළිවූ කරුණකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අධ්‍යයනාංශ ප්‍රධානී මානව සම්පත් වරලත් ආයතන ප්‍රධානී මහාචාර්ය ප්‍රසාදිනි ගමගේ ඇතුළු පර් යේෂක කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර මේ සඳහා සහභාගි වූ පුද්ගලයන් 3600කගෙන් සියයට 75ක්ම පවසා ඇත්තේ රටේ නායකත්වයේ දැක්මක් රහිත වැඩපිළිවෙල නිසා පිටරටවලට සංක්‍රමණය වීමට තීරණය කර ඇති බවයි.
මෙම පමීක්ෂණයට සියයට 58ක් පිරිමිද සහ සියයට 42ක් කාන්තාවන්ද සහභාගි කරවාගෙන ඇති අතර ඒ පිරිස අතරින් බහුතරයක් වයස අවුරුදු 26ත් 35ත් අතරේ පසුවන්නෝ වූහ. සමීක්ෂණයට යොදාගත් සංඛ්‍යාවෙන් සියයට 57ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් අනාවරණය වී ඇති කරුණකි.
එමෙන්ම පසුගිය කාලයේ මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල ඔවුන්ගේ දැනුමට නොගැලපෙන සේවා වෘත්තින්හි යෙදෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසා සිටී.
පසුගිය මාස කිහිපය තුළ පමණක් පාසල් ගුරුවරු පන්දහසකට වැඩි පිරිසක් මෙරටින් විදේශගත වී සිටින අතර මේ නිසා කොළඹ පාසල්වල පවා විද්‍යා ගණිත ගුරු හිඟයක් මතුවී ඇති බව විදුහල්පතිවරු පවසති. එක්තරා ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ අද එන ගුරුවරයා ඊළඟ සතියේ නොකියාම රටයාම විශාල ගැටලුවක් වී පවතින බවය.
වෘත්තිකයන් අතරින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ද විශාල වශයෙන් රටහැර යනු දක්නට ලැබේ. මේ ගැන පැවසූ මහාචාර්ය ප්‍රසාදිනී:
''පසුගිය අවුරුද්දේ රෝහල්වල සිටි 20,000ක් පමණ වන වෛද්‍යවරු අතරින් 700ක් රටින් පිටවෙලා ගිහින්. රජයේ වාර්තාවලට අනුව ලියාපදිංචි ඉංජිනේරුවරු අතරින් 436ක් පසුගිය අවුරුද්දේ රටින් පිටවෙලා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් පිටරට රුකියාවලට යාම නිසා එයට ප්‍රශ්න ඇතිවෙලා.
වෘත්තීන් විදිහට ගත්තම මානව සම්පත් වෘත්තිකයන්, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, නීතිඥවරු, ගණකාධිකාරිවරු, බංකුකරුවන් වගේ ක්ෂේත්‍ර රාශියක වෘත්තිකයන් රටින් පිටවීමට තීරණය කරලා. මේ අතරින් සියයට 58කට අවුරුදු 1-5 අතර කාලයකින් රටින් පිටවීමට සැලසුම් කර තිබෙනවා. සියයට 35කට අවශ්‍ය ඉක්මනින්ම රටින් පිටවී යාමටයි. අවුරුදු 5කින් පසු රටින් පිටවන බව කිව්වේ සියයට 7ක පිරිසක් පමණයි. ඔවුන් ඒ සඳහා විශාල උත්සාහයක් ගන්නා බව පේනවා. සමහරු රටින් පිටවීමට ඒ රටවල රුකියා බහුල වෘත්තින්වල සුදුසුකම් පවා ලබාගන්නට කටයුතු කරනවා.''
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය එල්.ඒ.ඩී. විමලසිරි දශක දෙකහමාරකට පෙර එරට පදිංචියට ගියේ තරුණ අවදියේය. ඔහු අද ශ්‍රී ලාංකිකයන්ගේ රට යන උනන්දුව ගැන අදහස් දැක්වූයේ මෙසේය:
''මම මෑතකදී ලංකාවට පැමිණි විට හමුවූ මිතුරන් විශාල පිරිසක් තමන්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවට යැවීම ගැන විමසුවා. ඇත්තටම සමහරු පැමිණ මා හමුවී පැරණි මිතුදම් අලුත්කර ගැනීමට උත්සාහ කළෙත් ඒ නිසා වන්නට පුළුවන්. ලංකාවේ ඉඳන් දුරකථනයෙනුත් කතාකර ඕස්ට්‍රේලියාවේ රුකියා ගැන අහන පිරිස් බහුලයි. ඒ වගේම ලාංකික තරුණයන් විශාල පිරිසක් මෙල්බර්න්වලත් රුකියා කරනවා. ඔවුන් දොමාපියන්ගෙන් ඈත්වෙලා දුර රටකම පැමිණිම නිසා දෙමාපියන් තනිවෙන බව ඇත්ත. නමුත් ඔවුන් ලංකාවෙ හිටියා නම් රටේ තියන ආර්ථික රටාව අනුව ඔවුන් දෙමාපියන්ට බරක් වෙනවා වගේම දෙමාපියන් වයසට ගියවිට දරුවන්ට බරක් වීම සිදුවෙනවා. පිටරට සිටින දරුවන් මුදල් යවලා හෝ දෙමාපියන්ට සැලකීමට මං හදාගන්න ආකාරය මට දකින්න ලැබෙනවා.
ලංකාවෙ දෙමාපියන් දරුවන් ළඟම තබාගැනීම දකින්න ලැබුණත් මේ රටවල්වල ඒක වෙනස්. බටහිර රටවල දරුවන්ට තමන්ගේ දෙමාපියන් රඳවා තබා සැලකීමට වැඩිහිටි නිවාස බහුලයි. රජයෙනුත් ඒ ගැන සොයා බලනවා. ඒ වගේම මිනිසෙක් සේවය කර හෝ නොකර විශ්‍රාම ගියවිට ඔහුගේ වත්කම් සලකා බලා රජයෙන් දීමනාවක් ලබාදෙනවා. වයසට ගියාම පාරෙ වැටිල මැරෙන්න මේ රටවල ඉඩදෙන්නෙ නෑ. හොඳ සංකල්පයකින් වැඩිහිටි ප්‍රජාව ගැන සලකා බලනවා. ඒ නිසාම හෙද සේවය සහ වැඩිහිටි රුකබලා ගැනීමේ සේවාවල රුකියා රාශියක්ද බිහිව තිබෙනවා.''
දත්ත අනුව, 2022 වසරේ ජූනි මස 01 වැනිදා සිට මෙම වසරේ මැයි මස 31 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී රටින් පිටව ගොස් ඇත. එමෙන්ම එම කාල සීමාව තුළදී ශ්‍රේණි වෛද්‍යවරුන් 842 දෙනෙකුද සේවයෙන් ඉවත්ව විදෙස් ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
''පිටරටවල පදිංචි වී රුකියා කිරීමට බලාපොරොත්තු වන වැඩි දෙනෙක් යාමට කැමති ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, නවසීලන්තය වගේ රටවලටයි. ආර්ථික අර්බුදය ඔවුන්ගේ සංක්‍රමණයට ආසන්න හේතුවක් දැයි අපි විමසූ විට එයට 67%ක් දෙනා පක්ෂව ප්‍රතිචාර දැක්වූවා. ඔවුන්ට තිබූ වෙනත් රටවලට සංක්‍රමණය වීමේ අරමුණ අර්බුදය හේතුවෙන් තවත් වේගවත් වී තිබෙනවා.
සමීක්ෂණයට ප්‍රතිචාර දක්වා ඇති බැංකුකරුවන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, රාජ්‍ය අංශයේ සේවකයන්, නීතිඥයන්, අලෙවිකරුවන් සහ විශ්වවිද්‍යාල විද්වතුන් අතරින් 50% කට ආසන්න ප්‍රමාණයක් සංක්‍රමණය වීමට අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. තවත් 50% රටේ සිටීමට කැමැති බව පවසා සිටියා.'' මහාචාර්ය ප්‍රසාදිනී අප සමඟ පැවසුවාය.
මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ රට වාසය කිරීමට නුසුදුසු බවට අලුත් පරම්පරාව තුළ හැඟීමක් ඇතිව තිබෙන බවයි. ලංකාව ඒ තත්ත්වයට පත් කළේ අදත් රට පාලනය කරන පාලක හොරුන් විසිනි. සරදම නම් ඔවුන් කිසි කරදරයක් නැතිව සුවපහසු ජීවිතයක් ගතකරන අතර බදු ගෙවන ජනතාවට තම දරුවන් රට යැවීමට සිදුව තිබීමයි. ඒ නිසාම සමහර දෙමාපියන්ට වියපත් කාලය තනිව හූල්ලමින් ගත කිරීමට සිදුවීමයි.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි