මේ නොබෝදා, 2023 සැප්තැම්බර් 11දා ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පාවක් සිදුවිය. මඩකළපුවට කිලෝමීටර් තුන්සියයක් ඔබ්බෙන් වූ මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක ඒකක 4.6 ක ප්‍රබලත්වයෙන් යුතු විය. ඒ අතර සැප්තැම්බර් (25) දින රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව වාර්තා විය. මේ වසර ආරම්භයේ සිටම මෙලෙස වරින් වර හටගත් භූකම්පන රුසක්ම වාර්තා වී තිබුණේ අනතුරු ඇඟවීමේ සීනු හඬක් සිහිගන්වමිනි. සැබැවින්ම ස්වභාවධර්මයේ මේ අසාමාන්‍ය අනතුරු ඇඟවීම කියන්නේ ලංකාව වෙත බරපතළ භූකම්පනයක් හදිසියේ එල්ලවීමට නියමිත බවද? නැතහොත් ලංකාව ආශ්‍රිතව භුකම්පන ඉහළ යාමක් හදිසියේ සිදුව ඇති බවද? අපි මේ ගැන ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්නගෙන් විමසුවෙමු. මේ ඔහු ‘දේශය’ පාඨකයන් වෙනුවෙන් දැක්වූ අදහස්ය.
2020 වර්ෂයේ මෙරට භුකම්පන 16ක්ද 2021 වර්ෂයේ භූකම්පන 18ක්ද 2022 භූකම්පන 05ක්ද වාර්තා වී තිබුණි. නමුත් 2023 අප්‍රේල් අග වන විට භූකම්පන 09ක් ගැන වාර්තා වී තිබුණි. බැලූ බැල්මට පෙනී යන්නේ භූකම්පන ඉහළ ගිය ආකාරයකි. නමුත් මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙන්නේ භූකම්පන පිළිබඳව මිනිසුන් වඩාත් දැනුවත් වීම නිසා මෙන්ම දැන් භූකම්පන හඳුනා ගන්නා උපකරණ බහුලව රට පුරා භාවිත කිරීම නිසා පෙරට වඩා වැඩියෙන් භූකම්පන හඳුනා ගැනීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවය. මේ නිසා වෙනදා මඟහැරී ගිය සුළු භූකම්පන පවා දැන් දැඩි අවධානයට ලක්වන බවය. යහපත් ප්‍රවණතාවක් සේ සැලකිය යුතු මේ තත්ත්වය, පොදුවේ බැලූ බැල්මට භූකම්පන ඉහළ යාමක් සේ දිස්වන බවය.
මහාචාර්ය අතුල සේනාරත්න කියන ආකාරයට ලංකාව පමණක් නොව ලොව ඕනෑම තැනක ඕනෑම විටෙක භූකම්පනයක් ඇතිවිය හැකිය. ඒ සම්බන්ධ වැඩි අවදානමක් සහිත කලාපද පවතී. නමුත් මේ ගැන පුරෝකථනය කිරීමේ හැකියාව තවම විද්‍යාව සතුව නැත. ලක්ෂ ගණනක් වු භූ දත්ත පරීක්ෂා කරමින් ලොව භුකම්පන රටා ගැන තමන් මෙන්ම ලොව භූ විද්‍යාඥයන් සහ ආයතන තවමත් මේ ගැන පුළුල් අධ්‍යයනයක යෙදෙමින් සිටින බව ඔහු කියයි. මේ නිසා ඕනෑම තැනක ඕනෑම විටෙක භු සෙලවීමක් සිදුවිය හැකි බවත්, ඒ ස්ථාන ආශ්‍රිතව ඒ වන විට භූගතව රැස්ව ඇති පීඩනයේ අගය සහ ඒවා පිටතට ගෙන ඒම සඳහා බලපාන වෙනත් භූ විද්‍යාත්මක කරුණු කාරණා හොඳින් සැපිරී ඇතිවිට ඒ ඕනෑම කම්පනයක් භයානක මට්ටමකට පත්විය හැකි බවත් මහාචාර්ය අතුල සේනාරත්න කියයි. නමුත් ලංකාව ආශ්‍රිතව තවමත් මේ කියන භයානක භූකම්පනයකට අවශ්‍ය පාරිසරික අවශ්‍යතා මුළුමනින්ම සැපිරී නැති නිසා ඒ ගැන අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.
එසේ වුවද එවැනි ආපදාවක් සිදුවුවහොත් හටගත හැකි හානිය අවම කර ගැනීම සඳහා රටේ උස් ගොඩනැගිලි ආශ්‍රිත භූකම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව සොයා බලා වාර්තා කර ඒ සඳහා සුදුසු වැඩිදියුණු කිරීම් සිදුකිරීම වැදගත් බව මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කර සිටියි. ඔහු මේ අනතුරු ඇඟවීම සිදුකරන්‌නේ දැන් බොහෝ කලෙක සිටය. ඒ ලංකාව ආශ්‍රිතව ඒ අවට භූතලයන්හි දැන් දැන් සිදුවෙමින් ඇති වෙනස්කම් සහ සිය අධ්‍යයන මගින් එළිදරව් වී ඇති නවතම දත්ත අනුව කරන විද්‍යාත්මක පුරෝකථනයක් ලෙසටය.
ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රමුඛ අන්තර්ජාතික භූ විද්වතුන් දැන් කලෙක සිටම කොළඹට එපිටින් මුහුදේ ගැඹුරේ දක්නට ඇති අලුතෙන් හඳුනාගත් පැලුම් රටාවක් ගැන අවධානය යොමුකර ඒ ගැන අනතුරු අඟවා තිබේ. මේ පැලුම් ඔස්සේ භූකම්පන හටගැනීමේ නව අවදානමක් මතුවිය හැකි බවට සාධාරණ විද්‍යාත්මක සැකයක් මතුව තිබේ. ඒ සැකය පැහැදිලි කරමින් මහාචාර්යවරයා මෙයට පෙර අප හා කළ කතාබහකදීද වඩාත් තදින්ම අවධාරණය කළ කාරණාව වූයේ මේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පන මාන සහ වෙනත් සංවේදී විද්‍යාත්මක උපකරණ ඇටවීම මගින් මේවායේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවනවාද යන්න පිළිබඳව සමීප, නිරන්තර හා දිගුකාලීන නිරීක්ෂණයකට දැන් කාලය එළැඹ ඇති බවටය.
ඉන්දියාව ආශ්‍රිතව සිදුවිය හැකි මහා භුකම්පනයක් ගැන ප්‍රබල ආන්දෝලනයක් පැතිර ඇති අතර ඒ කම්පනය ලංකාවටද බලපෑමේ හැකියාව පවතින බව විද්වතුන්ගේ වැඩි අදහසයි. 1600 ගණන්වල දරුණු භුකම්පනයකට කොළඹ නගරය මුහුණ පෑ බවට වාර්තා ඇති අතර ඉන්පසුවද දිවයිනේ නන්දෙසින් වරින් වර භූ චලන ගැන වාර්තා වී තිබේ. දැන් දැන් භුකම්පන ගැන ජනතා අවධානය ඉහළ යාමත්, මිනුම් විද්‍යා උපකරණ බහුලව භාවිතයත් නිසා මේ කම්පන ගැන වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මේ දැනට අපට ඇති තාක්ෂණයට ගෝචර වන භූ විද්‍යාත්මක දත්ත පමණක් වන අතර අපට අසුනොවන මානයන්හි සිදුවන රහස්‍ය භූගත ක්‍රියාකාරකම් බොහෝමයක් විය හැකි බවත් ඒවා නොසිතූ මොහොතක, නොසිතු ස්ථානයක, නොසිතූවිරෑ අපදාවක් ඇති කරමින් කඩාවැදීමේ හැකියාව ඇති බවත්, මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කර සිටියි. මේ නිසා භුකම්පන අවදානම අපට නැතැයි සිතා අනාරක්ෂිතව සිටීමට වඩා ඒ අනතුර සිදුවීමට ඇති ඉඩ ගැන සිතා පෙර සූදානම් වීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
නව තාක්ෂණය ඔස්සේ ලබාගත් පෘථිවි චුම්භකත්ව ප්‍රබලතා දක්වන සිතියම් සහ විශේෂයෙන් ගුරුත්වාකර්ෂණ ප්‍රබලතාව දක්වන සිතියම් අධ්‍යයනයේදී පැහැදිලිව දිස්වෙන නව අනතුරුදායක කලාපයක් තුළ කොළඹ පවතින බව සනාථ වන බව මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙයි. මේ කලාපය තුළ භූ-චුම්භකත්වය වෙනත් තැන්වලට සාපේක්ෂව ඉහළ බවත් එය එසේ වීමට පොළෝ අභ්‍යන්තරයේ සිදුවන වෙනසක් හෝ කැළඹීමක් හෝ හේතු විය යුතු බවත් මහාචාර්යවරයා කියයි.
නවතම සැටලයිට් සිතියමකට අනුව ලංකාවට පහළින් කොළඹ දෙසට වැටෙන භූ පැල්මක් දක්නට ලැබෙන බවත් ඊට අමතරව දකුණෙන් විහිදෙන මළ කොත් මුදුන් වැනි කඳුවැටි බඳු පිහිටීම් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු මෙයට පෙර අවධානයට ලක් කළේය. මේ සැකසහිත වූ පිහිටීම් මෙන්ම ඒවා නිසා සිදුවිය හැකි හානිකර බලපෑම කෙබඳුද යන්න නිශ්චිතවම තීරණය කළ හැක්කේ දීර්ඝකාලීනව මේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් අධ්‍යයනයෙන් පසු බවත් ඔහු කියයි. එසේම මේ කලාපයේ සිදුවන තදබල භූ කැළඹීමක බලපෑම කොළඹ, ගම්පහ ඇතුළු බස්නාහිර කලාපය මෙන්ම කළුතර සිට දකුණුකරය දෙසට ඇති කලාපය පුරා උස් ගොඩනැගිලි සහ දුර්වල ගොඩනැගීම් සහිත නිවාස සහ ඉදිකිරීම් වෙත දැඩිතර හානිකර ලෙස බලපෑමට හැකියාව ඇති බව මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවයි.
ඉන්දුනීසියාවේ බණ්ඩා ඇචෙ ආශ්‍රිත කලාපයේ නොගැඹුරු මුහුදේ සිදුවිය හැකි දැඩි චලනයකින් හදිසි සුනාමි අවදානමක් හටගැනීමේ ඉඩ ඇති නමුත් ලංකාව ආසන්න මුහුදේ එබඳු තර්ජකයක් හටගැනීමේ විද්‍යාත්මකව තහවුරු කළ හැකි සාධක තවම හමුව නැති බව ඔහු පෙන්වා දෙයි. නමුත් 2004 අඳුරු අත්දැකීම බඳු හදිසි අවස්ථාවකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නම් ගොඩනැගිලි සහ ඉදිකිරීම් හි සවිමත්භාවය ගැන ඉක්මන් සමීක්ෂණයක් සහ ඒ සඳහා පිළියම් යෙදිමක් සිදු කළ යුතුම බව මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙයි. ස්වභාවධර්මය විසින් වරින් වර ගුගුරමින් මේ කියා සිටින්නේ ඒ පණිවුඩය බව ඔහු බලධාරීන්ට අවධාරණය කර සිටියි.
I සුගත් පී. කුලතුංගආරච්චි