2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අපි කියන්නේ මේ පනත් දෙකම ඉවත් කරගන්න කියලයි

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

සභාපති - ශ්‍රී ලංකා නීතීඥ සංගමය - ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න

Qදැන් සමාජයේ ගොඩක් අය කතාවෙන්නේ ප්‍රතිත්‍රස්ත පනතයි. සමාජ මාධ්‍ය මර්දනය කරන්න යන පනතයි. මේක ආණ්ඩුව කියන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඒත් ඔබලා ඇතුළු කණ්ඩායම් බහුතරයක් කියනවා මේක මර්දනයක් කියලා එක පැත්තකින්. ඇත්තටම මේ පනත් දෙකෙන් මොකක්ද වෙන්නේ?

අපි මාධ්‍ය පනත ගැන ඉස්සෙල්ලම කතා කරමුකෝ. විශේෂයෙන් පුද්ගලයකුට අයිතියක් තියෙන්න ඕන තමන්ට අදහස් ප්‍රකාශ කරන්න. ඒක දඩමීමා කරගෙන පාලකයා හොඳයි කියද්දී ඒක හොඳයි කියන්නත්, නරකයි කියද්දි නරකයි කියන්නත් පාලකයන්ට ඕන විදිහට නීතිය මගින් පාලනය කරන්න යනවා නම් අපි ඒකටයි විරුද්ධ. යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වාරණයක් නීතියක් ආවට කමක් නෑ. හැබැයි ඒක හරහා ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු ලබා ගැනීමේ අයිතිය, තොරතුරු හුවමාරු කරගැනීමේ අයිතියට බාධා වෙනවා නම් ඒකට අපි එකඟ නෑ.

ඒක නිසා තමයි මේ පනතේ තියෙන ඇතැම් වගන්ති සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුකරලා, නීතීඥ සංගමය වගේ ආයතනවල සහය අරගෙන, ජනතාවගේ අදහස් විමසලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා අපි කියන්නේ.

Qඔය ස්ථාවරයමද ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් තියෙන්නේ?

අපි ඉන්නේ කිසිම වෙලාවක ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සහ ත්‍රස්තවාදී කටයුතුවල නිරතවුණු අයට විරුද්ධව දඬුවම් දෙන්න නීතියක් ගේන්න එපා කියන මතයේ නෙමෙයි. අපි කියන්නේ නීතියක් අත්‍යවශ්‍යයි. යුද්ධයක් තිබ්බ රටක්, ඒ වගේම පාස්කු ප්‍රහාරයක් සිද්ධවුණ රටක් ඉතින් එවැනි නීතියක් අවශ්‍යයි. හැබැයි ඒ නීතිය හරහා ජනතාව අපහරණය නොවිය යුතුයි. විශේෂයෙන් පොලීසිය වගේ ආයතනවලින් ජනතාවට නීතිය හරහා පීඩාවක් වෙන්න නරකයි. ඒ හරහා ජනතාවගේ හඬ යටපත් විය යුතු නෑ. අන්න ඒ නිසයි අපි කියන්නේ මේ මුල් පනත් කෙටුම්පතේ සංශෝධනයක් අවශ්‍යයි කියලා.

Qපළමු පනත සංශෝධනය කළා නේද?

අපි දෙවැනි පනත් කෙටුම්පතෙත් දැකලා තියෙනවා යම් යම් කාරණා තවම තියෙනවා. ඒවා සංශෝධනය කළ යුතුයි. අපි ඒ නිසයි කියන්නේ මේ පනත් දෙකම ඉවත් කරගන්න කියලා. එහෙම ඉවත් කරගෙන අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාකච්ඡා කරලා, අදහස් අරගෙන මේක කරන්න කියලා.

Qමේ පනත් කෙටුම්පත් දෙකේ ප්‍රශ්නකාරී වගන්ති මොනවද ඔබ දකින?

දැන් ප්‍රතිත්‍රස්ත පනත ගත්තම ත්‍රස්තවාදයට සහාය වීමේදී අපි දැක්ක දෙයක් තමයි කෙනෙක්ව පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගෙන් ඉහළ කෙනෙක් රඳවා තබාගන්න තීරණය කළොත් ඒක අධිකරණයට හරි වැරදි බලන්න බෑ ඒකට අනුමැතිය දෙන්න ඕන. මේ වගේ වගන්ති 18කට අපි දැඩි විරෝධය දැක්වූවා මුල් කාලයේ ඉඳලම. මහේස්ත්‍රාත් කෙනෙක්ගේ බලය පොලිසීයේ ඒ.එස්.පී. කෙනෙක්ට යටත් කරන්න බෑනේ.

Qසුබදායි දේවල් නැද්ද මේ පනතේ?

සුබදායි දේවල් තිබුණා. විශේෂයෙන් රුඳවුම් තැනකට කිසිම දැනුම් දීමකින් තොරව මහේස්ත්‍රාත්වරයට යන්න පුළුවන්, පහරදීමක් සිදුකරලා නම් ඒ ගැන හොයලා බලලා වෛද්‍ය වාර්තා කැඳවලා නීතිපතිවරයට දැනුම් දෙන්න පුළුවන් අපරාධ නඩුවක් පනවන්න. අපි කියන්නේ ඒ වගේ හොඳ දේවල් තියෙනවා. ඒත් අපි කියන්නේ සමහර අවුල් සහගත තැන් තියෙනවා. දැන් කියන්න දෙන්නෙක් අතර ගැටුමක් කියලා. ඒක පොලීසියට පුළුවන් ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්න. හොඳම දේ තියෙන්නේ අපි දන්නවා පහුගිය කාලයේ ලයිට් නැතිවුණාම, ගෑස් නැතිවුණාම ජනතාව ආණ්ඩුවට විරුද්ධව කතා කළා. දැන් මේ පනත හරහා එවැනි දෙයක් රාජ්‍ය විරෝධී ත්‍රස්ත ක්‍රියාවක් හැටියට ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ පුරවැසියන්ට අදහසක් ප්‍රකාශ කරන්න වෙන්නේ නෑ. ඒ නිසයි මෙවැනි නීති ගේනකොට සංවාදයකට එන්න කියන්නේ.

Qපහුගිය කාලයේ අපිට ලැබුණු ලොකු අයිතියක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. මේ පනත් හරහා ඒක වාරණයකට ලක්වෙන්න පුළුවන්ද?

ඔය තොරතුරු දැනගැනීමේ පනතේ යම් සීමාසහිත අවස්ථා කිහිපයක විතරයි තොරතුරු ලබා නොදී ඉන්න පුළුවන් වෙන්නේ. ඒ අදාළ ආයතනයන්වලට. අපි දන්නවා කාලයක් අපේ තිබ්බ සාපරාධී අපහාස නීතිය. ඒක කාලයකදී අපි ඉවත් කරගත්තා. ඒ අවලංගු කරපු නීතියේම භයංකාර කොටසක්ද කියලා මේ ගේන්න යන්නේ කියලා අපිට හිතෙනවා. ඒක ඉතාම නරක තත්ත්වයක්. ඒ වගේම ඇත්තද නැත්තද කියලා අපි හොයමින් ඉන්නවා. සමාජ මාධ්‍ය මෙහෙයවන ආයතන පවා මේ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා කියලා.

Qඅපි දන්නවා සමාජ මාධ්‍ය හරහා යම් අපහරණ සිදුවීම් වෙනවා. මේවා සම්බන්ධයෙන් නීතියක් අවශ්‍ය නැද්ද?

ඔව් අනිවාර්යයෙන්. ජනතාවට එවැනි දේවල්වලින් ආරක්ෂා කරන්න නීතිමය ආවරණයක් ඕන. හැබැයි ඒ හරහා වෙනත් අරමුණක් ඉෂ්ට කරගන්නවා නම් අපි ඒකට විරුද්ධයි. හැබැයි ආණ්ඩුව කියන්නේ මේක හොඳම පනත කියලා. ඒත් පනතක් නීතියක් වුණායින් පස්සේ ඒක අයින් කරන්න ලේසි නෑ.

Qසමාජ මාධ්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කරන්න යනවා. ඒක ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ. එතන ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නේද?

යම්කිසි තීන්දුවක් ගන්නකොට විද්වත් කමිටුවකින් තීන්දුවක් ගන්න ඕන. හැබැයි ඒ කමිටුවට ස්වාධීනව වැඩකිරීමේ යුතුකමක් තියෙනවා. මේක තමයි ලෝකයේ තියෙන සාමාන්‍ය ක්‍රමවේදය. මොකද අපිට පත් කරන්න බෑනේ. ඒක කමක් නෑ. හැබැයි ඒ පත්වෙන අයගේ වගකීමක් තියෙනවා ස්වාධීනව වැඩකරන්න. කිසිවකුට අගතියක් නොවන අකාරයෙන් වැඩකරන එක ඔවුන්ගේ නීතිමය බැඳීමක් තියෙන්න ඕන.

Qඔබ හිතනවද මාධ්‍යයට යම් නියාමනයක් හෝ අධීක්ෂණයක් තිබිය යුතුයි කියලා?

සමහර ආකාරයක මග පෙන්වීමක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් තමයි පහුගිය දවසක ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිද්ධියක් තිබ්බා. ඒත් කිසිම විදිහකින් ඒ කාන්තාව සම්බන්ධයෙන් හෙළිදරව්වක් නෑ. පෞද්ගලිකත්වය ආරක්ෂා කළා ඔවුන්. ඒත් අපේ රටේ මාධ්‍ය එක්ක ගනිද්දි යම් ගැටලුවක් තියෙනවා. යම් සදාචාරයක් හෝ ආචාර ධර්මයක් අධ්‍යනය කරන එක හොඳයි. ඒ හැරෙන්න පාලකයන්ට ඕන විදිහට මාධ්‍ය හසුරවන්න හදන එකට එකඟ නෑ.

Qමේ පනත මේ ආකාරයෙන්ම සම්මත කරන්න ගියොත් ඔබලා මොකද කරන්නේ? 

අපි මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. හැබැයි අධිකරණයට බලන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාමයභාවය විතරයි. ඒත් අපි මේක ඊට වඩා සමාජ කතිකාවතක් දක්වා ගෙනියනවා. අපි කියන්නේ මේ පනත් දෙක ඉවත් කරගන්න කියලා. සමාජයට අවැඩක් නොවෙන නීතියක් ගේන්න කියලා.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02