2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

වන සංරක්ෂණය නිසා හමස් පෙට්ටියට ගිය කේබල් කාර් වැඩේ!

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

සිරිලක යටත් විජිත යුගයේ වතු පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයෝ වේවැල්තලාව සානුවේ සිට පහළට තේ දලු ගෙන යන්නට කුඩා කේබල් කාර් යොදාගත්හ. ඒ හැරෙන්නට අපේ රටේ ජනතාවට කේබල් කාර් අත්දැකීමක් විඳගැනීම තවමත් සිහිනයකි. මිහිදුම් සළුවෙන් වැසී ගිය පුංචි එංගලන්තය හෙවත් නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතිය යනු මෙරට යෝජිත පළමු කේබල් කාර් ව්‍යාපෘතියයි. එයට අමතරව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා සමනළ වැව ජලාශය ආසන්නයේ පට්ටිපොළ සහ බොරලන්ද අතරත්, ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්දටත්, මහනුවර නගරය හා හන්තාන කඳු මුදුන යා කරමින් අරඹන්නට හැදූ කේබල් කාර් ව්‍යාපෘති හමස් පෙට්ටිවලය. එක්තරා අවස්ථාවක සීගිරියටත් කේබල් කාර් යෙදවීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එයද ආවා ගියෝ සේය. නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතිය වසර ගණනාවක සිට මේ දක්වා තවමත් අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවට මදුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේය. නානුඔය සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 4 ක දුරකට අදියර දෙකක් යටතේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මූලික අත්තිවාරම සැකසීමේ පුරෝගාමී මෙහෙවර සිදුවූයේ නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පෙගම මහතාගේ මැදිහත්වීමෙනි. එහෙත් යම් යම් ගැටලු මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව යටතේ නුවරඑළිය මහ නගර සභාව මෙම කේබල් කාර් ව්‍යාපෘතිය නැවත තනිවම ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඒ සඳහා සාම්පල් පවා ගෙනැවිත් තිබුණද එම උත්සාහයද අසාර්ථක විය. මෙම ව්‍යාපෘතියේ උපත සම්බන්ධයෙන් නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පෙගම මහතා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. 

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියේ පළමුවැනි අදියර ඇත්තේ නානුඔයේ සිට නුවරඑළිය නගරාධිපති නිල නිවාසයට ඉහළින් දිස්වන සිංගල් ට්‍රී කන්ද දක්වාය. සිංගල් ට්‍රී කන්දේ සිට ග්‍රෙගරි වැව දක්වා ව්‍යාපෘතියේ දෙවැනි අදියර සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ වැඩිම දුරක් ඇත්තේ නානුඔයේ සිට සීතාඑළිය රක්ෂිතය නුදුරින් කිකිළියාමාන කන්ද උඩින් නුවරඑළිය සිංගල් ට්‍රී කන්ද දක්වා පැමිණෙන පළමුවැනි අදියර යටතේය. 

එම පළමුවැනි අදියර ක්‍රියාත්මක වනුයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා සීමාවේය. එම කොටසේ වැඩි හරියක් අයිති වන්නේ නුවරඑළිය නගර සභාවට නොව නුවරඑළිය ප්‍රාදේශීය සභාවටය. එහෙයින් මෙම ව්‍යාපෘතිය නුවරඑළිය නගර සභාව සැලසුම් කළද මෙහි වැඩි බරක් ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවටය. ප්‍රාදේශීය සභා සීමාවේ කටයුතුවලට නගර සභාව මැදිහත් නොවෙයි. ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන සිංගල් ට්‍රී කන්දේ සිට ග්‍රෙගරි උද්‍යානය දක්වා ඇති කොටස අයිති වනුයේ නගර සභා සීමාවටය. බලතල ක්‍රියාත්මක කිරීමේදී ආයතනවල ඒකාබද්ධතාවක් නොමැතිවීමේ ගැටලුවත් මෙම ව්‍යාපෘතිය මේ දක්වා අඩපණ වීමට යම් හේතුවක් වී ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් පැවසූයේ මාස 18 කින් අවසන් කිරීමේ අරමුණින් මෙරටට ලබාදුන් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අවසර නොදීම හේතුවෙන් 2018 වසරේ සිට මේ දක්වා තවමත් අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි. 2021 වසරේදී නැවත වතාවක් ස්විඩන් සමාගමක් සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සැලසුම් සැකසුවද එයද තවම ඉටුකර ගැනීමට හැකි වී නැත. 

අහසින් යන කේබල් කාර් ව්‍යාපෘතියකට වන සංරක්ෂණයේ අවසරය මොකටද යන ප්‍රශ්නය සිතට නැගෙයි. නානුඔයේ සිට තේ වතුවලට ඉහළින් පිහිටි සිංගල් ට්‍රී කන්ද සමඟින් පිහිටා ඇත්තේ සීතාඑළිය රක්ෂිතයයි. එය හග්ගල රක්ෂිතය ලෙසද හඳුන්වයි. එය සම්මත වනාන්තර වර්ගීකරණය අනුව දැඩි ස්වභාවික රක්ෂිතයකි. අපේ රටේ දැඩි ස්වභාවික රක්ෂිත ඇත්තේ 3 ක් පමණය. එනම් සීතාඑළිය හෙවත් හග්ගල, රිටිගල සහ යාල බ්ලොක් 2 කොටසක්ය. එසේම සීතාඑළිය රක්ෂිතය නුදුරින් කිකිළියාමාන කන්ද පිහිටා ඇත. ශාන්තිපුර ගම්මානය සහ පොලිස් සන්නිවේදන කුලුන පිහිටා ඇත්තේ මීටර 2240 ක් උස කිකිළියාමාන කන්දේය. කේබල් කාර් ව්‍යාපෘතියේ පළමු අදියරේදී කුලුනු සැකසීම සහ නඩත්තු කටයුතු සඳහා භාවිත කිරීමට සිදුවන්නේ කිකිළියාමාන කන්ද ආශ්‍රිත රක්ෂිතයයි.

මේ සඳහා රක්ෂිත කොටසින් පවරා ගැනීමට ඉල්ලූ  පර්චස් 150 ක ඉඩම් කැබැල්ල නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විරුද්ධ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. එසේම මදුර විතානගේ මන්ත්‍රීවරයා පවසනුයේ තනි නිලධාරියකුගේ විරෝධය හමුවේ රටට ලැබෙන්නට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක ආයෝජනයකට අවසර නොදුන්නද කිකිළියාමාන කන්දේ වනාන්තර ප්‍රදේශ එළි පෙහෙළි කර දුරකතන කුලුනු සවිකර ඇති බව දැකගත හැකි බවයි. 

සීතාඑළිය රක්ෂිතය දැඩි ස්වභාවික රක්ෂිතයක් බැවින් දැඩි ස්වභාවික රක්ෂිතයක කිසිදු මිනිස් ක්‍රියාකාරකමකට කිසිදු අවසරයක් නැත. එසේම 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂන සංශෝධන පනතේ 14.9(අ) වගන්තියට අනුව රක්ෂිත භූමියක මායිමේ සිට සැතපුමක දුරක් ඇතුළත අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය නොමැතිව පෞද්ගලික හෝ රජයේ කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතු බව දක්වා තිබේ. එසේම 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේද විධිවිධාන දක්වා තිබේ. එහෙයින් එය කිකිළියාමාන කඳු රක්ෂිතයටද අදාළ වන්නේය‍. රටේ සංවර්ධන ව්‍යාපෘතිය සමඟ මෙම ගැටලුව ගැටෙන්නේ මෙතැනදීය.

මෙම සිදුවීම් දාමයේදී මතුව ඇත්තේ වැඩිපුරම වටින්නේ කිකිළිද බිත්තරයද වැනි ප්‍රශ්නයකි. රටක සංවර්ධනයට මුල්තැන ලබා දිය යුතු වන්නේය. එහිදී රක්ෂිතය කපා ඩොලර් කුට්ටිය රටට ගන්නවාද? ආයෝජනය අතහැර පරිසරය රකිනවාද? එසේත් නැතිනම් ආයෝජන සැලසුමට යොදාගන්නා මාර්ගය පරිසර හිතකාමී ආකාරයට වෙනස් කරනවාද? යන්න පිළිබඳ රටේ බලධාරීන් නිසි තීරණයකට පැමිණිය යුතුය.  

සාමාන්‍යයෙන් රජයේ නිලධාරියකුට එරෙහිව එල්ල වන චෝදනාව වනුයේ නීතිය නැවීම සහ නීතිය කැඩීමය. අපි එවන් සිදුවීමක් මාධ්‍ය හමුවේ වාර්තා කිරීමේදී එම චෝදනා ලැබූ නිලධාරියා අයත් ආයතනයේ ප්‍රධානියාගෙන් එම සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ආයතනික විනය ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමක් කරමු. එහෙත් අද අසන්නට වී ඇත්තේ නීතිය කැඩීම ගැන නොව නීතිය රුකීම ගැනය. එක් වන නිලධාරියකු තම අභිමතය පරිදි නීතිය රකිමින් රක්ෂිතය ආරක්ෂා කරනවා කියා දේශපාලන පාර්ශ්වයෙන් චෝදනාවක් එල්ල වෙයි. සංවර්ධන ව්‍යාපෘතියට අවසර නොදෙන බවට කරන එම චෝදනාව සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතාගෙන් අපි විමසුවෙමු. 

“නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට කිකිළියාමාන කන්දේ අක්කර 2 ක් එළි කරන්න අවසර ඉල්ලා තිබෙනවා. මේකෙ යම් සීමාවකට කුලුනු ගහගන්න අවසර දී තියෙනවා. ඒත් අක්කර 2 ක් එළි කරන්න අවසර දෙන්න හැකියාවක් නෑ. කේබල් කාර් ව්‍යාපෘතියක් නිසා ගස් කපන්න ඉඩ දෙන්න කොහොමත් බෑ. මෙය එක් නිලධාරියකුගේ තනි තීරණයක් නෙමෙයි. දෙපාර්තමේන්තුවක් විදිහට ගත් ඒකමතික තීරණයක්.” යැයි ද අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය. 

නුවරඑළිය හරිත පෝෂිත කලාපයක් ලෙස පෙනුණද වර්තමානයේ නුවරඑළිය නගරයේ ගස් දක්නට ඇත්තේ ජනාධිපති - අගමැති නිල නිවාස, වික්ටෝරියා උයන, ටෙනිස් කෝඩ්, ග්‍රෙගරි උද්‍යානය ආදී ස්ථාන කිහිපයක පමණකි. විදුලි ජනනයට පවා ජල හිඟය දරුණුවට බලපා තිබෙන වකවානුවක නුවරඑළියේ පානීය ජල ප්‍රශ්නය දරුණුවට තිබේ. ඇතැම් පෙදෙස්වලට වතුර ලැබෙනුයේ දින 2 කට සැරයකි. බගවන්තලාව රෝහලට වතුර ගෙන්වාගනුයේ රෝගීන්ගේ ගෙවල්වලිනි. සමහර දියඇළි ගලන්නේ වැස්සට පමණකි. එවන් ගැටලුකාරී පසුබිමක් තිබෙන ප්‍රදේශයක වනාන්තර එළි පෙහෙළි කිරීම පිළිබඳවද බලධාරීන්ට දෙවරක් සිතන්නට සිදුවෙයි. නුවරඑළියේ යෝජිත සංවර්ධන  ව්‍යාපෘති වන කේබල් කාර් රථ සේවය, තුරඟ තරග මං තීරුව සහ සංගීත රසාස්වාදන වැඩසටහන ආදී වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් දෙස් විදෙස් ඇස් මවිත කරවන්නට එයින් හැකිවන්නේය. අපේ රටට ආයෝජන අවශ්‍යම කාලයක එවැනි ආයෝජන සංශෝධනය කර හෝ ලබාගැනීම මිස ඉවත දැමීම අපි අනුමත නොකරමු. තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සංචාරකයන් ඉලක්ක කරගත් ආයෝජන අප රටට වැඩි වැඩියෙන් අවශ්‍ය කාලයකි. එහෙත් ඒ සඳහා මල නොතලා රොන් ගැනීමට බලධාරීන් දක්ෂ විය යුතුමය. 

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02