2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ගිරේට අහුවෙන බජට් එක

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පිළිබඳව වූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සතිය පමණ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අයවැය විසර්ජන පනත් කෙටුම්පත මගින් සිදු කරනුයේ අදාළ වර්ෂයට අපේක්ෂිත ආදායම සහ අදාළ වියදම් අමාත්‍යංශ අතර බෙදී යන අයුරු දැක්වීමය. රජයේ ප්‍රමුඛතා ලේඛනය අනුව අමාත්‍යංශ සහ ආයතන අතර අවශ්‍යතා අනුව මුදල් වෙන් කිරීම සිදුවෙයි. එම ප්‍රතිපාදන අහෝසි වන අවස්ථාවලදී අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන අතුරු අයවැය මගින් ලබාගනී. එහෙත් බොහෝ අවස්ථාවල අපට දක්නට ලැබී ඇත්තේ වෙන්කරන මුදල් හෝ වසර තුළ වියදම් නොකර මහා භාණ්ඩාගාරයට යන තත්ත්වයකි. අමාත්‍යංශවලට මුදල් වෙන් කරනු ලබන්නේ අයවැය ලේඛනය සකස් කිරීමට පෙර අමාත්‍යංශවලින්ම ඉදිරිපත් කරන වැය ඇස්තමේන්තු අනුවය. එම ඇස්තමේන්තු අනුව වසර තුළ අලුතින් ආරම්භ කිරීමට සහ ආරම්භ කළ වැඩ අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කරනවා ඇත. එම මුදල් වැය කර වසර තුළ සියලු ව්‍යාපෘති අවසන් කිරීම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වගකීම වෙයි.

මෙවර අයවැය ලේඛනය අනුව සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබසාධන වියදම් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට තිබේ. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන නොසෑහෙන බවට දැනට වසර කිහිපයක සිට චෝදනා එල්ලවීම සලකා බලා මෙවර ජාතික ආදායමෙන් 4% ක පමණ ප්‍රතිපාදන අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කෙරුණි. එසේ වුවද අද රටේ පවතින තත්ත්වය අනුව අධ්‍යාපනය සඳහා මෙතරම් මුදලක් වෙන් කිරීමට හැකිවේද යන්න විවාදාත්මකය.

එසේම රටේ ජනතාව අද පත්ව තිබෙන තත්ත්වය අනුව සුබසාධන වියදම් සඳහා විශාල මුදලක් වෙන් කිරීමට රජයට සිදුව තිබේ. රටේ පවතින භාණ්ඩ හා සේවා මිල මට්ටම අනුව වැඩි කොටසකට දවසේ තුන්වේල ආවරණය කර ගැනීම පවා ගැටලුවක් වී ඇති බව දැනගන්නට තිබේ. ඒ නිසා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය වියදම් සඳහා උපයන මුදල ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ දෙනකුට සමෘද්ධිය අස්වැසුම වැනි සුබසාධන වැඩපිළිවෙළ සහාය ලබාගැනීමට සිදුව ඇත. එසේම ගොවියා සඳහා පොහොර සහනාධාර ලබා දීම සඳහා විශාල මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ. එසේම ගංවතුර සහ නියඟ තත්ත්වය නිසා ජනතාවගේ ජීවන තත්ත්වය බිඳවැටෙන අවස්ථාවලදී ඔවුන්ට සහන දීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සලකා බලා මෙවර අයවැයෙන් සුබසාධන වියදම් යම් පමණකට ඉහළ නැංවීමට සිදුව තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දැනට රුපියල් බිලියන 65ක්ව ඇති සුබසාධන වියදම් බිලියන 185 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. එසේම හදිසියේ ඇතිවන දේශගුණික ආපදා නිසා හානියට පත්වන්නන්ට සහනාධාර දීමට සිදුවෙයි.

එසේම ආදායම ලබාගැනීමට බදු වැඩි කිරීමට යාමේදී රජය විශාල අර්බුදයකට ලක්ව ඇති බව පෙනේ. උපයන විට බද්ද ගෙවීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයෝ විශාල හිරිහැරයකට පත්ව සිටිති. ඔවුන් ආණ්ඩුවට බලපෑම් කරමින් උද්ඝෝෂණ සහ වර්ජන ව්‍යාපාරවලට අවතීර්ණ වීමට සූදානම් වන බව පැවසේ. මෙම විරෝධය හමුවේ උපයන විට බද්ද යම් ලෙසකින් සංශෝධනය කිරීමට රජයට මතුවට සිදුවනු ඇත. එසේම බදු පනවන උපරිම ආදායම රුපියල් ලක්ෂ 1 සිට 2 දක්වා අඩුකිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් 13 වැනිදා සිදු කරන අතර, ඒ ගැන විවාදය නොවැම්බර් 21 දක්වා පවත්වා එදින පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමටද සැලසුම් කර තිබේ. ඡන්ද විමසීමෙන් පසු අයවැය පනත සම්මත වුවහොත් කතානායකවරයා අත්සන් කිරීමෙන් පසු දෙසැම්බර් 27 වැනිදා සිට නීතියක් බවට පත්වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

යෝජිත අයවැය ලේඛනය සැකසිය යුතු අන්දම පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියන්නේ මෙවර අයවැය ලේඛනය ලංකා ඉතිහාසයේ බරපතළම අයවැය ලේඛනය වන බවය. මෙහිදී රජය ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව සකස් කළ යුතු වීම නිසා රජයට පරණ සෙල්ලම් දැමීමට නොහැකි වෙයි.

&අයි.එම්.එෆ්. සංවිධානය කියන්නේ රාජ්‍ය ආදායම වැඩිකර අනවශ්‍ය වැය පාලනය කළ යුතු බවයි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට නම් බදු ගැහිල්ල වැඩිවිය යුතුයි. ඒත් දැනටමත් උපරිමයෙන් බදු වැඩි කරලයි තියෙන්නෙ. ඉතින් තවදුරටත් බදු වැඩි කරන්නේ කෙසේද යන්න ගැටලුවක්. දැනටමත් වැඩි කළ බදු අඩු කරන ලෙස ජනතාව රජයට බල කරන්නට පටන්ගෙන තියෙනවා. රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් වර්ජන ක්‍රියාමාර්ගවලට පෙළගැසෙමින් තිබෙනවා.

අනිත් අතට වියදම් වැඩිවෙනවා මිස අඩු කළ නොහැකියි. ජනතාවගේ ක්‍රය ශක්තිය අඩුවෙලා. අතේ ඇති මුදලට මිලට ගත හැකි භාණ්ඩ පැස අඩුවෙලා. ජනතාවට තවදුරටත් රිද්දන්න ආණ්ඩුවට අමාරුයි. රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් රුපියල් 20,000 මාසික වැටුප වැඩි කරන ලෙස ඉල්ලනවා. බදු සීමාව ලක්ෂ 2 දක්වා ඉහළ නංවන ලෙස බල කරනවා. බදු පියවර ලක්ෂ 3 සිට 6ට වැඩි කරන ලෙස ඉල්ලනවා. උපරිම බදු සීමාව 36% සිට 28%ට අඩු කරන ලෙස ඉල්ලනවා. සේවකයන් කියන හැටියට කළොත් ආදායම් ඉලක්ක සපුරන්න බැහැ. එහෙත් තවදුරටත් පීඩනයට පත් කළොත් ජනතාවගේ නැගිටීම අඩු කරන්නට අපහසු වෙනවා. මේ දෙපැත්ත අතර ආණ්ඩුව හිරවෙලා.

මේ පාර අයවැය සකස් කිරීමේදී මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ මඟපෙන්වීම් අනුව කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව සහනදායී බදු අනුපාත අඩු කළ යුතුයි. මෙවර ඉදිරිපත් කර ඇති අයි.එම්.එෆ්. වාර්තාවේ ආණ්ඩුව වහා ඉටු කළ යුතු කරුණු 16ක් ගැන සඳහන් වෙනවා. අපේ රටේ අයවැය ලේඛන ගැන ඒ අයගේ විශ්වාසයක් නැති බවයි එයින් සනාථ වෙන්නෙ. මේ දෙවැනි වාරිකය කොහොම හරි ගත්තත් ඊටපස්සෙ ලැබීමට නියමිත වාරික පිළිබඳව ගැටලු ඇතිවීම නොවැළැක්විය හැකියි. මේ කරුණු ටිකක් හෝ ඉටු කළහොත් යම් සහනයක් ලබාගත හැකි වෙනවා ඇති. එයත් අවිනිශ්චිතයි.

මෙයට පෙර අයවැය ලේඛනවල ආදායම ඕනෑවට වඩා පුම්බලා පෙන්වූවා. එසේම වියදම අඩුවෙන් දමලා පසුව පරිපූරක වැය ඇස්තමේන්තු දමලා තුලනය කළා. එහෙත් මේ පාර ඒ සෙල්ලම කරන්න අපහසුයි. මේ අයවැයට ආදායම දෙන්න ඕනෑ හරියට එකතු කර ගන්න පුළුවන් ඒවා විතරයි. පෙන්වූ ආදායම එකතු කිරීම අනිවාර්යයි. එසේම වියදම් ඇස්තමේන්තුවද නිවැරදිව දිය යුතු වෙනවා. ව්‍යාජ ලෙස සැකසූ ඇස්තමේන්තු දෙන්න බැහැ. ඒ නිලධාරින් තදින් අධීක්ෂණය කරනවා.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවර අයවැය සැකසීම පිළිබඳ නිර්ණායක කිහිපයක් දීලා තියෙනවා. අයවැය හිඟය පහළට ගෙන ඒමට කටයුතු කිරීම අවශ්‍ය වේ, මුල් කාර්තුව තුළ අපේක්ෂිත ආදායමෙන් 45% ක් ලබාගත යුතු වේ, දෙවැනි කාර්තුවේදී 65% දක්වා ආදායම ඉහළ නැංවිය යුතු වෙයි, ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දෙන ණය 0 ට බැස්සවිය යුතුයි යනු ඒවායි.

මෙම කොන්දේසි සපුරාලීමට රජයට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු නොඅනුමානයි. මෙයට පෙර වසරවල රජය ආදායම ගණන් බලනුයේ වසර අවසානයේදීයි. එයට හේතු බදු ගෙවන අය පුරුද්දක් වශයෙන් වසරේ අවසාන මාසයේදී ණය ගෙවන බැවින්. එහෙත් මෙවර කාර්තුවෙන් කාර්තුවට අයකිරීම් කළ යුතු වෙනවා. ව්‍යාජ ලෙස රාජ්‍ය ආදායම දැමිය නොහැකි නිසා වියදම වැඩි වුවද සත්‍ය ආදායම පෙන්වා වියදම සීමා කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එසේම පරිපූරක වැය ඇස්තමේන්තු අතරමගදී ගෙන ආ යුතු නොවෙයි. ඉදිරියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මුදල් සැපයීමෙන් ඉවත් වන නිසා වෙනත් මූලාශ්‍රවලට යා යුතුයි.

I යසවර්ධන රුද්රිගූ