2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රතු වරෙන්තුකරුවන් අල්ලන්න හරස්වෙන මරණ දඬුවම

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබෙන්නේ වෙඩි තබා ඝාතනය කිරීම් සහ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳවය මෙම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයන් වැඩි පිරිසක් ඒවා මෙහෙයවන්නේ විදේශගතව සිටිමිනි. විවිධ පැමිණිලි හා චෝදනාවන්ට ලක්ව වරෙන්තු ලබා ඇතත් අධිකරණය මගහැර විදේශවල සැඟවී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අපරාධ හා ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් රතු වරෙන්තු නිකුත් කර තිබේ.

විදේශයන්හි සිට ක්‍රියාත්මක වන මැර කල්ලිවල වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප සහෝදර පුවත්පත වන ඩේලිමිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇති පරිදි  විදේශයන්හි සිට ක්‍රියාත්මක වන පාතාල පුද්ගලයන් මැඬලීමට කටයුතු කරන අතර පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ගැටලුව විසඳීම සඳහා සම්බන්ධීකරණයක් සිදු කරයි.
අද වන විට විදෙස් රටවල සැඟව සිට මෙරට විවිධ අපරාධ හා ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් 149 දෙනකු සඳහා  රතු නිවේදන නිකුත්කර ඇත. මොවුන් අතුරින් පාතාල නායකයන් හා සංවිධානාත්මක අපරාධකරුවන් 42ක් සිටින්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා දේශයට ප්‍රකාශ කළේය. මෙවැනි රතු වරෙන්තුකරුවන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නම් එම දෙරට අතර පිටුවහල් කිරීමේ ගිවිසුම හෙවත් උදර්පන ගිවිසුමක් පැවතිය යුතුය. ශ්‍රී ලංකාව මේ වනවිට ඇතැම් රටවල් සමඟ උදර්පන ගිවිසුම් අත්සන් කර තිබුණද එසේ අත්සන් කර නොමැති ඇතැම් යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන බැවින් එම පුද්ගලයන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අකමැත්තක් දක්වන  බවට වාර්තා වේ. මෙම හේතුව මත එම රටවල සිටින අපරාධකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට යම් බාධා පවතින බවද වාර්තා වේ.

බොහෝ යුරෝපීය රටවල් මරණ දඬුවම අහෝසි කර ඇති අතර එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකයි. යම් හෙයකින් අපරාධකරුවකු  පිටුවහල් කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම ලබාදීමට ඇති හැකියාව හේතුවෙන් මරණීය දණ්ඩනය නීතිගත කර ඇති රටවලට පුද්ගලයන් පිටුවහල් කිරීමට ඔවුන් බොහෝවිට පසුබට වන බව පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ එහි එතරම් සත්‍යයක් නොමැති බවටය. 

''ඔය ප්‍රශ්නය එළියට ආවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදියි. මෙවැනි කරුණු එළියට ගියාම අපරාධකරුවන්ට හැකියාව ලැබෙනවා කිසියම් අපරාධයක් කොට එවැනි රටකට පළාගොස් සැඟවී සිටින්නට. ඇතැම් රටවල් අපරාධකරුවන් පිටුවහල් නොකරන බව පැවසිය නොහැකියි. රතු වරෙන්තුවක් නිකුත් කළාම ඒ සම්බන්ධයෙන් අපෙන් විමසන අවස්ථවන්හිදී ඔවුන් අහනවා ඔබේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවාද කියලා. ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවලට පුද්ගලයන් පිටුවහල් කිරීමට යම් අකමැත්තක් දක්වනවා. ඒත් එය සියලුම යුරෝපා රටවලට පොදු වූවක් නොවෙයි.'' යනුවෙන් සඳහන් කළේය.

පිටුවහල් කිරීමේ ඉල්ලීම් සාමාන්‍යයෙන් අදාළ රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට යටත් වන්නකි. ඒ අනුව පිටුවහල් කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට යුරෝපා රටවල් ශ්‍රී ලංකාවෙන් සහතිකයක් හෝ වගවීමක්  ඉල්ලා සිටිය හැකිය. සැකකරුවකු පිටුවහල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය බොහෝවිට ගනු ලබන්නේ නඩුවේ නිශ්චිත තත්ත්වයන්, රටවල් දෙකෙහිම නීතිමය රාමුව සහ මානව හිමිකම් සැලකිල්ලට ගනිමින් එක් එක් සිද්ධියට අදාළව බව පැවසේ.  

මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා කියා සිටියේ අන්තර්ජාතික ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළ අවස්ථාවේ සිට එහි අන්තර්ගත කරුණු ක්‍රියාත්මක කිරීමට. එම දෙපාර්ශ්වය එම ගිවිසුම්වලින් බැඳී සිටින බවයි. 

''මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මන කරන්නේ නැතැයි යන පදනම මතයි අප එම ගිවිසුම්වලට අත්සන් තබන්නේ. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකියි. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ මිනීමැරීම් චෝදනාවලට සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩියෙන් තබාගෙන සිටි පුද්ගලයකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අපගේ නීතියේ පවතින තාක්කල් ඒ මානව හිමිකම් සංවිධානවලට අනුගතව සිටින යුරෝපා රටවල් එවැනි චෝදනාවලට සැකකරුවන් බවට පත්ව සිටින පුද්ගලයන් පිටුවහල් කිරීමට උනන්දු වන්නේ නැහැ. ඔවුන් සඳහන් කරන්නේ තම රටින් පිටුවහල් කරන පුද්ගලයාට මරණීය දණ්ඩනය ලබා දෙන්නේ නම් ඔවුන් බැඳී සිටින ගිවිසුම් අනුව එවැනි පුද්ගලයකු එම රටට පිටුවහල් කළ නොහැකි බවයි.

රතු වරෙන්තුකරුවකු මෙරටට ගෙන්වා ගැනීමට නම් ඔහු සිටින රට හා ශ්‍රී ලංකාව අතර උදර්පන නීතිය සම්බන්ධ ගිවිසුමක් තිබිය යුතුයි. එවිට එම නීතිවලට අදාළව අවශ්‍ය කටයුතු සිදුකළ හැකියි. ඇතැම් රටවල උදර්පනය සම්බන්ධ නීති නැහැ. ඇතැම් රටවල් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් තබා නැහැ. එවැනි රටවල අපරාධකරුවන් සැඟව සිටීනම් ඔවුන් ආපසු ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. මෙහිදී අපි අවස්ථා දෙකකදී සිර වෙනවා. පළමුවැන්න අපරාධකරුවකු ශ්‍රී ලංකාව උදර්පන ගිවිසුමක් අත්සන් කර නොමැති රටක සැඟවී සිටින්නේ නම් උදර්පන නීතිය යටතේ අපට ඉල්ලීම් කළ නොහැකියි. දෙවැන්න කිසියම් රටක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන යුරෝපා සංගමය හෝ වෙනත් මානව හිමිකම් සංවිධාන සමඟ ගිවිසුම් ගතව සිටින්නේ නම් උදර්පන නීතිය තිබුණත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන රටකට රතු වරෙන්තුකරුවකු පිටුවහල් කරන්නේ නැහැ. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ඉදිරියේදී සංශෝධනය කිරීමට අපේක්ෂා කරන අපේ නීතිරීතිවල මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්ත සිරදඬුවම හෝ දීර්ඝකාලීන සිරදඬුවම් නියම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරමින් තිබෙනවා. මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කළහොත් කිසිදු බාධාවකින් තොරව රතු වරෙන්තු ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී ජාත්‍යන්තර පොලීසිය සැඟවී සිටින අපරාධකරුවන් අත් අඩංගුවට ගත්තත් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන ආ හැකිවන්නේ අප උදර්පන නීති ගිවිසුම් අත්සන් කර තිබුණොත් පමණයි. එසේ නොමැති නම් අන්තර් ජාතික වශයෙන් දෙරට අතර ඇති සුහදතාව යටතේ සිරකරුවන් හුවමාරු කිරීම වැනි විශේෂ අවසරයක් මත ඔවුන් මෙරටට ගෙන්වා ගත හැකියි.'' යනුවෙන් සඳහන් කළේය.

සංවිධානාත්මක අපරාධ හෝ හෙරොයින් ජාවාරමේ නිරත පාතාලයෝ මෙරටින් පලාගොස් සැඟවී සිටීමට ඩුබායි රාජ්‍යය බහුල වශයෙන් යොදාගනිති. සමහරු ඉන්දියාවට පලායාමටද උත්සාහ කරති. ඉන්දියාවට පලාගියද එතැන් සිට නැවත ඩුබායි බලා යන අයද සිටින අතර තවත් පාතාලයන් හා ජාවාරම්කරුවන් ඕස්ට්‍රේලියාව හා මැලේසියාව වැනි රටවලට පලාගොස් සිටිමින් මෙරට ජාවාරම් හා අපරාධ මෙහෙයවන බව අසන්නට ලැබේ. බොහෝ අපරාධකරුවන් ලංකාවේ සිට පලාගොස් තිබුණේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතයෙනි. ඒ සඳහා හොඳම උදාහරණය ගණේමුල්ලේ සංජීවය. පසුගියදා ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහුගේ ගමන් බලපත්‍රයේ සඳහන් වූයේ සේනාධීරගේ කරුණාරත්න ලෙසිනි. ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කරගෙන විදෙස් ගතවීම ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකි. එම හේතුව මත අදාළ සැඟව සිටින අපරාධකරුවන් පිටුවහල් කිරීමට එරට බලධාරීන්ට හැකිය. දැනට ශ්‍රී ලංකාව  පාකිස්තානය, ඉන්දියාව, යුක්රේනය මැලේසියාව වැනි රටවල් කිහිපයක් සමඟ උදර්පන නීතියට අත්සන් තබා ඇත. මෙම රටවල සිටියදී ලංකාවට අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට පත්ව ඇත්නම් ඔවුන් නිසැකයෙන්ම මෙරට පොලීසිය වෙත බාරකළ හැකිය.

මරණීය දණ්ඩනය අහෝසි කර ඇති රටවල් එම රටවල සිටින අපරාධකරුවන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අකමැති වන්නේ මෙරට ක්‍රියාත්මක අනීතික ක්‍රියාමාර්ග හේතුවෙන් යැයි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් දේශයට අදහස් දක්වමින් ''මරණ දඬුවම ලබාදෙනව කියන්නේ එල්ලුම් ගහ වුවත් ශ්‍රී ලංකාවේ පොලීසිය අනීතික විදිහට අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙනවා. පසුගිය කාලයේ ආයුධ පෙන්නන්න කියලා අරන් ගිහින් කී දෙනෙක් මරා දැම්මද? දේශපාලනඥයන් කියන දේවල් කරන්න අද රහස් පොලිසියත් කටයුතු කරනවා. බොහෝ අපරාධකරුවන්ට නීතියෙන් සැඟව සිටින්නට දේශපාලනඥයන්ගේ සහායත් ලැබෙනවා. අපරාධ හරි විදිහට විභාග නොකරන නිසයි රටේ අපරාධ වැඩිවෙන්නේ. ලංකාවේ නීතියේ අධිපත්‍ය නිවැරදිව ක්‍රියාත්මක වනවාද යන සැකය තිබෙනවා. බොහෝ විමර්ශන අතරමග නවතිනවා. නීතියේ ආධිපත්‍ය නොමැති විට මිනිස්සු නීතිය අතට ගන්නවා. විදේශගතව සිටින අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට පෙර ලංකාවේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. අපරාධක වලට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් තානාපති කාර්යාලවල සේවයට පවා යවා තිබෙනවා. ඉතින් කොහෙද නීතියක් තියෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වනවා නම් රතු වරෙන්තුකරුවන් ගෙන්වා ගැනීම අපහසු වන්නේ නැහැ. එහෙම නෙවෙන එකයි ගැටලුව'' යනුවෙන් සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා