2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

කිරිපිටි කිලෝව 1100යි: බද්ද රු.650යි

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 272

කිරිපිටි පැකට්ටුවක් මිලට ගන්නට කිලෝමීටර් ගණන් දවස් ගණන් පෝලිම්වල සිටි කාලයක්ද අපට තිබිණ. කොරෝනා සමයේ කිරිපිටි පැකට්ටුවක් සොයාගන්නවා කියන්නේ කළුනික සොයනවාටත් වඩා අමාරු වැඩක් විය. ඒ කෙසේ වෙතත් මේ වනවිට කිරිපිටි යනු අත්‍යවශ්‍ය ගණයෙහිලා සැලකෙන ආහාරයක් බවට පත් වී හමාරය. මිලදී ගන්නේ කිරිපිටිද යන්න අමතක කරවන තරමට නිකරුණේ බදු ගෙවන්නට පාරිභෝගිකයන්ට සිදු වී ඇත්තේය. 

කිරිපිටිවල පමණක් නොව බොහෝ පාරිභෝජන භාණ්ඩවල වර්තමාන තත්ත්වය එසේය. මේ අවනඩුව කියන්නටත් අහන්නටත් ඇත්තේ රටේ ජනතාවමය. කිරිපිටි ආනයනය කර රේගුවෙන් නිදහස් කර ගැනීමේදී ඒ සඳහා අධික බදු මුදලක් ගෙවීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කිරිපිටි සඳහා සියයට 10ක නව බදු මුදලක් අය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය කටයුතු කළේ මෑතකදීය. කිරිපිටි කිලෝවක් කොළඹ වරායට ගෙන්වන විට රුපියල් 1100ක මිලක් වන අතර ඒ සඳහා රුපියල් 650 කට ආසන්න බදු මුදලක් ගෙවන්නට සිදු වෙයි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසූයේ මෙම බදු ඉවත් කිරීමෙන් ජනතාවට රුපියල් 600-650 අතර මිලකට කිරිපිටි පැකට්ටුවක් ලබාදීමට හැකි බවයි. දේශීය කිරි නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයට සහ කිරි නිෂ්පාදන ව්‍යාපෘතිවල අසාර්ථක බවට බිලිවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක ජනතාවටය. කවරාකාර නම්වලින් බදු වැඩි කළද අවසානයේ තට්ටු වන්නේ පොඩි මිනිහාගේ පොකට්ටුවටය.

මිල්කෝ, හයිලන්ඩ්, එන්.එල්.ඩී.බී. ආදී සමාගම්වලට අමතරව කිරිපිටි ආනයනය කරන සමාගම් අපේ රටේ දැකිය හැකිය. ආනයනික සමාගම් ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයෙන් මෙරටට කිරිපිටි ගෙන්වන්නේ පවුඩර් වශයෙනි. එහෙත් දේශීය කිරි නිෂ්පාදනය කරන සමාගම්ද මෙරට කිරි දෙනුන්ගෙන් ලබාගන්නා දියර කිරි පවුඩර් කරන්නට විශාල පිරිවැයක් යොදවති. කල්තබා ගැනීමට යැයි පවසා එය එසේ වුවද එයත් යම් ආකාරයක තුන් තේරවිල්ලක් වගේය. දේශීය කිරි නැවත පවුඩර් කරන්නේ ඇයි? මේ ආකාරයට දේශීය දියර කිරි පවුඩර් නොකර දියර කිරි වශයෙන්ම අවම මිලකට පාරිභෝගිකයන්ට දෛනිකව බෙදාහැරීමට හැකි යාන්ත්‍රණයක් ගොඩනගන්නට නොහැකි වී ඇත්තේ ඇයි යන්නය. එසේම පාරිභෝගිකයන් මිලදී ගන්නා කිරිපිටි පැකට්ටුවට මිල තීරණය වනුයේ කිරිපිටි ප්‍රමාණයටත් වඩා බදු ගෙවන්නටය. කිරිපිටි පැකට්ටුවටත් මෙහෙම බදු ගහන රටක් ගැන අපි විමසා දැනගන්නට තීරණය කළෙමු. මේ සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික පියෝඩේල් සමාගමේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා මෙසේ පැවසුවේය.

“ආනයනික කිරිපිටි කිලෝවක් ලංකාවට ගෙන්වද්දී බදු වශයෙන් රුපියල් 225ක්, වැට් බදු වශයෙන් රුපියල් 165ක් සමාජ ආරක්ෂණ බද්ද වශයෙන් සියයට 2.5ක් එනම් රුපියල් 55ක් වරාය හා ගුවන්සේවා බද්ද වශයෙන් රුපියල් 122ක් වශයෙන් රුපියල් 567ක් ගෙවන්නට සිදුවෙනවා. වරායෙන් එළියට ගන්න කිරිපිටි කිලෝවකට මේ විදිහට විශාල බදු ප්‍රමාණයක් අය කිරීමෙන් ජනතාවට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගන්න අතිවිශාල මුදලක් වැය කරන්න සිදුවෙනවා. බදු ඉවත් කළහොත් කෝටි 2 ක ජනතාවගේ පෝෂණය උදෙසා අවම මිලකට කිරිපිටි පැකට්ටුවක් අපට ලබාදෙන්න පුළුවන්. අධික බදු මුදල හේතුවෙන් කිරිපිටි වෙළෙඳාම සියයට 50ක් පමණ අඩුවෙලා. එම අඩුවීමෙන් පෙනෙන්නේ රටේ ජනතාවගේ පරිභෝජනය අඩු වී පෝෂණය අඩුවීමයි. දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පසුගිය වසරවල ආණ්ඩු විවිධ ව්‍යාපෘති හඳුන්වා දුන්නා. ආනයනික කිරි දෙනුන් ගෙන්වුවා. එයින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නෑ. ඒකට ප්‍රධාන හේතුව කිරි නිෂ්පාදනය කරන සෑම රටක්ම එහි ආදායම ලබාගන්නේ කිරිවලින් සියයට 50කුත් මස්වලින් සියයට 50කුත් විදිහට. එහෙත් ගව මස් පරිභෝජනය අවම ලංකාව වගේ රටක කිරි නිෂ්පාදනය අසාර්ථක ව්‍යාපෘතියක්. දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය වැඩි කරන්නට නම් දෛනිකව කිරි දෙනුන් විශාල ප්‍රමාණයක් මසට ගත යුතුය. දේශීය කිරි දෙනකුගෙන් (පහතරට) ලැබෙන කිරි ප්‍රමාණය ලීටර 3 සිට 5 දක්වා වන අතර නවසීලන්තය වගේ රටවල දෛනිකව කිරි ලීටර 40–45 වගේ ගන්නවා. මෙය කිසිදිනක සාර්ථක ව්‍යාපෘතියක් නොවන අතර කළ යුතු දේ නම් දේශීය වශයෙන් ලබාගන්නා දියර කිරි විශාල වශයෙන් වැයකර පිටි බවට පත් නොකර රුපියල් 300ක් වගේ මුදලකට කල් තබා ගත හැකි දියර කිරි වශයෙන් ලබාදීමයි. දැනට හයිලන්ඩ් මිල්කෝ කරන්නේ ඒ ක්‍රමයට. කිරි දෙනුන් ගෙන්වා මැරෙන්නට ඉඩහැරීම වැනි අසාර්ථක ව්‍යාපෘතිවලට කාලය මිඩංගු නොකර දේශීය උක්, බඩඉරිගු වගාව දියුණු කර ආනයනික ඉරිඟු ඇට, පාන් පිටි, සීනි අඩු කිරීමට පුළුවන්. දේශීය පාරිභෝගිකයාට පෝෂ්‍යදායි කිරි වීදුරුවක් බොන්න ඒකෙන් පුළුවන්. ඉන්දියාව වගේ රටක කිරිවලින් ස්වයංපෝෂිත රටක් වෙලා තියෙන්නේ ඒ රටේ ගවමස් පරිභෝජනය නිසා. ඒත් අපේ රටේ ඒක කරන්න බෑ. ඒ නිසා අපේ රට කිසිදවසක කිරිවලින් ස්වයංපෝෂිත කරන්නත් බෑ.”

කිරිපිටි පැකට්ටුව සේම ඇතැම් ජනතාව මිලදී ගන්නා ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ මත්පැන් බෝතලයක සැබෑ වටිනාකම රුපියල් 294ක් බවත් එම බෝතලය වෙළෙඳපොළේ රුපියල් 3000 කට ආසන්න වන්නේ රජයේ බදුවලින් බවත් අප පුවත්පත මෑතකදී වාර්තා කළේය. කිරිපිටි යනු අරක්කු  නොවේ. එහෙයින් මේ ආකාරයට කිරිපිටි පැකට්ටුවෙනුත් සෑම පාරිභෝජන භාණ්ඩයකින්මත් අධික බදු මුදලක් අය කිරීම ජනතාවගේ මානව අයිතිය කඩ කිරීමකි. ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමකි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් අප විමසූයේ එහෙයිනි. ඔහු මෙසේ පැවසුවේය. 

''අත්‍යවශ්‍ය භාණ්ඩ සුඛෝපබෝගී භාණ්ඩ වෙන්කර පාරිභෝජන භාණ්ඩවල මිල තීරණය කිරීමේදීත් බදු අය කිරීමේදීත් විශේෂ ප්‍රතිපාදනයක් තියෙන්න ඕනෑ. ඒත් ලංකාවේ එහෙම ප්‍රතිපත්තියක් තවම සැකසී නෑ. කිරිපිටි ගත්තාම දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නෑ. ආනයනික කිරිපිටි අවශ්‍ය වන්නේ ඒ ඉල්ලුමට සරිලන සැපයුම මදිකම නිසා. බලධාරීන් කියන්නේ දේශීය කර්මාන්ත රුකගන්න ආනයනික භාණ්ඩවල බදු වැඩි කරනවා කියලා. ඒත් වෙළෙඳපොළේ ආනයනික දේශීය භාණ්ඩවල මිලේ කිසිදු වෙනසක් නෑ. හරිනම් එහෙම වෙන්න බෑ. දේශීය කිරි කර්මාන්තය නංවා සාධාරණ මිලට දේශීය කිරි වීදුරුවක් පාරිභෝගිකයන්ට ලබාගන්නට පුළුවන් විදිහට නිසි ක්‍රමවේදයක් සකසන්නට ඕනා. කුඩා දරුවාගේ පටන් බොහෝ දෙනකුගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් බරපතළ ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. තව අවුරුදු 10 කටවත් පැහැදිලි වැඩපිළිවෙළක් නෑ. වැඩපිළිවෙළක් තියෙනවා නම් ඒක පෙනෙන්නට තියෙන්න ඕනා. මාධ්‍ය සංදර්ශන තිබ්බාට වැඩක් නෑ. කොළඹට වගේම ගමටත් කිරි ලැබෙන්න ඕනා.”

දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත රටේ ඉල්ලුමට සැපයුමට නිසි ක්‍රමවේදයක් සකසා මිස අධික බදු මුදල් අයකර ජනතාව තලා පෙලා දැමීම කිසිවිටක අනුමත කළ නොහැකිය. එසේ නොවුනහොත් රටේ ජනතාවට බදු ගෙවනවා හැර අන් කිසිදෙයක් සිදුකිරීමට ඉතිරි නොවනු ඇත.

I සසංක චලන ගිම්හාන