2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ණය නොගෙවා මෙහෙම නම් ගෙවන්න පටන් ගත්තාම වෙන දේ

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

බොහෝ දෙනා මේ වන විට ණය ගැන කතා කරන්නට පටන්ගෙන ඇත්තේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වූ පසුබිමකය. වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරි ආරම්භ කර දින දෙක තුනක් යන විට විදේශ ණය ගෙවීම නවතන බව පැවසූ අතර රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළේය. මෙම තීරණය පිළිබඳ විවිධ විවේචන එල්ල වුවද මධ්‍යස්ථ මතධාරී ආර්ථික විශ්ලේෂකයන් පවසනුයේ ඒ අවස්ථාවේ සුදුසුම තීරණය ගෙන ඇති අතර අන් විකල්පයක් නොතිබූ බවය.

අප පසුගිය කාලයේ ලබාගෙන ඇති ණය යළි ගෙවීම කවදා පටන් ගන්නවාද යන්න පිළිබඳ තවමත් පැහැදිලි තීරණයක් ගෙන නොමැති අතර මෙම ණය එලෙසම තබාගෙන ආණ්ඩුව තවදුරටත් ණය ගනිමින් සිටී. මෙලෙස ණය ලබාගැනීම හේතුවෙන් රටේ ණය ශේෂය තවදුරටත් ඉහළ නැගීමේ අනතුරක් උද්ගතව ඇත. එසේම ලබාගන්නා ණය ආපසු ගෙවීම පිළිබඳවද රජයට නිසි සැලසුමක් ඇති බවක් නොපෙනේ. ව්‍යාපෘති ණය ලෙස පවසමින් ලබාගන්නා ණය පවා අදාළ කාර්යයට නොයොදවා වෙනත් වියදම් ආවරණය කිරීමට භාවිත කරන අවස්ථා තිබූ බවද අනාවරණය වී ඇත. ඒ නිසා එම ණය ගෙවිය නොහැකිව ඇත.

රජය පමණක් නොව රටේ ජනතාවද අද ජීවත් වන්නේ ණය වලිනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මෙන්ම ඖෂධ මිලට ගැනීම සඳහා ද මෙලෙස ණය ලබාගන්නා බව පෙනී ගොස් ඇත. 2023 වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළ ජනතාව රුපියල් කෝටි 19,000 ක පමණ රන් භාණ්ඩ උගස් කර, ණය ලබාගෙන ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බොහෝ ජනතාව බැංකුවලින් ණය ලබාගැනීමේදී අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවන බැවින් හා වැඩි මුදලක් ලබාගැනීමට වැඩි පොලියට පෞද්ගලික ආයතනවලින් උගස් ණය ලබාගැනීමට පෙළඹී ඇති බවද දැනගන්නට තිබේ. මෙලෙස අවිධිමත් ලෙස ලබාගන්නා ණය පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන නොමැත. මෙතැනදී ගැටලුවක් ඇතිවන්නේ ආණ්ඩුවට එදා මෙන්ම අද ද ලබාගන්නා ණය පිළිබඳ ආපසු ගෙවීමේ සැලසුමක් නොමැති වීමය. එසේ ඉලක්කයක් නොමැතිව ණය ගැනීම නිසා ණය අර්බුදය තව තවත් උග්‍ර වෙයි. මෙහිදී අනාගතයේ ණය ගෙවීමේ හැකියාව නොමැතිවීම නිසා ණය ගෙවීම සඳහා තවත් ණය ගැනීමට සිදුවේ. එසේ නොවේ නම් ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී ණය ආපසු ගෙවීම ප්‍රමාද කිරීමට සිදුවේ. මෙහිදී ණය ප්‍රමාණය අඩු නොවන අතර ගෙවීමේ කාලය පමණක් දිගු වනු ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ පොලිය එකතු වීම නිසා ගෙවන්නට ඇති ප්‍රමාණය වර්ධනය වීමෙන් අර්බුදය තව තවත් උග්‍රවීමකි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත මේ වනවිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කර ඇතැයි පැවසේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ණය ලබාගෙන ඇති විශාල ණයකරුවන්ට ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පොදු ජනතාවගේ අරමුදල්වලින් ලබාගෙන ඇති ණයද දේශීය වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණයද ප්‍රතිව්‍යුහගතකරණය කිරීමය. බැංකුවල ඇත්තේද පොදු මහජනතාවගේ මුදල්ය. මෙම ක්‍රියාමාර්ගය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන අපේක්ෂා ඉටුවේද යන්න පිළිබඳ සැකයකි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඇතැම් රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති නමුත් තවම අවසන් තීරණයට එළැඹ නැත. ආණ්ඩුව මුලදී පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට වඩා විදේශ ණයවලට ප්‍රමුඛත්වය දෙන බවය. එහෙත් සිදුවී ඇත්තේ අනෙක් පැත්තය. දේශීය හා විදේශීය යන සමස්ත ණයම ප්‍රතිව්‍යුහගතකරණය කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට බලපෑම් කරනවා ඇත. තුන්වැනි ණය වාරිකය ලබාගැනීමට පෙර මෙය ඉටුකළ යුතු අනිවාර්ය කොන්දේසියක් වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළද ණය අර්බුදය දිගින් දිගටම උග්‍ර වන බව පෙනේ. මෙම තත්ත්වය මර්දනය කිරීමට යම් කටයුතු සිදුවුවද එය නිවාරණය කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් එදා සිට අද දක්වාම තිබුණේ නැත.
මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය පීඨයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ කියන්නේ ණය ප්‍රශස්තිකරණයට ගියද ගෙවීමට ඇති රටේ ණය බර අඩු නොවන බවය. මෙහිදී සිදුවන්නේ ණය ගෙවීමට යම් ප්‍රමාදයක් ඇතිකර ගැනීමය. එහෙත් ණය කවදා හෝ ගෙවිය යුතුය. කාලය දිගුවන විට පොලියද වැඩිවනවා ඇත.

''ණය බර අඩුවෙන්නේ නැහැ. අනාගතයට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණන් බැලීම් අනුව රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය 2028 දී රුපියල් 44601 කින් වැඩිවෙනවා ඇත. ඒ අනුව එක් අයකුගේ ණය රුපියල් 19,30,800 දක්වා වැඩිවෙනවා. මේ අනුව 4 දෙනකුගෙන් යුතු පවුලක ලක්ෂ 80 දක්වා වැඩිවේවි. ඒ ණය ගෙවන ක්‍රමයක් නැහැ. ඒකපුද්ගල ණය 2023 අප්‍රේල් දක්වා රුපියල් 11,81,000 ක්. 2020 එම ප්‍රමාණය තිබුණේ හයලක්ෂ අනූ දහසක් තරමේයි. 2023 වනවිට ඒකපුද්ගල විදේශ ණය රුපියල් හාරලක්ෂ අනූදහස් නවසිය හැත්තෑ දෙකක්. මෙලෙස ණය වැඩිවීමට හේතුව රජය විදේශවලින් විශාල ලෙස ණය ගැනීම මෙන්ම රුපියලේ විදේශ අගය අවප්‍රමාණ වීමයි. සෑම කෙනකුම 2022 අප්‍රේල් සිට 2023 අප්‍රේල් දක්වා වසරක කාලයක් තුළ රුපියල් එක්ලක්ෂ තිස් දහසක ණයකරුවකු වෙලා. ඒ අනුව හතර දෙනකුගෙන් යුතු පවුලක ණය රුපියල් පන්ලක්ෂ විසි දහසක් වී තිබෙනවා.

2020 – 28 කාලය තුළ රටේ ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා. එම පසුබිම තුළ රජය දේශීය ණය ප්‍රශස්තිකරණය කරන බව පවසා ඊ.පී.එෆ්. ණය ප්‍රශස්තිකරණයට ලක් කළා. එම ණය රුපියල් බිලියන 2668 ක් සහ මධ්‍යම බැංකුව ගෙන තිබූ ණය රුපියල් බිලියන 2712 ක්ද ප්‍රශස්තිකරණය කළා. මේ ණය බිලියන 5380ක් පමණයි ප්‍රතිශස්තිකරණයට ලක් වුණේ. මෙයින් වුවද රජයට ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණයි. මධ්‍යම බැංකුව ලබාගෙන ඇති ණය 2027 හා 2038 අතර කාලය තුළ කල් පිරෙනවා. මේ ණයවල පොලී අනුපාතිකය 6% - 20% අතර වෙයි. 2024 හා 2045 අතර කල් පිරෙන ණය තමා ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළේ. මෙයින් රජයට තාවකාලික සහනයක් ලැබෙන එක ඇත්ත.
මෙහිදී රුපියල් බිලියන 2000 පමණ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රමාණයක් අහිමි විය හැකියි. මෙයින් අර්ථසාධක අරමුදලට විශාල හානියක් සිදුවෙනවා. මධ්‍යම බැංකුව ණය අරගෙන තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කළාට ණය තොගය අඩුවෙන්නේ නැහැ. මෙහිදී අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට දේශීය ණය ප්‍රශස්තිකරණයකට යළිත් යාමට සිදුවන බවයි. ඒත් මෙය හැමදාම කළ හැකි සෙල්ලමක් නොවෙයි.

රටේ ආර්ථික වර්ධනයක් නැතිවිට ණය ගෙවන්න බැරිවෙනවා. නැවතත් දේශීය ණය ගෙවීම කල් දමන්න වෙනවා. ඒත් විදේශ ණයවලට ඒ දෙය කරන්න බැහැ. දේශීය ණය කපා දමනවාද කල් දමනවාද යන්න නිච්චියටම කියන්න අපහසුයි. 2023 මාර්තු 31 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ණය තිබෙනවා. ඒවා ව්‍යාපෘති ණය බිලියන 21ක ණය තමා විශාල වශයෙන් ගෙවීම පැහැර හැර ඇත්තේ.

තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුව ණය ගැනීම තවමත් නවතා නැහැ. ණය ප්‍රශස්තිකරණය ආරම්භ වූ සැප්තැම්බර් 14 දිනෙන් පසුව සැප්තැම්බර් මාසයේ ඉතිරි දිනවල බිලියන 890ක් ණය ගෙන තියෙනවා. 15දා බිලියන 170, 21දා බිලියන 220 හා 22දා බිලියන 50 ආදී වශයෙන්. මෙවැනි පසුබිමක රට ආර්ථික අවපාතයකට ලක්ව තිබීම විශාල වශයෙන් සැලකිය යුතු කාරණයක්. දැනට රටේ ඇත්තේ අක්‍රිය ආර්ථිකයක්. 2018 වසරේ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 95ක්. 2022 වනවිට බිලියන 77 දක්වා පහළ ගියා. 2022 වසරේ ආර්ථිකයේ හැකිලීම 7.8% ක්. 2019 රටේ දිළිඳු අය සිටියේ 14% ක ප්‍රමාණයක්. 2022 වනවිට එම ප්‍රමාණය 25% දක්වා ඉහළ ගියා. 2023 වසරේදී ආර්ථිකයේ හැකිලීම අඩුකර ගන්නා බවට වගකිවයුත්තන් ප්‍රකාශ කළත් එය සාර්ථක වේද කියලා තවමත් හරි හැටි කියන්න බැහැ. කෙසේ වුවත් නියමිත ඉලක්ක කරා ළඟා වේ යැයි සිතිය නොහැකියි. දැන් තාවකාලිකව නවතා ඇති ණය ළඟදීම ගෙවීම ආරම්භ කරන්න වෙනවා. එවිට රටේ ආර්ථිකයට කුමක් සිදුවේද ආර්ථික සංවර්ධනය කොතරම් දුරට ඇතිකරගත හැකිද යන්න ප්‍රශ්නකාරී බවයි කිව යුතුව ඇත්තේ.''

I යසවර්ධන රුද්රිගූ