2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

පාරිභෝගිකයාගේ කනටම වදින විදුලි බිලේ අලුත් නැග්ගිල්ල

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

කොරේ පිටට මරේ කියා මෙවර නම් විදුලි ගාස්තු වැඩිවනු දරා සිටීමට හැකිවේදැයි සැකයකි. බිල් ගෙවාගත නොහැකිව අඳුරේ කොරවී මිය යාමට ශ්‍රී ලංකිකයන්ට සිදුවනු ඇත. මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන් කොට ඇති සංශෝධනය නියත වශයෙන්ම සිදුවන බව විදුලි ඇමැති ද ඉකුත් දා පවසා තිබුණි.

එහෙත් වළ ඉසීමට පෙර තරමක් කල් බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කොට තිබේ. මෙය අපූරු නාටකීය ජවනිකාවකි. එසේම මෙය හය හතර නොදන්නා ළදරුවකුට පවා අවබෝධ වන සරල උපායකි. ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ඔවුන් තීරණ කර තිබේ. 

විදුලි බල මණ්ඩලය විසින් ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කළ පසු ඔවුන් මෙම තීරණයට එළැඹ ඇතැයි කියැවේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා ඔක්තෝබර් 18 වැනිදා දක්වා භාරගන්නා බව කොමිසම නිවේදනය කොට තිබේ. ඒ අනුව තවත් සතියක් ගෙරවිලි මිස විජ්ජු ලතාවෝ අපට දැකගැනීමට නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙම සංශෝධනය පමා කළ නොහැකි බවයි. මෙය ජනවාරි මාසයේ සිදුකිරීමට තිබූ විදුලි ගාස්තු සංශෝධනයක් බවත් ඔක්තෝබර් මාසයේ සිට මෙම සංශෝධනය සිදු කළ යුතු බවත් මණ්ඩලය කොමිසමට දන්වා ඇතැයි කියැවේ.

මෙහිදී සිහිගැන්විය යුතු අනෙක් කරුණ නම් මෙම ගාස්තු සංශෝධනය යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය හිතූමතේ නොගෙන ආ බවයි. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව මෙම අතිවිශේෂ ගාස්තු සංශෝධනය මෙලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත. මහජන උපයෝගීතා කොමිසම මීට විරුද්ධ වේ යැයි සිතීමට දැන් අවකාශයක් නොවේ. මහජන උපයෝගීතා කොමිසම සතු බලය සිඳී ගොස් අවසන්ය.

හෙට අනිද්දාට සිදුකිරීමට නියමිත මෙම සංශෝධනය මේ වසරේ තෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලෙස සැලකේ. දැනට වාර්තා වී ඇති පරිදි ඉකුත් සමයේ දිවයින පුරා පැවැති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීමට වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීම ඇතුළු වියදම් ආවරණය මෙම සංශෝධනයේ අභිප්‍රායයි.

ඒ අනුව බොහෝ විට 22% ක විදුලි ගාස්තු සංශෝධනයක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් ඉහළ දැමීමක් සිදුවනු ඇත. ඒ අනුව ඔක්තෝබර් විදුලි බිල හෝ නොවැම්බර් විදුලි බිල ලිඛිත වශයෙන්ම මහජනතාවට දරාගැනීමට අපහසු වන බව සහතිකය. එහෙත් සිදු කරන්නට කිසිත් අපට ඉතිරිව නැත. ණය උගුලේ සිටින ශ්‍රී ලංකා රජය මහජනයා වෙනුවෙන් පාඩු දරා සිටීමට තරම් සවිමත් නැත. එසේ උත්සාහ කිරීමට ද රජයට අවකාශයක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යදමින් දැන් ආණ්ඩුව බැඳ දමා අවසන්ය.

කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම වටීයි. පසුගිය ජූලි පළවැනිදා විදුලි ගාස්තු යම් පමණකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරය අපට මතකය. එය හුදෙක් සංදර්ශනාත්මක කටයුත්තක් නොවේද? ජනවාරියේ විදුලි ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීම නැවත ක්‍රියාත්මක කළ යුතුව තිබියදී ජූලි ගාස්තු අඩු කිරීම සිදු කළේ කෙලෙසද? අපි ප්‍රශ්න කළ යුතුය.

විදුලිබල මණ්ඩලයේ දූෂණය නාස්තිය සහ කාර්යක්ෂමතාවය පිළිබඳව ඇති චෝදනා, ප්‍රවාදයක් නොවන බව බලධාරීන් නොවලහා හෙළි කළ යුතුය. මණ්ඩලයේ සියලු බර ජනතාව කර මත තබන්නට පෙර ආණ්ඩුව පළමුව සිදු කළ යුත්තේ එයයි. එහෙත් ගෙවී ගිය වසර කිහිපය තුළම මේ පිළිබඳ නොයෙක් සාකච්ඡා පැවති නමුත් සිදුවූ වෙනසක් නොවේ. එම කාලයේදී විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ ගිය බව නම් අපි දනිමු.

අනෙක් අතට නියඟය, වර්ෂාව ආදී කාලගුණික තත්ත්වලට ඉදිරි වසරවලදීද අපිට මුහුණ දීමට සිදුවනු ඇත. එසේම විදුලි ඉල්ලුම ද ඉහළ යනු ඇත. මෙම තත්ත්වයන්ට මුහුණදීමට නව බලාගාර ඉදිකිරීමට හෝ පුනර්ජනනීය බලශක්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුමය. එසේ නොවුණහොත් හැම වසරේම නියං කාලයේදී විදුලි කප්පාදුවට මුහුණ දීමට රටක් ලෙස අපට සිදුවනු ඇත.

අමාරුවෙන් හරි දරාගන්න වෙනවා
කාංචන විජේසේකර - විදුලිබල හා බලශක්ති අමාත්‍ය 

අලුතින් ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති කරගෙන තියෙන ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට තිබෙනවා. ඉතින් අමාරුවෙන් හරි දරාගෙන සිටින්න සිදුවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලයේ ඇතිවුණු අලාභ ආවරණය වන තෙක් ඒ අලාභ ආවරණය කිරීම සඳහා මේ ගැලපුම සිදු නොකරම බැරි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. වෙන විකල්පයක් තියෙනවා නම් විකල්පය කරන්න එතුමලා කැමැතියි. විකල්ප සියල්ල සඳහන් කරලා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලලා තිබෙන බව තමා සඳහන් කළේ. මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබඳව පුළුල්ව සලකා බලලා අත්‍යවශ්‍යයෙන්ම පවත්වාගෙන යා යුතු තත්ත්වය දැනුම් දෙයි. පසුගිය කාලය තුළ සහන ලබා දීම සඳහා යැයි ඇති කරපු විදුලි ගාස්තු වෙනස්කම් නිසා අවසානයේ අපිට පැය දොළහක විතර විදුලිය කැපීමට යන්න සිද්ධ වුණා. එවැනි තත්ත්වයකට නොයා ඊට වඩා වාසිදායක තත්ත්වයක් ඇතිකර ගන්න පුළුවන් වෙන ආකාරයට තාවකාලික වශයෙන් මේ අමාරුව කෙටි කාලයකට මේ අලාභය පියවෙන තෙක් දරාගන්න සිදුවෙන බව තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නෙ.”

රජයේ ප්‍රතිපත්තිය රජයෙන්ම කැඩීමක්
ජනක රත්නායක - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති 

වසරකට විදුලි ගාස්තු සංශෝධන කළ හැක්කේ දෙවතාවකදී පමණක් බවට රජය ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 වැනි වගන්තියට අනුව. මේ ප්‍රතිපත්තිය එසේම තිබියදී නැවත අතිවිශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමක් කැබිනට් මණ්ඩලයම අනුමත කරනවා. ඒක රජය විසින්ම රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නීත්‍යානුකූලව පිළිගත නොහැකියි. විදුලිබල පනතේ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා. විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පනවා ඇති වගන්ති උල්ලංඝනය කිරීමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් නැහැ. වසරකට වාර තුනකදී විදුලි ගාස්තු සංශෝධනය කරනවා නම් රජය පරණ ප්‍රතිපත්තිය සංශෝධනය කර නව ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ යුතුයි. තුන්වැනි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට විදුලිබල ඇමැතිවරයා මෑතකදී පවා අවධාරණය කර සිටියා. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකියාවක් නැහැ.

මෙතැන දූෂණය නාස්තිය තිබෙනවා
විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමය

මේ කියන ගණන් හිලව් හරිද? මේක ඇතුළේ විදුලිබල මණ්ඩලයේ දූෂණය නාස්තිය අකාර්යක්ෂමතාවය තියෙනවද? අපි වෘත්තිය සමිතියක් විදිහට පැහැදිලිවම කියනවා මෙතැන දූෂණය නාස්තිය තියෙනවා. නමුත් අපිට පේන්නෙ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙනවා.

මේ වැඩේට අපි ඉඩ දෙන්නෙ නෑ
සංජීව ධම්මික - විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය - ලේකම්

අපිට අහිනව මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේකට ඉඩ දෙනවද නැද්ද? කෙලින් ප්‍රකාශ කරන්න. මේ පනත අනුව මේක කරන්නේ කොහොමද? දැන් මේ ඉදිරිපත් වෙලා තියෙන්නෙ අපූරු ඉල්ලීමක්. ජනවාරි මාසේ වැඩි කරන්න තිබුණු බිල ඔක්තෝබර් මාසේ ඉඳලා වැඩි කරන්න. මේ වැඩේ කරන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යනවා. ඒ නිසා කොමිසන් සභාව මේ යෝජනාව නොබලාම අහක දැමිය යුතුයි.

I චමිඳු නිසල් ද සිල්වා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:02