2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මහ රෑ සීතාට වෙඩි තැබුබේ මරන්නද? පන්නන්නද?

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

අලි කතාබස්වල ඉවරයක් නැත. රට අලංකාර කරන, ජෛව විවිධත්වය හැඩ කරන අලිඇතුන්ට අත්ව තිබෙන්නේ මූසල ඉරණමක් බව පසුගිය සතියේ අපට අසන්නට ලැබුණු පුවත්වලින් පෙනුණි. අඹන්පොළ දී සහ හබරණ දී දුම්රියේ හැපීමෙන් අලි 11 දෙනකු මියගිය අතර, පසුගිය 3දා කැකිරාවේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ සද්දන්තයෙක් අවසන් සුසුම හෙළූ බව වාර්තා විය. ඒ අතර මහියංගනය පෙරහරට ගෙනවිත් පෙරහර නිමවීමෙන් පසුව ගසක බැඳ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තැබීම විශාල ආන්දෝලනයක් ඇති කළේය. වන සතුන් ආරක්ෂා කර ගැනීමට සිටින වනජීවිය විසින් හස්තියකුට වෙඩි තැබීමේ සුලමුල සොයා යන්නට අපි උත්සාහ කළෙමු.

ඓතිහාසික මහියංගන රාජමහා විහාරය හා ශ්‍රී සුමන සමන් මහා දේවාලය ඒකාබද්ධව පවත්වනු ලබන වාර්ෂික පෙරහර සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පැවැත්වේ.  පෙරහර සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් රාශියක් එක්වන අතර මෙවර අලි ඇතුන් 20ක් එක්ව සිටියහ. අවට ප්‍රදේශයේ වන අලින් බහුලව සැරිසැරීම හේතුවෙන් අලින් පළවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපනය කරන ලෙස මහියංගනය විහාරාධිපති හිමියන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ පෙරහර නැරඹීමට පැමිණෙන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සැලසීමටය. එම ඉල්ලීමට අනුව මෙවරත් පෙරහර ආරක්ෂාව සඳහා වනජීවී නිලධාරීන් සමඟ වනජිවියට අනුබද්ධව වල්අලි පළවා හැරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයෝ ද පැමිණ සිටියහ. පසුගිය 30දා පාන්දර 3.00ට එම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ එසේ පැමිණි සිවිල් ආරක්ෂක නිලධාරියකු විසිනි. 

වෙඩි තැබීම සිදුවුණේ සීතා ඇතින්නිය භාරව සිටින ඇත්ගොව්වා අලියා ගැටගැසීමෙන් අනතුරුව ආහාර ගැනීම සඳහා සංඝාවාසයට ගොස් සිටියදීය. සිද්ධිය සැලවීමෙන් පැයකට පමණ පසු එම ස්ථානයට පැමිණි පශු වෛද්‍ය නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර දී තිබේ. ඇතින්නගේ පපුව ප්‍රදේශයේ හෘදය වස්තුවට උඩින් තුවාලයක්ද සිරුරේ තවත් තුවාල හතරක්ද තිබී ඇති බව විමර්ශන නිලධාරීහු පැවසූහ. පොලිසිය පවසන්නේ වෙඩි තැබීම රබර් උණ්ඩ ඇතුළත් වායු රයිෆලයකින් කර ඇති බවය.
සැකකාර සිවිල් ආරක්ෂක සෙබළා අත්අඩංගුවට ගෙන මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔහු ලබන (10 වැනිදා) අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කර ඇති බවත් මහියංගනය පොලිස් ස්ථානාධිපති රොෂාන් විජේරත්න පවසා සිටී.

මේ වනවිට ‍වෙඩි වැදුණු ඇතින්නට ප්‍රතිකාර සිදු කරන අතර, සීතා ඇතින්නට වයස අවුරුදු 47 කි. මෙම ඇතින්න, කදිර දිව්‍ය රාජ චිත්‍රපටයේද රඟපෑමෙන් දායකත්වය ලබා දී තිබෙන අතර මීට පෙර ගින්දරී, දුටුගැමුණු, වැඩබැරි ටාසන් ආදී චිත්‍රපට ගණනාවකට ද සිය රංගන දායකත්වය ලබාදුන් හස්තියෙකි.    

ගසක බැඳ සිටි අලියකුට වෙඩි තැබුවේ ඇයිද යන්න පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහකට ලක්විය. මේ ගැන හීලෑ අලි හිමියන් මෙන්ම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු ද අදහස් දැක්වූහ. සමහරු පැවසුවේ අලියා ඝාතනය කිරීම සඳහා හිතාමතාම වෙඩි තැබූ බවයි. දින කිහිපයක් යනතුරු කිසිම වනජීවී පශු වෛද්‍යවරයෙක් අලියා පරීක්ෂා කිරීමට නොපැමිණි බවද අපට දැනගැනීමට ලැබුණි. පසුව සීතා ඇතින්න නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයා වන තරිඳු විජේකෝන් පරීක්ෂා කර තිබේ. එහිදී ඔහු විසින් ඇතින්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා දී තිබේ. පපුව ප්‍රදේශයේ හෘද වස්තුව ආශ්‍රිතව වැදී තිබෙන වෙඩි ප්‍රහාර හොඳ නැති බවත් මෙම වෙඩි තැබීම අලියා පැන්නීමට නොව මැරීමේ අදහසින් තිබ්බාද යන්න සැක බවත් පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල පවසා තිබුණි. රබර් උණ්ඩද ජීව උණ්ඩද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඇතින්නගේ ශරීරය තුළ පවතින උණ්ඩ පිටතට ගැනීමෙන් පසු යමක් ප්‍රකාශ කළ හැකි බවත් ඔහු මාධ්‍යවලට පැවසුවේය. 

ඇතින්නට ‌වනජීවි නිලධාරියකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි සඳහන් වන්නේ වනජීවි නිලධාරීන් විසින් වනඅලි පළවා හැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමකදී සීතා ඇතින්න තුවාල ලබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයේ සඳහන්ය. 
මේ ගැන අදහස් දැනගැනීමට අප වනජිවී නියාමකයන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලකට කතා කළෙමු: 

''මෙතනට වනජීවී නිලධාරින් යොදවා තිබෙන්නේ පෙරහර නැරඹීමට පැමිණෙන ප්‍රජාව ආරක්ෂා කිරීමටයි. පෙරහර අවසන් වූ පසුව මේ අලියා බැඳ තබා තිබෙන්නේ මහවැලිය හරහා අලි ගමට එන අලිමංකඩේ. සාමාන්‍යයෙන් අලි බඳින්නේ විහාරයේ අලි පන්තිය බඳින තැනනේ. වෙනදා මෙතන අලි බඳින්නෙ නෑ. ඇතින්නක් මෙසේ අලිමංකඩේ බැඳලා තිබුණේ. මේ භූමියත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණයට යටත් ගංගා රක්ෂිතයේ කොටසක්. රාත්‍රියට ඇතින්න බැඳ සිටි බව නොපෙනීම නිසා ආරක්ෂාව උදෙසා රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තබා තිබෙනවා. ඇත්ගොව්වාගේ නොසැලකිල්ල තමයි මෙයට බලපා තිබෙන්නේ. එයා අලියා අසල සිට නැහැ. 

ඇතින්නගේ සිරුර අභ්‍යන්තර ඡායාරුප ලබාගැනීමට සුදුසු එක්ස් කිරණ යන්ත්‍රයක් පේරාදෙණියේ නොමැති නිසා ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සතු එක්ස් කිරණ යන්ත්‍රය උපයෝගි කරගත් අතර පශු වෛද්‍ය විශේෂඥවරු විසින්‌ සීතා ඇතින්නගේ ස්කෑන්‌ සහ එක්ස්‌-රේ පරීක්ෂණ කිහිපයක්‌ සිදු කළහ. එහිදී හෙළි වී ඇත්තේ යම්කිසි  උණ්ඩ 8ක්‌ සීතා ඇතින්නගේ ශරීරය තුළ තිබෙන බවයි. ඒවා රබර් උණ්ඩ ද යකඩ මූනිස්සම් ද යන්න පැවසීමට නම් පිටතට ගත යුතු වේ. මෙම උණ්ඩ හෘදයවස්තුව සහ පෙනහළු පසාරු කරගෙන ගමන්‌ කර නොමැති බවත් එසේ වූවා නම්‌ ඇතින්නගේ තත්ත්වය මීට වඞා බරපතළ වන බවත් එම විශේෂඥවරු පවසා සිටිති. පසුව එක් ස්ථානයකින් පශු වෛද්‍යවරු උණ්ඩ කොටස් ලබාගත් අතර එහිදී යකඩ කුඩු සහිත මූනිස්සමක් බව හෙලිවිය.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ නිර්දේශය අනුව මේ වන විට ඇතින්න සඳහා විශේෂ ලී අට්ටාලයක් නිර්මාණය කර ඒ තුළ ගාල් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටී. 

හීලෑ අලිඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්නත් වෙඩි වැදුණු ඇතින්න පරික්ෂා කිරීමට ගියේය. මේ ඔහු ඒ ගැන අපට පැවසූ අන්දමයි: 

''පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු ඇතින්නට ප්‍රතිකාර කරනවා. එක්ස්රේ ඡායාරූපවලින් ශරීරය ඇතුළේ යම්කිසි උණ්ඩ කිහිපයක් තිබෙන බව සොයාගත්තා. මේවා සිරුර ඇතුළේ පැවතීම නිසා තුවාල වී පැසවනවාද යන්න වෛද්‍යවරුන්ට දැන්ම කියන්න බෑ. ඒකට ටික කලක් ගතවෙනවා. ලංකාවේ හීලෑ අලිඇතුන් 94 දෙනයි ඉන්නේ. පින්නවල සහ දෙහිවල සත්තු වත්තේ ඉන්නෙ අර්ධ හීලෑ අලි. අපි මේ සිටින හීලෑ අලි සංඛ්‍යාව රුකබලා ගත යුතුයි. අපි පොලිස්පතිවරයාගෙනුත් ඉල්ලීමක් කර තිබෙනවා මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසට.

හීලෑ අලි හිමිකරුවන් අපට පවසා තිබෙනවා, පෙරහරවලට අලි යවන්න බයයි කියලා. නිර්වින්දන වෛද්‍යවරු කණ්ඩායමක් අලි සහභාගි වන පෙරහරවලට එනවා. නමුත් වනජීවී පශු වෛද්‍යවරු හීලෑ අලින්ගේ ඉතිහාසය දන්නෙ නෑ. හදිසියකදී ඔවුන් සතා ගැන නොදන්නාකම නිසා නිර්වින්දන මාත්‍රාව වැඩිකර දුන්නොත් එහෙම ඒක අලියාට හානියක්. මේ නිසා අපි ඉල්ලීමක් කරනවා පේරාදෙණියේ පශු වෛද්‍යවරු පෙරහරවලට එකතු කර ගන්න කියලා. ඔවුන් හීලෑ අලින්ගේ ඉතිහාසය දන්නවා. අලියගෙ මද කිපෙන කාලය පවා පේරාදෙණියේ වෛද්‍යවරු දන්නවා. ඉදිරියේ දී පෙරහරවලට සහභාගි වන අලි ඇතුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා'' 

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි