දොන් එඩ්මන් වික්‍රමරත්න රණසිංහ යන නම ඔහුගේ දෙමාපියන් විසින් උප්පැන්නයෙහි සඳහන් කළ සම්පූර්ණ නමයි. එය බොහෝ දෙනකුට එතරම් සමීප නැත. එහෙත් ''එඩ්මන් රණසිංහ'' යන නම රටම දන්නා එකකි. පත්තරයක් පරිශීලනය කරන්නේ පත්තර ලෝකයේ යුග පුරුෂයානෙ කෙනකු වූ එඩ්මන් රණසිංහයන් ගැන දනිති.
80 දශකයේදී, ප්‍රකට ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධනයන්ගේ මග පෙන්වීමෙන් ඇරඹි ''දිවයින'' ජාතික පුවත්පතෙහි ආරම්භක කතුවරයා වෙමින් කළ ජාතික, ආගමික විප්ලවය බොහෝ දෙනකුගේ මතකයේ පවතී. ''දිවයින'' හෙළි කළ මගෙහි දිශානතිය පෙන්වූයේ එඩ්මන් රණසිංහයන්ය. ඔහු පුවත්පත් කලාවේ පුරාවෘත්තයකි.
අද ඔහු 94 වැනි වියට එළඹ තම පුවත්පත් දිවිසැරිය තුළ කළ කී දෑ සිහිකරමින් ජීවිතයේ සැඳෑ සුව විඳී. තමන් සුරුකි පත්තර අංකුරයන් විසල් රුක් බවට පත්වන අයුරු සම සිතින් දකියි.
ඔහු පිළිබඳව මතකාවර්ජනය කරන විට අපව දශක තුනක් ඈතට ගෙන යයි. අප පළමුව එඩ්මන් රණසිංහයන් දුටුවේ 90 දශකයේ මුලදී ය. සංගීතවේදී පියසිරි විජේරත්නයන් මා රණසිංහ මහතා වෙත හඳුන්වා දුනි. එවකට අත් පිටපතක්ව පැවැති ''කුකුළු කෝරළයේ ජනකවි, පොත මා අත තිබුණි. ලිපි ලිවීමට මහත් ආසාවෙන් සිටි මම ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියෙමි. මගේ අත් පිටපත කීපවිටක් පෙරලා බැලූ ඔහු මා සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
''මේ ජනකවි නේද හොයලා තියෙන්නෙ. මේවා හොයනකොට ඔය ගම්වල පොඩි පොඩි කතා හම්බවෙන්නේ නැද්ද? ඒවා අපේ පත්තරයට රහට ලියන්න...''
මම ඔහුගේ විසල් පෞරුෂය දෙස බලා හිස වැනුවෙමි. එදිනම මා උපාලි තෙන්නකෝන් මහතා ළඟටත්, කිත්සිරි නිමලශාන්ත මහතා ළඟටත්, ගාමිණී සුමනසේකර මහතා ළඟටත් යොමුකළේ ''ගන්න පුළුවන් දේ ගන්න...'' කියමිනි. එතැන් සිට මම ජනශ්‍රුති, ජනප්‍රවාද අධ්‍යයනය කළෙමි. දිගින් දිගටම පත්තරයට ලියුවෙමි.
ඔහු අප වෙත පෑ අවස්ථාව බොහෝ දෙනකුට කළ කී ආකාරයයි. තමන් අබිමුවට පැමිණෙන නවකයාගෙන් හෝ ප්‍රවීණයාගෙන් උකහාගත යුතු දෙය ඔහු දකිනුයේ අපූර්ව අන්දමිනි. එය අප දකිනුයේ වාසනා ගුණයක්ම ලෙසය.
ඒ පිළිබඳව ඔහු දිනක් මෙසේ කියයි.
''මං දන්නෙ නැහැ මොකක්ද කියලා. එයාගෙන් පත්තරේට අලුත් දෙයක් ගන්න තමයි මං උත්සාහ කළේ...''
ඔහුගේ එම උත්සාහය දක්ෂ තීරු ලිපි රචකයන් විශේෂාංග ලේඛකයන් දැයට දායාද කිරීමට හේතුවක් විය. එඩ්මන් රණසිංහයන් තරම් එවන් අකුර පැළ කළ, තවෙකකු නොමැති තරම්ය.
එතැන් පටන් ඔහු හා අප අතර ගොඩනැගුණේ සමීප සම්බන්ධතාවකි. ලෙන්ගතුකමකි. ඔහු මට පියෙක් බඳු විය. අපි බොහෝවිට හමුවන්නෙමු. ඒ බොහෝ හමුවීම් විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කිරීමට අවස්ථාව ලද ඒවාය. එම සාකච්ඡා මගින් අප ගත් දැනුම විශාලය. රණසිංහ මහතා හා කතාබස් කිරීමම පොතක් කියවීම හා සමානය. සරසවි අධ්‍යාපනයෙන් පසුව ඔහු මා ''දිවයිනට'' එනවා දැයි ඇසීය. මම රජයේ සේවය තෝරා ගතිමි. එයින් ඔහු යටතේ පත්‍ර කලාවේදියකු වීමේ අවස්ථාව මගහැරී ගියේය. ඉන් පත්‍ර කලාවට සිදුවූයේ හොඳක් යැයි මා සිතුවක් එඩ්මන් රණසිංහයන්ගේ නොබිඳුණු ඇසුර අප පින් කළ බව හැඟෙන්නකි.
එඩ්මන් රණසිංහයන් උපන්නේ 1930 අගෝස්තු 14 වැනි දින අවිස්සාවේල්ල පුවක්පිටිය - තුම්මෝදර ''බ්ලෙයාර්'' වත්තේදීය. පියා දොන් අර්නෝලිස් රණසිංහය. මව මේරියන් වික්‍රමරත්නය. පියා අක්කර 500ක පමණ බ්ලෙයාර් වත්තේ ප්‍රධාන ලිපිකරු විය. නිවෙසේ පරිසරය ඉංග්‍රීසි පන්නයේය. ඒ මව කුඩා රණසිංහයන් හෙළ සංස්කෘතික වටපිටාව කෙරෙහි යොමුකරන ලදී. මෙම පරිසරය ඉතා ඉහළ ද්විභාෂා හැකියාවක් හෙළ සංස්කෘතිය පිළිබඳ ඇල්මක් රණසිංහයන් තුළ ඇති කිරීමට හේතු වී ඇත.
''මට ලිවීමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මගේ යම් බැඳීමක් තිබුණා නම් ඒ පොත් කියවීමටයි...'' ඔහු කියයි.
තම ප්‍රාථමික අධ්‍යාපනය පුවක්පිටිය මිශ්‍ර පාසලෙන් හා රත්නපුර පර්ගසන් විද්‍යාලයෙන් ලබාගත් රණසිංහයන් ද්විතීයක අධ්‍යාපනය අවිස්සාවේල්ල ශාන්ත මේරි පාසලෙන් ලබාගත්තේය. ජ්‍යෙෂ්ඨය සමත් වීමෙන් පසු එඩ්මන් රණසිංහයන්ට තුම්මෝදර විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබුණි. ඒ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙසය.
ගුරු පත්වීම එඩ්මන් රණසිංහයන්ට එතරම් ඇල්ලුවේ නැත. ඔහු එම තනතුර දැරුවේ වසරක් පමණි. ඩේලි නිවුස් පුවත්පතට පුවත්පත් කලාවේදීන් බඳවා ගන්නා බවට දැන්වීමක් දැක එයට ඉල්ලුම් කළේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටියේ ලේක්හවුස් ප්‍රධානී එස්මන්ඩ් වික්‍රමසිංහය. ඔහු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාෙග් පියාණන්ය. තරුණ රණසිංහයන් ඩේලිනිවුස් පුවත්පතට තෝරාගන්නා ලදී. එඩ්මන් රණසිංහයන්ගේ පත්‍ර කලා දිවියෙහි පළමු ගුරුතුමා එස්මන්ඩ් වික්‍රමසිංහයන්ය. ඔහු පිළිබඳව අදද රණසිංහයන් සිහිකරනුයේ මහත් ගෞරවයෙනි.
ඔහු ලේක්හවුස් ආයතනයට එක්වන විට වයස අවුරුදු 22කි. ඔහු නිවාඩු ලද දිනෙක තම පැරණි මිතුරන් බැලීමට තුම්මෝදර විද්‍යාලයට ගියේය. එහිදී තමා වෙනුවට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි ගුරුවරිය හඳුන්වා දෙනු ලැබීය. ඇය මිලීනා කුමාරගේ ය. ඇය හඳුනාගත් එඩ්මන් රණසිංහයන් පාදුක්ක - උඩුමුල්ල ග්‍රාමයෙහි මිලීනා කුමාරගේ බිරිඳ බවට පත්කර ගත්තේය. ඇය දූවරුන් දෙදෙනෙකු දායාද කරමින් එතැන් පටන් මහා පුරුෂයකුට බිරිඳක්ව සෙවනැල්ලක් සේ සිටියාය. ඇය එඩ්මන් රණසිංහයන්ගේ සියලු හිත මිතුරන්ට ආදර සංග්‍රහ කළ යහපත් මවකි.
වයස අවුරුදු 90 ඉක්මවුවද එඩ්මන් රණසිංහයෝ පුවත්පත් කලාව පිළිබඳව මහත් නිරීක්ෂණයකින් පසුවෙති. ඔහු ඒ පිළිබඳව විමසීමට කැමැත්තාහ.
''දැන් පත්තරවලට ''නිවුස්'' වලින් යන්න බැහැ. ඉස්සර වගේ නෙමෙයි ප්‍රවෘත්ති දැනගන්න පත්තරවලට වඩා වේගවත් මාධ්‍ය තියෙනවා. අපි පත්තර ආරක්ෂා කරගන්න නම් ප්‍රවෘත්තියට එහා ගිය කතාව පත්තරය ගේන්න ඕනෑ.'' ඒ ඔහුගේ අදහසයි.
I චන්දන සමරවික්‍රම