තිළිණි දිසානායක වෘත්තියෙන් ඩිජිටල් මීටර් අලුත්වැඩියා කරනා කාන්තාවකි. අද වනවිට තිළිණි වැඩි වශයෙන් ඩිජිටල් මීටර් අලුත්වැඩියා කරන්නේ ඕනෑම වර්ගයක මෝටර් බයිසිකල්වලය. මීට අමතරව ඇය වාහනයක, බර කිරීමේ යන්ත්‍ර ඇතුළු ඕනෑම ඩිජිටල් මීටරයක් අලුත්වැඩියා කරන්නීය. මෙම වෘත්තියේ වැඩි වශයෙන් යෙදෙන්නේ පිරිමි පාර්ශ්වයයි. නමුත් කාන්තාවක් ලෙසින් අද වනවිට තිළිණි එහි වෘත්තීය මට්ටමෙන් ඉතා ඉහළට ගිය කාන්තාවකි.
තවමත් වයස අවුරුදු විසිඅටේ පසුවන තිළිණි තෙදරු මවකි. කුඩා කල සිටම තිලිණිගේ වැඩි කැමැත්ත වී ඇත්තේ පිරිමින් කරනා වෘත්තියක නියැලීමටය. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ තිළිණිගේ පියා ගැහැනු දරුවන් තිදෙනකුගේ පියෙකි. තිළිණි ඒ අතරින් දෙවැනි දියණිය වුවාය.
''පුංචි කාලේ ඉඳන් මම මේ වගේ වෙනස් වැඩ කරන්න කැමැත්තක් තිබුණා. මට අවුරුදු හතේ අටේ කාලේ ඉඳන් මම මේ වගේ වැඩකරන්නට ආසා කළා. මම ඒ කාලේ සෙල්ලම් කළේ බෝනික්කන් එක්ක නෙමෙයි. මිටි, අඬු වගේ මෙවලම්වලට මම ආසා කළා. මම සෙල්ලම් බඩුවලට ආස කළේ නැහැ. ඒ ආසාවත් එක්ක මට මෙවැනි වෘත්තියක් කරන්න හීනයක් තිබුණා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි ඉන්නේ. මගේ තාත්තා වෘත්තියෙන් වඩුවෙක්. ඉතින් පුංචි කාලේ ඉඳන් මම තාත්තාගේ ඒ වඩු මෙවලම් අතපත ගාන්නට ආසා කළා. මට තාම මතකයි මම අවුරුදු අටේදී විතර තාත්තාගේ ඒ වඩු භාණ්ඩ අල්ලලා තාත්තා මට දඬුවම් කරලත් තියෙනවා. මගේ අක්කයි, නංගියි පුංචි කාලේ බෝනික්කන් එක්ක සෙල්ලම් කරද්දී මම ඒ දෙන්නා එක්ක ඒ සෙල්ලම්වලට එකතු වුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳන් වෙනස් දරුවෙක්.'' යැයි තිළිණි දිසානායක දේශයට අදහස් දක්වමින් පැවසීය.
පාසලේදී තිළිණි දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය අධ්‍යාපනය ලැබුවේ කටාන විද්‍යාලෝක මහ විදුහලේදීයි. පාසලේදී අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් ඇය දස්කම් දැක්වූවාය. ක්‍රීඩාවෙන් කලාප සහ කොට්ඨාස ජයග්‍රහණයන් බොහෝමයක් තිළිණි අත්පත් කරගත්තාය. ඒ නිසාම තිළිණිගේ දෙමව්පියෝ තම දියණියගේ ක්‍රීඩා හැකියාවන්වලට ඔවුන්ගේ සහයෝගය ලබා දුන්හ.
තිළිණිට ඩිජිටල් මීටරයක් අලුත්වැඩියා කිරීමට පළමුව අවස්ථාව ලැබුණේ ඇයගේම මෝටර් බයිසිකලේය. පළමුව ඇය පිළිස්සුණු මීටරයක් ගෙන එයින් පුරුදු පුහුණු වූවාය. ඇය ජංගම දුරකථන අලුත්වැඩියා කරනා පිරිසගෙන් ඉවතලන කැබැලි ගෙන ඒවායෙන් විවිධ අත්හදා බැලීම් කළාය. මුල් කාලයේදී ඇයට වැරදුණ තැන් බොහෝය. සුළු අනතුරු සිදුවුණ අවස්ථාද තිබුණි. නමුත් ඇය තම උත්සාහය අතහැරියේ නැත. බොහෝ වෙහෙස මහන්සි වී ඩිජිටල් මීටරයක් අලුත්වැඩියා කරන අන්දම පිළිබඳව කල්පනා කළාය.
මේ අතරේ ඇයට මේ සම්බන්ධයෙන් ඉගෙන ගැනීමටද අවස්ථාව ලැබුණි. ඒ ඇයගේ ඥාති මාමා කෙනකු මාර්ගයෙනි. ඔහුද වෘත්තියෙන් මෙවැනි ඩිජිටල් මීටර් අලුත්වැඩියා කරන්නෙකි. ඒ වනවිට ඔහුට මේ සම්බන්ධයෙන් පුරුදු පුහුණු කිරීමට ගෝලයෙකු අවශ්‍යව සිටි කාලයයි. තිළිණිගේ වාසනාවට ඇයට ඔහුගේ මඟපෙන්වීම ලැබුණි. ඔහු තිළිණිට තමන් දන්නා ශාස්ත්‍රය ඉගැන්වූවේය. පෑස්සුමේ සිට සියලුම අලුත්වැඩියා කටයුතු වසර දෙකක කාලයක් ඉගෙන ගැනීමට තිළිණිට අවස්ථාව ලැබුණි. ඇයගේ තිබූ දක්ෂතාවයන් හඳුනාගත් ඥාති මාමා ඔහු සතු සියලු දැනුම ඇයට ලබාදුන්නේය. පාඨමාලාවකින් ලබාගත නොහැකි අවස්ථාවක් මෙන්ම ආශීර්වාදයක් තිළිණිට ඒ හරහා ලැබුණි.
තිළිණිට මේ ගමන එන්නට විශාල හයියක් ඇයගේ සැමියාගෙන් ලැබුණි. ඔහු නමින් ප්‍රුන්සිස් ජයකොඩිය. ඔහු වෘත්තියෙන් සංගීත භාණ්ඩ අලුත්වැඩියා කරනා තැනැත්තෙකි. 2013 වසරේදී ඔවුහු විවාහ වූහ. වර්තමානයේදී තිළිණි වෘත්තීය මට්ටමින් හා ආර්ථික මට්ටමින් යම් ස්ථාවරයක සිටියද එකල ඔවුන් මේ ගමන ආරම්භ කරන ලද්දේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය. ඒ හැම ස්ථාවරයක්ම ඔවුන් ගොඩනගා ගත්තේ බොහෝ වැඩකිරිම් හා උනන්දුව නිසාවෙනි. ප්‍රුන්සිස් සංගීත භාණ්ඩ අලුත්වැඩියා ශිල්පියෙක් මෙන්ම බටනලා නිෂ්පාදකයෙකි.
''ඒ කාලේ අපි ගොඩාක් දුක් වින්දා. මගේ සැමියා බටනලා නිෂ්පාදනය කරනවා. ඒ කාලේ මගේ පළවෙනි බබා බඩේ තියාගෙන මම එයාට බටනලා හදන්න උදව් කළා. ඒ කාලේ බටනලා විදලා මම එයාට ඒවා හදලත් දෙනවා. ඒ හැමදේම මම එයාගෙන් ඉගෙන ගත්තේ. එයා ඒ කාලේ ඒ බටනලා පොළවල්වල ගිහින් තමයි විකිණුවේ. ඒ අපේ ජීවිතේ පටන් ගැනීම හරි දුෂ්කරයි. අද අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි පුතයි. තාම පුතාට වයස අවුරුද්දයි...'' යැයි තිළිණි කියන්නීය.
දරුවන් තිදෙනකු සමඟ ඩිජිටල් මීටර් අලුත්වැඩියා කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැත. මේ වනවිට තිළිණි කරා බොහෝ අලුත්වැඩියාවන් සඳහා මීටර් ලැබෙමින් පවතී. නමුත් ඒ සියලු කටයුතු අතරතුරේදී දරුවන්ගේත්, නිවසේත්, සැමියාගේත් වැඩ අතපසු නොකොට සම්බන්ධ කරගෙන යාමේ හැකියාවක් තිළිණිට ඇත. පළමු දරුවා ඉපදීමත් සමඟ තිළිණිගේ සැමියාට විදෙස් රටකින් හොඳ රුකියාවක් ලැබුණි. ඔහු තිළිණිත්, තම දියණියත් සමඟ කාලයක් විදෙස්ගතව නැවත ලංකාවට පැමිණියේය. එයින් උපයාගත් මුදලින් ඔවුහු කටාන ප්‍රදේශයේ නිවෙසක් සෑදූහ. ඒ නිවෙස සෑදීමට තිළිණිගේ වෘත්තියෙන් ලැබුණු මුදල්ද යොදවනු ලැබීය. අද ඔවුන් ස්ථීර, ජීවිතයේ යම් සැනසිලිදායකව නිවෙසක්, එයටම යාබදව ඔවුන්ගේ ව්‍යාපාරික කොටසත් පවත්වාගෙන යයි. නමුත් මේ ආ ගමන එතරම් පහසු වූයේ නැත.
දිනෙන් දින තිළිණිට අලුත්වැඩියා කිරීම සඳහා ලැබුණ ඩිජිටල් මීටර් ප්‍රමාණය වැඩි විය. ඇය උදේ පාන්දර අවදි වී ආහාරපාන පිස දරුවන් දෙදෙනා පාසල් ඇරලවා බාල පුතණුවන්ගේද වැඩකටයුතු අවසන් කොට තම වෘත්තියේ නියැලුණාය. එය ඇතැම්විට පැය දෙකක් වන්නට පුළුවනි. නමුත් ඇතැම් දිනවලදී උදේ පාන්දරද, ඇතැම් දිනවල රාත්‍රී කාලයේදීද තිළිණි තම වෘත්තියේ යෙදුණාය. නමුත් මේ කිසිම දේකින් ඇය තමන් බාරගත් මීටරය නැවක බාරදීමට කල්ගත්තේ නැත. අඩුම තරමින් දිනකින් දෙකකින් ඇය තම රාජකාරිය අවසන් කළාය. ඩිජිටල් මීටරයේ කුමන දෝෂයක් තිබුණද ඒ තත්ත්වය සොයා එයට පිළියම් යෙදීමේ හැකියාව ඇයට ඇත. තිළිණිගේ මව්පියන්ගේ පදිංචිය වූයේ ගාල්ලේය. පළමු දරුවා ඉපදී මුල්ම දිනයේ ඇයගේ මව පැමිණ දරුවා බැලුවාය. එතැන් සිට දරුවන් තිදෙනාගේම වැඩකටයුතු කරනා ලද්දේ ඇය විසිනි. ඒ සඳහා ප්‍රුන්සිස්ගෙන්ද සහයෝගයක් ලැබුණි.
''අද අපි ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. චූටි බබාට අවුරුද්දයි. ඉතින් තාමත් පොඩි අපහසුකම් තිබෙනවා. හැබැයි දුවලා දෙන්නට අපි ගැන හොඳට තේරෙනවා. ඒ දෙන්නා හොඳින් ඉගෙන ගන්නවා. අද අපි අපේ ගේ හොඳට හදලා තිබෙනවා. අද වනවිට ලංකාව පුරාම තිබෙන ඩිජිටල් මීටර් මම හදනවා. කුරියර් ක්‍රමයට ඒවා මට ඒවා නැවත අලුත්වැඩියා කොට දින දෙකක් ඇතුළත නැවත ඔවුන්ට ලබාගන්නට පුළුවන්. අද අපි ඉන්න තැන ගැන මම අවංකවම සතුටු වෙනවා. හැබැයි මේ ගමන එන්න ලෙහෙසි වුණේ නැහැ. මේක දුෂ්කර ගමනක්.'' යැයි තිළිණි දිසානායක දේශයට පැවසීය.
ඇයගේ දුරකථන අංකය - 077 3289021
I දිශානි ජයමාලි කරුණාරත්න