දැන් එළඹ තිබෙන්නේ සිරිපා වන්දනාවේ අවාරයයි. වන්දනා කාලයේ සැලසෙන පහසුකම් අවාරයේ සංචාරය කරන නරඹන්නන්ට හිමිවන්නේ නැත. සිරිපා මාර්ගවල විදුලිය පවා විසන්ධි කර තිබේ. නමුත් මෑත අතීතයේ සිට අවාරයේ මහ වැසි මැද සිරිපා මළුවට පිවිසීම දේශීය තරුණ සංචාරකයන් අතර ජනප්‍රිය වූ අතර, විදේශීය සංචාරකයෝද සැලකිය යුතු සංඛ්‍යාවක් අවාරයේ සිරිපා වන්දනා කරති. මේ සඳහා කිසිදු බලපත්‍රයක් ලබාගත යුතු නොවූ අතර මෑතක සිට අවසර ලබාගැනීම පමණක් ප්‍රමාණවත් විය. නමුත් පසුගිය ඔක්තෝබර් 4දා සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවාරයේ සිරිපා කරුණා කරන පිරිස්වලින් මුදල් අයකිරීම ආරම්භ කෙරුණි. ඒ හැටන් සහ රත්නපුර මාර්ගවලින් සිරිපා කරුණා කරන අයගෙනි.
සමනළ අඩවි අභය භුමියට අයත් සිරිපා අඩවියේ පාලනය භාරව ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. හෙක්ටයාර් 22380ක විශාලත්වයකින් යුත් මෙම අභය භූමිය ප්‍රකාශයට පත් කළේ 1940 ඔක්තෝබර් 25දාය. වර්ෂ 2010 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කෙරිණි. මෙසේ පූජනීය අතින් ඉහළ එසේම පාරිසරිකව ඉමහත් වැදගත් සිරිපා කන්ද තරණය කරන සංචාරකයන්ගෙන් මුදලක් අයකිරීම ගැන විශාල විරෝධයක් මතුවිය. මුලින්ම දෙබරෙට ගල් ගැසුවේ ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ වෙති.
''මේක අසාධාරණ ක්‍රියාවක්. රජ කාලයේ සිට සිරිපා වන්දනාවට බැතිමතුන් පැමිණියා. ඒ කවදාවත් මුදල් අයකර ගෙන නෑ. මගෙන් අවසර ගෙන භුතානයේ සිට පැමිණි සංචාරක පිරිසකගෙනුත් පසුගිය 5දා මුදල් අරගෙන ප්‍රවේශ පත්‍ර ලබාදිලා. හැටන් සහ රත්නපුර පාරවල්වල පියගැටපෙළ අලුත්වැඩියා කිරීමටත් පසුගිය කාලෙ අපි කටයුතු කළා. වන්දනාකරුවන්ට යටිතල පහසුකම් ලබාදුන්නා. ඒ කිසිවකට සහයෝගය නොදක්වා තමයි වනජීවීය මුදල් අයකිරීම පටන්ගෙන තිබෙන්නේ.'' උන්වහන්සේ මාධ්‍යයට පවසා සිටියහ.
දේශීය සංචාරකයෙක් සඳහා රුපියල් 40ක්ද ඊට අමතරව දස දෙනකුගෙන් යුත් කණ්ඩායමකගෙන් රුපියල් දහසක බලපත්‍ර ගාස්තුවක්ද අය කෙරේ. වැඩිවන එක් පුද්ගලයකුගෙන් රුපියල් 40ට අමතරව 100 බැගින්ද බලපත්‍ර ගාස්තුවක් අය කෙරෙන අතර විදේශීය සංචාරකයකුගෙන් අයකරන්නේ ඩොලර් 5කි. සාක් රටවල සංචාරකයකුගෙන් අයකර ගන්නා ගාස්තුව ඩොලර් 4කි. එසේ මුදල් අයකරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2022 වසරේ සිරිපා රක්ෂිත වනාන්තරයට අවාරයේ පිවිසෙන සංචාරකයන්ගෙන් මුදල් අයකර ගැනීම ගැන නිකුත් කළ ගැසට් පත්‍රයකට අනුවය.
පසුගියදා මෙසේ දෙස් විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජීවී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්විණි. මහා සංඝරත්නය සහ නල්ලතන්නිය අවට ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා විදෙස් සංචාරකයන් පිරිසක්ද එක්ව සිටියහ.
විරෝධතාකරුවන් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත පෙරහරකින් ගොස් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූහ. විරෝධතාකරුවෝ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත භාරදිම සඳහා එම කාර්යාලය වෙත සංදේශයක්ද භාරදුන්හ.
සමනළ කන්ද රසික එකමුතුව නම් ෆේස්බුක් සමූහය මගින් මේ ගැන මත විමසුමක් පවත්වන ලද අතර එහිදී සියයට 71ක් පවසා තිබුණේ අවාරේ මුදල් අයකිරීම නොකළ යුතු බවයි.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවැති විශේෂ රුස්වීමකදී බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසා සිටියේ මේ රටේ වැඩිම කාලයක් වන්දනා කළ හැකි එකම පූජනීය ස්ථානය ගෞතම ශ්‍රීපාදස්ථානය බවත්, ශ්‍රීපාද අවාරයේදී හැටන් මාර්ගය ඔස්සේ දිවා කාලයේ පමණක් ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට වන්දනාකරුවකුට අවශ්‍ය නම් ඒ සඳහා නල්ලතන්නිය පොලිසියෙන් ලියාපදිංචි වී පරිසරය රුක ගනිමින් ශ්‍රීපාදස්ථානය කරුණා කරන ලෙසත් හැකිතාක් දුරට අවාරයේදී ශ්‍රීපාදය කරුණා නොකරන ලෙසත් ය. ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් තමන් ඇතුළු ඒ සඳහා පත් කර ඇති කමිටුව දැනුවත් කර සිදු කරන ලෙසත්, එසේ දැනුවත් කිරීමකින් තොරව ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් කිසිදු කටයුත්තක් සිද කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ එහිදී පැවසූහ.
මෙසේ විරෝධයට තුඩුදී ඇති අවාරයේ ටිකට් නිකුත් කිරීම ගැන අප විමසුවේ සමස්ත ලංකා වනජීවී නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලකගෙනි:
''ශ්‍රීපාද අභය භූමියට අයත් වනාන්තරයේ තමයි ශ්‍රීපාදය පිහිටා තිබෙන්නේ. අවාරෙට මේ අභය භුමි කලාපයට ඇතුළු වන්නේ ශ්‍රීපාදය වන්දනා කිරීමට නොව මෙහි ස්වභාවික සුන්දරත්වය විඳ ගැනීමටයි. පසුගිය කාලයේ විශාල වශයෙන් අවාරයේ සමනළ කන්දට එන්න පටන් ගත්තා. ඒවා නිසි ලෙස නියාමනයක් වුණේ නෑ. එසේ පැමිණෙන සමහරු දුර්ලභ ආවේණික මල් පැළ, ශාක කොටස් අරගෙන ගියා. මේක වනාන්තරයට හානියක්. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවාරයේ ශ්‍රීපාද අඩවියට පිවිසෙන සංචාරකයන්ගෙන් බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කළේ එසේ පැමිණෙන පිරිස් නියාමනය කිරිමටයි. අපි බලපත්‍රයක් නිකුත් කරන විට පැමිණෙන පිරිසගේ නම් අප සතුව පවතිනවා. එවිට සංචාරකයා දන්නවා ඔහු ලියාපදිංචි වී ඇති බව. එවිට පරිසරයට විනාශකාරී ක්‍රියා සිදුකිරීමට මැලිවෙනවා. අපි රජයේ ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕනෑ. වෘත්තිය සමිතියක් විදිහට මේ තීරණයේ වරදක් අපි දකින්නේ නැහැ. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් පහක් අයකළා කියලා ඔහුට ගැටලුවක් වන්නේ නැහැ. වෙනත් රටවල සොබාදහම නොමිලේ විඳ ගැනීමට බැහැ. මෙසේ එකතු වන මුදල් රජයේ පොදු අරමුදලටයි බාරවන්නේ. ඉදිරියේදී අපි රටේ සංචාරක පහසුකම් තවත් වැඩිදියුණු කරනවා. එවිට දේශීය සහ විදේශීය සංචාරකයන් තව තවත් සුන්දර තැන් නැරඹීමට පැමිණේවි.''
උඳුවප් පොහොය දින සිට ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා ශ්‍රී පාද වන්දනා සමය වේ. ඉතිරි මාස හතක කාලය වන්දනාකරුවන්ගෙන් හිස් කලාපයක් වූ ශ්‍රීපාදය අවට රක්ෂිතය වන සතුන්ගේ රජ දහනක් මෙන්ම මහ වැසිවලින් තෙමෙන නිතර අකුණු සැර පතිත වන වනාන්තරයක් බවට පත්වේ. අවාරයේ දී සමනළ කන්ද තරණය කරන පිරිස් බොහෝය. කලක පටන් විදේශීය සංචාරකයෝ අවාරයේ සිරිපා අඩවියේ සොබා සුන්දරත්වය විඳ ගැනීමට පැමිණියහ. මෑත අතීතයේ සිට සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමඟ අවාරයේ රුල්ලට සිරිපා නගින සංඛ්‍යාව අධික වී තිබේ. සංචාරක මඟ පෙන්වන්නන් පවසන අයුරින් අවාරයේදී වැඩිපුරම ශ්‍රීපාදය නගින්නේ යුරෝපීය ජාතිකයෝ වෙති. ඒ අතරින් බහුතරයක් ජර්මන් ජාතිකයින්ය. අවශ්‍ය සියලු දෑ සහිත ගමන් මළු කරේ එල්ලාගෙන විදේශීය සංචාරකයින් මධ්‍යම රාත්‍රී 12ට හෝ අලුයම එකට පමණ නල්ලතන්නියෙන් හැටන් පාර ඔස්සේ ශ්‍රීපාදය තරණය කරන්නේ ඉර සේවය දැක බලා ගෙන ඡායාරූප ගැනීමටය. අපේ තරුණයන් බහුතරයක් අවාරේ සමනළ කන්ද තරණය කරන්නේ ෆේස්බුක්වලට පින්තූර එක්කිරීමට හෝ යූටියුබ් වීඩියෝ තැනීමටය. ඔවුන් අතරින් සමහරු පරිසරය ගැන උනන්දුවක් නොදක්වන බව ෆෙස්බුක්හි සංසරණය වන කැලේ මල් කැඩූ, පැළෑටි එකතු කරගත් පින්තූරවලින්ම පෙනේ.
අපට නම් පේන්නේ සමනළ අඩවි සංචාරකයන්ගෙන් මුදල් එකතු කර ගැනීමට තීරණය කළේ ලොකු සැලසුමකට අනුව නොව ඒ අයගෙන්ද කීයක් හරි කඩාවඩා ගැනීමට බවය. එය මහජනතාව පීඩාවට පත්කරන රජයේ බදු ගැසීමේ ප්‍රතිපත්තියට දෙවැනි නැත. මෙය එක් අතකින් සමනළ කන්දේ සංචාරකයන්ගෙන් අය කරන බද්දකි.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ අන්තර්ජාලයෙනි.