2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

කුමාර ධර්මසේන උසාවි කැන්දන ඉඩම් පලහිලව්ව

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 304

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර ධර්මසේන මහතා පින්තැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපතිවරයාය. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ප්‍රබල ව්‍යාපාරිකයකු ද වන කුමාර ධර්මසේන මහතාට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කොට තිබේ. ඉඩමකට සහ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වුණා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය.

'පාර්ක්ලින්' නැමැති නිවෙස පිහිටා ඇත්තේ පර්චස් 82 කට අධික ඉඩමක් තුළය. ඒ නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ ස්ථානයකය. පසුගිය 16 වැනිදා දිනයේ මෙකී නිවෙසට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණේ මැරයන් ලෙසිනි. ගිනිඅවි රුගෙන අහසට වෙඩි තබා බියගන්වා ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කොට පන්නා දමා තිබුණේ චණ්ඩි මැරයන් ලෙසිනි. මේ කරුණ මූලික කොටගෙන වර්ණකුලසූරිය ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැත්තකු විසින් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා හරහා අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66(1)(අ) වගන්තිය යටතේ ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ පිහිටි පින්තැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුමාර ධර්මසේන, එහි විධායක අධ්‍යක්ෂවරුන් දුෂාන්ති ධර්මසේන, කවිශ්ක ධර්මසේන, අධ්‍යක්ෂවරුන් වන අශල්‍ය ධර්මසේන, අමන්‍යා ධර්මසේන, ගිණුම් කළමනාකරු උදාර කරුණාරත්න සහ හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනයේ පිහිටි පින්තැන්න ඔයුඩ ඔයිල් පෞද්ගලික සමාගමේ මනහර, චමෝද්, ප්‍රධාන කළමනාකරු කිත්සිරි යන අය සමඟ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා එම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

පැමිණිල්ල ඉදිරිපත් කළ වර්ණකුලසූරිය මහතා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසිය සහ වෙනත් ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් සපයනු ලබන 'ඇසෙන්ට් ඉන්ටර්නැෂනල්' පෞද්ගලික සමාගමේ හිමිකරුය. මෙම සිදුවීමට අදාළ ඉඩම සහ එහි කලින් පදිංචිව සිට ඇත්තේ ජයේන්ද්‍ර වීරසේකර නැමැත්තෙකි. ඔහු දැනට විදේශගතව සිටින අතර ඔහු විසින් මෙකී දේපල සමඟ නිවෙස ඉකුත් 2021 වසරේ අගෝස්තු මාසයේදී බදු ඔප්පුවකින් වසර දෙකක් සඳහා පවරා දී ඇත්තේ මාසික කුලිය රු. 150,000 ක් වන ලෙසය. එම මුදල මාසිකව ජයේන්ද්‍ර වීරසේකර නමට බැංකුගත කිරීමට වර්ණකුලසූරිය මහතා කටයුතු කර තිබිණි.

එසේ සිටියදී අදාළ නිවෙසට යාබදව ඇති කොළඹ 05 ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන් හා භාරකරුවන් පිරිසක් නිවෙසට පැමිණ පවසා තිබුණේ මෙම නිවෙස විහාරස්ථානය සතු දේපලක් බවත් දිගටම පදිංචි වීමට ඇවැසි නම් නව බදු ගිවිසුමකට එළැඹිය යුතු බවත්ය. වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම නිවෙස හා ඉඩම රු. 7000 කුලී මුදලකට ජයේන්ද්‍ර මහතාට ලබා දී ඇති බවය. එකී මුදල ජයේන්ද්‍ර නැමැත්තා විසින් 2018 අගෝස්තු දක්වා ගෙවා ඇති බවද පෙන්වා දී ඇත. මෙම කරුණු දැනගැනීමෙන් පුදුමයට හා කලබලයට පත් වර්ණකුලසූරිය මහතා විදෙස්ගතව සිටි ජයේන්ද්‍ර විජේසේකර අමතා කරුණු දක්වා ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් එම නිවෙසේ හිමිකරු තමා බව ජයේන්ද්‍ර ප්‍රකාශ කළ බැවින් ඔහු සමඟ ගිවිසුම්ගතව මාසික කුලී මුදල ඔහු වෙත ලබාදීමට වර්ණසූරිය මහතා පියවර ගෙන ඇතැයි කියති. පසුව ඉසිපතනාරාමය පාර්ශ්වයෙන් ජයේන්ද්‍ර විජේසේකර, වර්ණසූරිය යුවළ වගඋත්තරකරුවන් කරමින් කොළඹ දිසා අධිකරණයේ නෙරපීමේ නඩුවක් පවරා තිබේ.

වර්ණසූරිය මහතා පදිංචි අදාළ කුලී නිවෙසේ සිය ව්‍යාපාරයට අයත් කාර්යාලය ද පිහිටුවාගෙන තිබිණි. ඔහුගේ බිරිය නෙදර්ලන්ත ජාතික කාන්තාවක බැවින් පවුලේ උදවිය එම රටට යාමේ සූදානමින් පසුවූහ. මේ අතර කාලය තුළ නිවෙස හා දේපල රැකගැනීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් යොදවා ඔවුන් විදෙස්ගතව ඇතැයි කියති. එසේ නෙදර්ලන්තයේ රුඳී සිටින අවස්ථාවේ මෙරට සිට වර්ණසූරිය මහතාගේ වට්ස්ඇප් අංකය අමතා ඉන්දිකා වන්නිආරච්චි නැමැත්තියක කතා කළ බව වර්ණසූරිය මහතා පවසයි. ඇය ප්‍රකාශ කොට තිබුණේ වහාම පදිංචි නිවෙසින් ඉවත් විය යුතු බවත් ඒ සඳහා රුපියල් මිලියන 100ක් ලබාදීමට කැමැති බවත්ය. ඊට අදාළ වන ලිපි ලේඛන රුසක්ද වට්ස්ඇප් ඔස්සේ වර්ණසූරිය මහතා වෙත එවා ඇති බවද කියා තිබිණි.

මේ අතරවාරයේ බදු ගිවිසුම හිමි බව කියන ජයේන්ද්‍ර මහතා වර්ණසූරිය මහතාට කියා ඇත්තේ අදාළ නිවෙසින් ඉවත්ව එහි භාරකාරිත්වය ඉන්දිකා නැමැත්තියට ලබා දෙන ලෙසය. එහෙත් ඒ වන විටත් දේපල සම්බන්ධයෙන් දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් වර්ණසූරිය මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇතැයි පැවසේ. මෙහිදී ඉන්දිකා නැමැත්තිය පවසා තිබුණේ ඉහත දේපල කුමාර ධර්මසේන නැමැත්තා විසින් මිලට ගෙන ඇති බවත් ඉදිරි කටයුතු ඔහු සමඟ සාකච්ඡා කරන ලෙසත්ය. පසුව ඇය ලබාදුන් අංකයක් අමතා කුමාර ධර්මසේන මහතාට කතා කළ පසුව ඔහු දන්වා තිබුණේ අංක 51/2 දරන 'පාර්ක්ලින්' නිවෙස මිලට ගත් බවය.

මේ අතරතුර කාලයේ සැක කටයුතු පිරිසක් එම නිවෙස හා ඉඩම පරිශ්‍රයට පැමිණ ඇති බව කියමින් වර්ණසූරිය මහතාගේ රියැදුරු විසින් අගෝස්තු 17 වැනිදා නාරාහේන්පිට පොලිසියට පැමිණි කර ඇතැයි කියති. පසු දිනෙක කුමාර ධර්මසේන මහතා විසින් වර්ණසූරිය වෙත තර්ජනාත්මක ඇමතුමක් ලබා දී තිබූ බවත් එමගින් පොලිසියේ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙස දැන්වූ බවත් වර්ණසූරිය මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ. මේ හේතු මත වර්ණසූරිය මහතා අගෝස්තු 23 වැනිදා නැවත ලංකාවට පැමිණි අතර නිවෙස සෝදිසි කිරීමේදී සියලුම ගෘහ භාණ්ඩ, රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, ලැබ්‍රඩෝ වර්ගයේ සුරතල් සුනඛයන් දෙදෙනා, මිලියන 5ක් පමණ වටිනා ට්‍රක් රථයක සවි කළ හැකි ආහාරපාන සැපයිය හැකි ජංගම ටේලරය හා සීසීටීවී කැමරා පද්ධතිය ඇතුළු දේපළ රුසක් කොල්ලකා ඇති බව දැක ඇත. මේ බව පැමිණිලි කළ වර්ණසූරිය මහතා සැප්තැම්බර් 19 වැනිදා එම පරිශ්‍රයට ගොස් ඇතැයි පැවසේ.

එහිදී නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එම පරිශ්‍රයට පැමිණි අතර කුමාර ධර්මසේන මහතාගේ පිරිසක් ගිනිඅවි රුගෙන සිට ඔවුන් ද පිටවී ගිය බව පැමිණිල්ල මගින් කියා තිබිණි. පසුව ඉකුත් 20 වැනිදා මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට වර්ණසූරිය මහතා පොලිසියට ගොස් තිබූ අතර පොලිසිය දන්වා තිබුණේ කුමාර ධර්මසේන නැමැත්තා විසින් තමුන්ට එරෙහිව පැමිණිල්ලක් යොමුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු හා සමථයකට එළඹෙන ලෙසත්ය. මේ බව දන්වා තිබුණේ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් බව වර්ණසූරිය මහතා පවසයි.

මෙහිදී අපරාධ අංශ ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ අනෙක් පාර්ශ්වය සමඟ එකඟතාවයකට හෝ අදාළ නිවෙසේ යතුර පොලිසිය වෙත බාර නොදෙන්නේ නම් හෝ වර්ණසූරිය මහතා අත්අඩංගුවට ගන්නා බවය. තර්ජනාත්මකව කතා කරමින් නිවෙසේ යතුර බලහත්කාරයෙන් ලබාගත් පොලිස් නිලධාරින් පසුගිය 27 වැනිදා ධර්මසේන මහතාට හෝ පින්තැන්න ප්ලාන්ටේෂන් ආයතනයේ යම් කෙනකුට අත්තනෝමතික හා නීතිවිරෝධී ලෙස ලබා දීමට කටයුතු කර තිබෙන බවට පැමිණිල්ල මගින් තොරතුරු ඉදිරිපත් කොට ඇත. මෙකී කරුණු සැලකිල්ලට ගෙන නඩුවේ වගඋත්තරකරුවන් 12 දෙනාට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරනු ලැබීය.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ඉන්ද්‍රතිස්ස, නීතිඥ රමිත දිසානායක, නීතිඥ මල්ක දේනෙත්ති යන මහත්වරු අධිකරණයට කරුණු වාර්තා කළහ.

I සමන්ත විල්තෙර