බස්නාහිර හා දකුණ දෙපළාතම පාතාලයට නම් දරා තිබේ. වෙඩි තැබීම් හෝ වෙනක් ක්‍රමයක ඝාතන නිසැකවම ම්ලේච්ඡය. ගතවූ මාස 9 ක කාලයේදී වෙඩි තැබීම් සිද්ධි 95 ක් ඉක්මවා වාර්තා වී තිබේ. මේ අතර දකුණේ පාතාල ගැටුම් මැද පොලිස් නිලධාරියකු ඝාතනය වූයේ පළමු වතාවටය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනය වූයේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාය. එම වෙඩි ප්‍රහාරයටම මැදි වූ බාලේන්ද්‍රසීහ මහතාගේ සොහොයුරා තුවාල ලබා තවමත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඉකුත් 9 වැනිදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහ මහතා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට මුල් වී ක්‍රියා කළ කෙනෙකි.
ඝාතනයට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා රත්ගම දෙවිණිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහු රාජකාරිය අතරතුර සිදුකළා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවී සිට දින කිහිපයකට ඉහතදී නිදහස ලබා පැමිණි අයෙකි. එවැනි පසුබිමක තවදුරටත් විභාග වෙමින් පැවති නඩුව ඉකුත් 9 වැනිදා ද විභාගයට ගනු ලැබීය. ඊට පෙනී සිටීම සඳහා පොලිස් පරීක්ෂකවරයා බලපිටිය අධිකරණයට ගොස් නැවත සිය නිවෙස බලා එමින් සිටියේය. ඒ අතරමගදී නිවෙසට ආසන්න දුරකදී ඔහුගේ සොහොයුරකු සමඟ කතාබහක නිරත වී සිට ඇතැයි පැවසේ. එම අවස්ථාවේ යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් අයියා මලෝ දෙපලට වෙඩි තබා පලාගොස් ඇතැයි කියති.
තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ සොහොයුරන් දෙදෙනා රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණු අතර පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරු සනාථ කළහ. ඔහුගේ සොහොයුරු වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
මියගිය පොලිස් පරීක්ෂකවරයා කලකට ඉහතදී තිලකපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති වශයෙන් රාජකාරියේ නිරතව සිටියේය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවකුට එරෙහිව පවරා තිබූ නඩුවක සාක්ෂිකරුවකුට තර්ජනය කළ බවට චෝදනා නගා ඇතැයි කියති. එවිට ඔහුට එරෙහිව මානව හිමිකම නඩුවක් පවරා තිබුණු අතර වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනාව ලක් කරමින් නඩුව පවරා තිබිණි. එම චෝදනාවට වරදකරු වූ බාලේන්ද්‍රසීහ මහතාගේ වැඩ තහනම් කොට තිබුණු අතර ඔහු වසර එකහමාරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතකොට සිටියේය.
වෙඩි වැදී මියගිය පොලිස් පරීක්ෂකවරයා ඇල්පිටිය කොට්ඨාස නොවිසඳුණු අපරාධ අංශයේ ස්ථානාධිපති මෙන්ම අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති වශයෙන්ද කටයුතු කළේය. මෙවැනි පොලිස් විශේෂ විමර්ශන අංශවලද සේවය කළ පොලිස් පරීකෂක බාලේන්ද්‍රසීහ මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට හා විශේෂයෙන් දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා ප්‍රසිද්ධියේම කටයුතු කළ අයෙකි. පාතාල අපරාධකරුවන්ට එරෙහිවත් ඔවුන් සිදු කළ අපරාධ විමර්ශනය කොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා සිද්ධියේ සුලමුල සොයා ගැනීමටත් තදින් නීතිය ක්‍රියාත්මක කළ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතා සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පාතාල නායකයන් හා අනුගාමිකයන් දැඩි වෛරයකින් පසුවී ඇතැයි පැවසේ. ඒ බව නොයෙක් අවස්ථාවලදී පොලිසියට අනාවරණය වී තිබුණු අතර ඔහු ඝාතනය කිරීම සඳහා කළ වෙඩි තැබීමද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.
මේ අනුව පොලිස් පරීක්ෂකවරයාගේ ඝාතනය පසුපස කරන්දෙණිය සුද්දාගේ කල්ලිය සිටින බවට පොලිසිය සැක කරයි. පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතා දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල ප්‍රබලයන් මර්දනය සඳහා ප්‍රසිද්ධියේම පෙනී සිටි නිලධාරියකු බැවින් පාතාලයේ නායකයන් හා ගෝලබාලයන් මොහු හා දැඩි වෛරයකින් පසු වී ඇතැයි කියති. හික්කඩුව ප්‍රදේශයේ පාතාල නායකයකු වී සිටි කුඩු ලැසී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මේ පොලිස් පරීක්ෂකවරයා විසිනි. පොලිස් පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත් කුඩු ලැසී අදටත් බන්ධනාගාර ගතව සිටින්නේ බාලේන්ද්‍රසීහ මහතාගේ දක්ෂතාවය හේතුවෙනි.
රත්ගම දෙවිණිගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය පොලිස් පරීක්ෂකවරයාට ටී56 වර්ගයේ ගිනිඅවියකින් ප්‍රහාරය එල්ල කොට ඇති බවත් තුවාල ලැබූ සොහොයුරා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසුවේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාට පොඩි ලැසී සහ කරන්දෙණිය සුද්දා නැමැති පාතාල අපරාධකරුවන්ගෙන් දැඩි ලෙස ජීවිත තර්ජන එල්ල වී තිබූ බවය. ඒ පාතාල කල්ලිවල කුඩු ජාවාරම් හා අවි ආයුධ වටලා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කිරීමට බාලේන්ද්‍රසීහ දක්ෂතාව දැක්වූ නිසා බව කියැවේ. මේ අතර වාර්තා වන්නේ පොඩි ලැසී නැමැති සංවිධානාත්මක අපරාධකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුරද පොලිස් පරීක්ෂකවරයාට ජීවිත තර්ජන සිදු කර ඇති බවකි.
කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ කරන්දෙණියේ සුද්දා නැමැත්තාය. මීතියාගොඩ ප්‍රදේශයේ හිස ඔසවමින් තිබූ පාතාල කල්ලි අත්අඩංගුවට ගනිමින් සංවිධානාත්මක අපරාධ හා එම ක්‍රියාකාරකම් මර්දනය කිරීමට පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතා දායකත්වය ලබා දී තිබිණි.
රත්ගම විදුර, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී, කරන්දෙණියේ සුද්දා, පොඩි ලැසී යන අපරාධ කල්ලිවලට එරෙහිව බාලේන්ද්‍රසීහ මහතා නීතිය ක්‍රියාත්මක කර තිබිණි. කරන්දෙණියේ සුද්දා මොහුට ජීවිත තර්ජන එල්ලකොට ඇත්තේ 2011 වසර සිටය. මොවුන් ඩුබායි වෙත ගිය පසුව එහි සිට දුරකතන මගින් ද මරණීය තර්ජන සිදු කර ඇතැයි කියැවේ. මීට වසර තුනකට පමණ ඉහතදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක ගැටුමක් හටගෙන තිබුණු අතර පොලිස් හදිසි ඇමතුම් අංශය ලද පණිවුඩයක් අනුව එහි ගොස් විමර්ශන සිදු කර තිබුණේ බාලේන්ද්‍රසීහ මහතා ඇතුළු පිරිසකි. එහිදී පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති අතර පොලිසියද පහර දී ඇතැයි පැවසේ.
පොලිස් පරීක්ෂකවරයාගේ ඝාතනය මෙන්ම මෑත කාලයේ අම්බලන්ගොඩ, රත්ගම, ගාල්ල ඇතුළු ප්‍රදේශවල විමර්ශන කිරීමේදී එම ඝාතන සඳහා භාවිත කළ ටී56 ගිනිඅවිය ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බල සේනා මූලස්ථානයෙන් අතුරුදන් වූ ගිනිඅවිය බවට තහවුරු කරගෙන ඇත. එම ගිනිඅවිය හමුදා නිලධාරින්ගේ අවමංගල උත්සව උත්තමාචාර හා වෙනත් උත්තමාචාර සඳහා භාවිත කළ එකක් බව කියැවේ. හමුදා කඳවුරකින් අස්ථානගත වූ ගිනිඅවිය යම් නිලධාරියකු හෝ පිරිසක් එක්ව අස්ථානගත කොට හෝ පාතාලයන් අතට ලබා දී ඇති බවට සැක කෙරේ. ඒ පිළිබඳ සෙවීමට විමර්ශනයක් ද ක්‍රියාත්මකය.
ඇතැම් දේශපාලනඥයන් මෙන්ම සමහර රාජ්‍ය නිලධාරිහු පවා අද කුඩු ජාවාරමුන්ගේ හා සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉත්තන් බවට පත්ව සිටිති. සමාජය එවැනි අවදානම් තැනකට පත්ව තිබියදී ලංකාවේ පාතාලයට හා කුඩු කල්ලිවලට එරෙහිව නොබියව ක්‍රියා කරන පොලිසියේ හා ආරක්ෂක අංශවල නිලධාරීහු ද සේවයේ යෙදෙති. ඔවුන් හමුවේ පවතින දැඩි ජීවිත අවදානම පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීහ මහතාගේ ඝාතනය හරහා දකින්නට ලැබේ. මේ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට වෙහෙසෙන ආරක්ෂක අංශ නිලධාරින්ට බරපතළ අවදානමක් පවතින බවත් එහි භයානක අනතුරු ඇඟවීමක් මේ හරහා දක්වා තිබෙන බවත් පෙන්වා දිය යුතුය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර