2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රාජ්‍ය සේවයේ ගොළුවෙන ’’හලෝ’’

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 308

කාර්යාල සේවිකාවක් සැප පහසු පුටුවක හිඳගෙන කාර්යාල දුරකතනයෙන් ඇමතුමක් ගන්නීය.

“හාලෝ...... අනේ ප්‍රින්සි...''

''මං ඔයාව අද උදේ දැක්කා බස් හෝල්ට් එකෙන්....... හිහි හිහි හිහි......''

''ඔව් අනේ හරී... වැස්ස තමයි. හිකි හිකි හිකි.....''

''මාව තාමත් තෙතයි අනේ. ඉහි ඉහි ඉහි...... මේ පොඩ්ඩක් ලයින් එකේම ඉන්න මෙයා බොස් එනවා.''

''අපෝ නෑ නෑ නෑ... සල්ලි කැපෙන්නෙ නෑ.....''

රටක් ආදරය කළ ඇනස්ලි බර්ටි සැමුවෙල්ගේ විනෝද සමය හාස්‍ය වැඩසටහනෙන් උපුටාගත් මෙහි එන කාර්යාල සේවිකාවගේ චරිතයට පණ පෙව්වේ මර්සි එදිරිසිංහය. මෙම සංවාදය සිහිවූයේ මෑතකදී ඇසුණු පුවතක් නිසාය. සමහර රජයේ කන්තෝරුවල තත්ත්වයද මෙයට දෙවැනි නැත. මෙයින් කියැවෙන යටි අරුත අවබෝධ කර ගැනීම අපි පාඨකයන්ට බාර කරමු.

එදා මෙදාතුර බිහිවූ සියලු රජයන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකිරීම උදෙසා කාලයෙන් කාලයට විවිධාකාර උත්සාහ ගත්තේය. රටක පුරවැසියකු රජයේ කන්තෝරුවකට යන්නේ සිය අත්‍යවශ්‍ය කරුණකට බව අප අමුතුවෙන් කිවයුතු නැත. අතීතයේ දුරකතන පහසුකම් නොතිබූ කාලයේ රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගැනීමට ඕනෑ නම් ඒ රටේ හතර දික්බාගේ කොහේ වුණත් ඒ ආයතනයට යන්නම වෙනවාය. එහෙත් දැන් දැන් සන්නිවේදන තාක්ෂණයේ දියුණුව සමගින් දුරකතන ඇතුළු අන්තර්ජාලය ඔස්සේද රජයේ ආයතන මගින් සිය අවශ්‍යතාව සපුරා ගැනීමට මහජනතාවට හැකිය. මෙසේ  විවිධ සේවා ලබාගැනීමට බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන අංකවලට කතාකරන ජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට අහන්නට දකින්නට ලැබෙන්නේ යහපත් නොවන සිදුවීම්ය. සේවා ඉටුකර ගැනීමට ඇමතුමක් ගන්නා ජනතාවට දිගු වේලාවක් දුරකතනවල කාලය ගත කිරීමට සිදුවනුයේ ඇතැම් නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට වගකීම සහ වගවීම අමතක වන නිසාය. ඉක්මන් සේවා සඳහා රාජ්‍ය ආයතන මගින් ක්ෂණික දුරකතන අංක හඳුන්වා දී තිබුණද ඒවායින් සමහර අංක අක්‍රීය මට්ටමේ පවතින බවද නොරහසකි.

රජයේ ආයතන සෑම එකකම පාහේ මහජන සම්බන්ධතා සඳහා අවම වශයෙන් දුරකතන ක්‍රියාකරුවෙක්වත් සිටී. මහජනතාව රාජ්‍ය සේවය තිත්ත වීමට බලපා තිබෙන ප්‍රධාන හේතුවක් වනුයේ එකී දුරකතන ක්‍රියාකරුවන්ගේ වැරුදි වාග් විලාසයයි. ඇතැම් නිලධාරිනියන්ගේ කතාබහ පොල්ලෙන් ගහනවා හා සමානය. එහෙම කන්තෝරු නෝනලාට ගමේ ගොඩේ බබානිස්ලා බැන බැන යන්නේ රාජ ඌෂ්ණය ඔළුවට ගහලා කියාය. රජයේ ආයතනයකට ඇමතුමක් ගන්නා හද්දා පිටිසර ගැමියකුට මෙවැනි අප්‍රියජනක සිදුවීමකට එක්වරක් මුහුණ දීමට සිදුවුවහොත් ඔහුට සමස්ත රාජ්‍ය සේවයම වහකදුරු වන්නටද බැරි නැත. රාජ්‍ය නිලධාරියා මහජනතාවට සැලකිය යුතු වන්නේ කෙසේදැයි රජයේ ආයතන සංග්‍රහයේ 2 වැනි කාණ්ඩයේ 1.8 සහ 1.9 යන වගන්ති ද්විත්වයේම සඳහන් වන්නේය. එසේම දෙපාර්තමේන්තු නියෝග, විනය සංග්‍රහ, චක්‍රලේඛ ආදී බොහෝ පොත පතේ ඇති ආචාරධර්ම එකී ලිපිගොනුවලටම සීමා වී ඇති බව නිරන්තරයෙන් දකින්නට ලැබෙන කරුණකි.

රාජ්‍ය ආයතනවලට මහජනයා ලබාදෙන ඇමතුම්වලදී ආයුබෝවන් ....... අමාත්‍යාංශය යනුවෙන් ප්‍රථමයෙන් සුහද ආමන්ත්‍රණයක් කරන්නට දුරකතන ක්‍රියාකරුවන් පුරුදු පුහුණු කළේ 1988දී දේශීය වෛද්‍ය හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූ කෘතහස්ත දේශපාලනඥයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරය.

වර්තමානයේ රජයේ ආයතනවල දුරකතන අංක කිහිපයක් මහජන ප්‍රදර්ශනයට තබා තිබුණද එම අංක සක්‍රීයද අක්‍රීයද කියාවත් ඇතැම් ඉහළ නිලධාරීහු පවා නොදනිති.  

හැත්තෑව දශකයේ එක්තරා රාජ්‍ය නිලධාරියකු රාජකාරි පත්වීමක් ලබා පිටව යන්නේ හොරොව්පොතානටය. ඔහු හොරොව්පොතානට යන කාලයේ කන්තෝරුවේ තිබුණේ හැඬලයක් සහිත දුරකතනයකි. දුරකතන අංකය ඉලක්කම් තුනේ නොම්මරයකි. ඒ කාලයේ හොරොව්පොතානේ උප තැපැල් කාර්යාලයක් තිබූ අතර ඔහුට ඇමතුමක්  ගන්න ඕනෑවුණාම කරන්නට වූ එකම රාජකාරිය වූයේ කන්තෝරු දුරකතනයේ හැඬලය දමාගෙන රවුමට කරකවන්නටයි. ඉන්පසු ඒ ඇමතුම උපතැපැල් කාර්යාලයේ‍ වදී. තමන්ට අනුරාධපුරේ දිසාපතිතුමා අරන් දෙන්න කියා තැපැල් ස්ථානාධිපතිට කියුවාම අනුරාධපුර කච්චේරියට කතා කරන්න ලැබෙන්නේ සෑහෙන වෙලාවකට පසුවයි. ඒම ගත්තාමත් ඒ මොහො‌තේ දිසාපති රාජකාරියකට බැහැර ගොසිනි. වර්තමානයේදී කන්තෝරු හලෝවෙන් ගෙදර බබාලාත් නැළවූවාට අතීතයේ රජයේ කන්තෝරුවක පවා දුරකතන ඇමතුමක් ගැනීම දුෂ්කර ක්‍රියාවකි.

හොරොව්පොතානේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී වශයෙන් මුල්මවරට පත්වීමක් ලද එම නිලධාරියා අන් කිසිවකු නොව හොරොව්පොතානේ පළවෙනි ඩී.ආර්.ඕ. වූ ඒ.පී.ඒ ගුණසේකර මහතාය.

''මගේ මතකයේ හැටියට ඉලක්කම් හතරේ පහේ නොම්මර ලැබුණේ අසූව දශකයේ. ටෙලිකොම් ඒකෙන් පෞද්ගලික දුරකතනයක් ගන්නත් ඒ කාලේ ලේසි පහසු කෙනකුට බෑ. අපිට දුරකතනයක් දුන්නා කියා නිදහසේ අපිට කැමැති දේ කරන්න බෑ. දුරකතනයක් තියෙන්නේ රාජකාරියට. රජයේ කන්තෝරුවල දුරකතන ගාස්තුවට නිශ්චිත මුදලක් තියෙනවා. ඒ කාලේ මහජනතාව සමග දුරකතනවලින් ගනුදෙනු සිදුවුණේ නැතිතරම්. පෞද්ගලික අංශයට දුරකතන පහසුකම් දීම ආදිය නිසා දුරකතන සුලබ වුණා. මට මතකයි මම වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ හැටියට හිටපු කාලේ ජනමාධ්‍යවේදීන්, මහජනතාව ඇතුළු බර ගාණක් දවසකට කතා කරනවා. ඒ හැමෝටම කෝල්වලින් උත්තර දෙන්න මගේ රාජකාරි කාලයෙන් සෑහෙන වෙලාවක් යනවා. මාණ්ඩලික නිලධාරියකු වුණාම තිබෙන රාජකාරි සමග දුරකතන භාවිතය ඇත්තටම අමාරුයි. එක ඇමතුමකට හරි උත්තර දීගන්න බැරිවුණොත් මගහැරෙනවා. රාජකාරියේදී අපි ඒ හැම දේ ගැනම හිතන්න වෙනවා. 1980 වැඩ වර්ජනයේදී පළපුරුදු දක්ෂ වෘත්තීයවේදීන් විශාල පිරිසකට රුකියා අහිමිවීම එදාට වඩා අනාගතයට ලොකු හිඩැසක් ඉතිරි කරනවා. ඉස්සර කන්තෝරුවල කාර්යාල ක්‍රම අකුරට පිළිපැද්දා‍. අදටත් ඒ ක්‍රම අනුගමනය කරනවානම් කිසිම ගැටලුවක්, ප්‍රමාදයක්, අකාර්යක්ෂමතාවක් වෙන්නේ නෑ.” 

1968දී ඉඩම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ලිපිකරු තනතුරින් රාජ්‍ය සේවයේ අත්පොත් තබා අමාත්‍යංශ ලේකම් දක්වා රාජ්‍ය පරිපාලනයේ දශක 30ක අත්දැකීම් ඇසුරෙන් ගුණසේකර මහතා ඔහුගේ මතක පොත එසේ දිගහැරියේය. 

මහජනතාවට ඇහුම්කන් නොදෙන රාජ්‍ය සේවයක් මොකටද? රාජ්‍ය පරිපාලනයේ පළපුරුදු නිලධාරිනියක වන වත්මන් ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.

‍‍“මහජන මුදලින් ඉගෙන ගෙන මහජන මුදලින්ම විශ්‍රාම යනතෙක් මාසික වේතනය ලබාගන්නා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇතැමුන් වර්තමානය වනවිට සහකම්පනයෙන්, සහවේදනයෙන් තොර පිරිසක් බවට පත් වී සිටිනවා. හිමිකම්, අයිතිවාසිකම්, වරප්‍රසාද, අනුග්‍රහ, ප්‍රතිලාභ යන පස්වැදෑරුම් ලබාගන්නා ඒකී වර්තමාන රාජ්‍ය සේවකයන් වගකීම සහ වගවීම පැහැර හරින්නට පුරුදු වී සිටිනවා. ඒ වගේම දක්ෂ, නිර්මාණශීලී වැඩකරන නිලධාරීන්ට හරිහැටි ඇගයීමේ ක්‍රමවේදයක් සැකසී නෑ. මාවතගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක හොඳ ආදර්ශයක් මා දැක තිබෙනවා. ඒක තමයි ඒ ආයතනයට ඇතූළු වන දොරටුව අසල විශාල කණ්ණාඩියක් සවිකර තිබෙනවා. ඒ ආයතනයට ඇතුළු වන සියලු දෙනා තමන්ටම පෙනෙන විදිහට. තමන්ගේ අඩුපාඩුවක් තිබෙනවා නම් එය නිවැරුදි කරගෙන ආයතනයට ඇතුළු වන්නට නිරායාසයෙන් පොළඹවන මෙම පුරුද්ද මගින්‍‍ ආයතනයේ නිලධාරීන්ගේත් ජනතාවගේත් විශාල වෙනසක් කළ හැකි බව මා විශ්වාස කරනවා. මේ ක්‍රමය හරි විදිහකට හදනවනම් අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. රජයේ නිලධාරීන්ගේ වගේම රටේ ජනතාවගේද ආකල්පමය වෙනසක් අවශ්‍ය කාලයක්.”

ලෝකයේ බොහෝ රටවල දුරකතන ආචාරධර්ම සඳහා වෙනමම පාඨමාලා පවා ඇත්තේය. රජයේ කන්තෝරුවල විනය නොසලකන තාක් ජනතාවගේ විනය හදනවා බොරුය. එහෙයින් මහජනතාවට සලකන විනයවත් රාජ්‍ය සේවයක් මතු දිනක හෝ උදාවේවායි පතමු.

I සසංක චලන ගිම්හාන