2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හොර බෙහෙත් මගඩි: මේ පාර පැමිණිල්ල සෞඛ්‍ය ඇමැතිගෙන්ම

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

''ආරෝග්‍යා පරමා ලාභා'' පරම ලාභය වන නිරෝගී සුවය පතා ආරෝග්‍යශාලා වෙත ඇදෙන ජීවිතවලට භයානක අලාභානි සිදුවෙමින් පැවතුණි. බාල ඖෂධ පිළිබඳ කතාව මෙවර කරළියට පැමිණියේ ඒ අනුවය. මේ වනවිට ඒම කතාව පරිච්ඡේද කිහිපයක් අවසානයේ තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ තිබේ. එම නිසාම අපද ඒ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළෙමු.

ඖෂධ පිළිබඳව පසුගිය සතියේ ඇතිවූ සංවාදයට හේතුවූයේ ඖෂධ හදිසි මිලදී ගැනීම් නතර කර දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමයි. ඖෂධ කළමනාකරණ, විශ්ලේෂණ හා උපාය මාර්ග විද්වත් කමිටුවේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් නතර කර දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කීවේය. රුපියල් කෝටි ගණනින් සිදු වූ පිල්ලි ගැසීමක් සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට බාල ඖෂධ ගෙන්වීමක් සම්බන්ධව තොරතුරු අනාවරණය වීම නිසාවෙන් මෙම තීරණය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවිය.

මෙම පුවත කන වැකුණු සැණින් මීට මාස කීපයකට ඉහතදී සෞඛ්‍ය බලධාරීන් කී කථාවක් අපට සිහිවිය. ''බාල ඖෂධ කියලා දෙයක් ලෝකෙ නෑ'' යනුවෙනි. එසේම රෝගීන්ගේ විවිධ සංකූලතාවලට හේතුව බාල ඖෂධ බව පිළිගැනීමටද ඔවුහු මැලිවූහ.
ඒත් මේ වනවිට තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔක්තෝබර් දෙවැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ වෙනස්ම කතාවකි. ඇතැම් රෝගීන්ට සංකූලතා ඇතිකළ ඉමුයුනෝ ග්ලොබියුලින් නැමැති ඖෂධය මෙරටට ගෙන්වීමේදී එම සමාගම ඉදිරිපත් කළ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ඒවා බව ඔහු කීවේය.

''ඉමුයුනෝ ග්ලොබියුලින් ඖෂධය ගැන මේ දවස්වල කතා කරනවා. මේ ඖෂධය ගෙන්වූයේ හදිසි මිලදී ගැනීමකදී. ඒ අවස්ථාවේදී තිදෙනෙක් ඉදිරිපත් වුණා. ඒ තුන්දෙනාගෙන් අඩුවෙන් ඉදිරිපත් කළ කෙනාට ලබා දුන්නා. ඊට පස්සේ ඔවුන්ට NMRA සහතිකය ගන්න අවශ්‍යයි. ඒ අනුව වෑල් 22,500ක් ගෙන්වූවා. ඒ 22,500න් 3085ක් අපිට ලැබිලා තියෙනවා. අපිට ලැබුණු තොරතුරුවලට අනුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව NMRA කියනවා සහතිකයක් ලැබී නැහැ කියලා. බැලූ බැල්මට ව්‍යාජ සහතිකයක් වගඋත්තරකරුවන් ලෙස NMRA කරුණු ඉදිරිපත් කළ යුතුයි.''

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන කතාව මෙයින් අවසන් නොවේ. මෙවර වැටත් නියරත් දෙකම හොඳ ඇති ගොයම් කා අවසන් බව පෙනී යයි.

''NMRA එහෙම ලිපි ගොනුවක්වත් ලැබිලා නැහැ කියලා කරුණුත් එක්ක ව්‍යාජ සටහනක් මේ වෑල් 3085ක් සඳහා රු.මිලියන 130ක් ගෙවන්න තියෙනවා. මේ වනවිට රු.මිලියන 40 ගෙවලා තියෙනවා. බෙහෙත්වල ප්‍රශ්නයක් තියෙන නිසා භාවිතයෙන් ඉවත් කළා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ උපදේශකයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.''

කෙසේ හෝ ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවීමටද දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ. එහෙත් සෞඛ්‍ය බලධාරීන් රුසක් ඖෂධ සමාගමවලට වන්දිභට්ටකම් කරන බව දැන් තහවුරු වී හමාරය. ඔවුන්ගේ සහයෝගයකින් තොරව මේසා විශාල වංචාවක් ඖෂධ සමාගම්වලට සිදුකළ නොහැකිය.

මේ වනවිට මෙය හා සම්බන්ධ විශේෂ විමර්ශනයක් බොහෝ පාර්ශ්ව වෙතින් ඉල්ලා ඇත. සෞඛ්‍ය වෘත්තීය සමිති දේශපාලන පක්ෂ දේශපාලඥයෝ මේ පිළිබඳ කතාබහ කරමින් සිටිති. එහෙත් අපට ඇත්තේ එක් පැනයක් පමණි. එදා මෙදා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඖෂධ සම්බන්ධ වංචා දූෂණ කතා අපි අපමණ අසා ඇත්තෙමු. එහෙත් වරදකරුවන් වූයේ කවුද? සන්දර්ශන අවසානයේ හොරුන් සුපුරුදු පුටුවල සීත කාමරවල රුඳී නැවතත් අපට පශ්චාත් භාගයෙන් සිනාසෙනු ඇත.

කෙසේ වෙතත් මෙම සංවාදයේ බරපතළ බව අවබෝධ කර ගැනීමට තවත් කරුණක් අපි සම්මත කොට දක්වමු. එය ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ අන්තර්ගත කරුණකි. විගණන වාර්තාවට අනුව රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතුරින් රුපියල් තිස්හතර කෝටි අනූලක්ෂ විසිපන්දහස්, හයසිය හතළිස් හතරක් (349,025,664) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වී ඇතැයි අනාවරණය විය.

2022 වසරේ භාවිතයෙන් ඉවත්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන්ව තිබුණි. මෙම වාර්තාවට අනුව පසුගිය වර්ෂය තුළදී තවත් රුපියල් තුන්කෝටි දාහත්ලක්ෂ පනස් එක්දහස් විසිහතරක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම මත භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බවටද තොරතුරු අනාවරණය විය.

කාබාසිනියා වී බංකොලොත් වූ රාජ්‍යයක් මෙවන් වංචාවන්ට තවදුරටත් කිසිවකු කමා කළ යුතු නැත. එසේ කමා කරන්නේ නම් රට නැවත ගොඩගැනීමට කතා කළ යුතුද නැත. මිනිසෙකු රෝගී වී අසරණ වූ විට ඒ අසරණකමින් ලාභ උපයා තර වූවන්ට සුදුසු දඬුවම කුමක්ද? එය සිතා බැලීම ඔබට බාරය.

I චමිඳු නිසල් ද සිල්වා