මෑත කාලීනව වැඩි වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය පිළිබඳව කතාබහක් ඇතිවූයේ එහි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නොව එම ගුවන් සේවයේ දිගින් දිගටම ඇතිවන ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු කිරීම් පිළිබඳවය.
මෙම ප්‍රමාද වීම් සහ අවලංගු වීම්, ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උපකාර වෙමින් පවතින බව එම ගුවන් සේවයේ සහ ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනාගේ මතය වී තිබේ. එහෙත් ශ්‍රීලන්කන් ගුවන් යානා මෙසේ ප්‍රමාද වීමට මූලිකම හේතුව වී ඇත්තේ එම ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීමයි.
ගුවන් සේවාව සතුව මීට පෙර ගුවන් යානා 29ක් පැවති අතර ඒවායින් 05ක් පමණ තම ලීසිං කාලසීමාව කල් පිරීම නිසා යළිත් ආපසු ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24ක් අවශ්‍ය වී තිබේ. එහෙත් මේ වනවිට ඒ සඳහා සක්‍රිය තත්ත්වයෙන් ගුවන් සේවය සතුව පවතින්නේ ගුවන් යානා 20ක් පමණි. මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණිය සතු ඒ.330 සහ ඒ 320 වර්ගයේ ගුවන් යානා 02ක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මේ වනවිට ශ්‍රී ලන්කන් හැංගර් තුළ රඳවා තිබේ. මීට අමතරව තවත් ඒ.320 neo වර්ගයේ ගුවන් යානා 02ක් එන්ජින් නොමැතිකම නිසා ශ්‍රී ලන්කන් හැංගරය තුළ නවතා තිබේ.
මෙම ඒ.320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා සඳහා ලොව පුරා එන්ජින් හිඟයක් පවතින අතර, මෙම ගුවන් යානා සඳහා අවශ්‍ය එන්ජින් මේ වනවිට ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඒවා ලැබුණු වහාම මෙම ගුවන් යානා වෙත ඒවා සවි කර ධාවනයට එක් කිරීමට නියමිතය. එනිසා මෙසේ ශ්‍රීලන්කන් හැංගරය තුළ ඇති ගුවන් යානා ද යළි සේවය සඳහා එක් වුවහොත් කඩිනමින් මෙම ප්‍රමාද වීම් යම් තරමකින් අවම කරගත හැකිය. එසේම ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම සඳහා එහි සේවක හිඟය ද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් වී තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවන්, ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් වශයෙන් ඍජුවම බලපෑම් එල්ල කළ හැකි සේවක කණ්ඩායම් තුනක් සිටිති.
මෙයින් ගුවන් නියමුවන් 260 ක් පමණ දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව සිටින අතර ඔවුහු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියමයන්, නිර්දේශ සහ පිරිවිතරයන් මත සේවයේ නියැලී සිටිති. ඒ අනුව ඔවුන් මාසයකට ගුවන් පැය 100 ක සේවා කාලයක් සේවයේ නිරත වීමට අවකාශ තිබුණ ද ශ්‍රීලන්කන් ගුවන් සේවා කාලසටහන අනුව ඔවුන් සේවයේ නිරත වන්නේ පැය 60ක් පමණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 10/02 දින පැවති ශ්‍රීලන්කන් ගුවන් සේවය පිළිබඳ සාකච්ඡාවකදී අනාවරණය කළේය. එහෙත් ගුවන් නියමුවන් මාසයකට පැය 100 බැගින් සේවයේ නිරත වුවහොත් ඔවුන්ට වසරකට පැය 1,200ක් සේවයේ නිරත වීමට සිදු වේ. එහෙත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශය වන්නේ වසරකට ගුවන් නියමුවකුට ගුවන් යානා පැදවිය හැකි පැය සීමාව පැය 1,000ක් පමණක් බවය. එනිසා අමාත්‍යවරයා පවසන පරිදි මාසිකව එසේ පැය 100 බැගින් ගුවන් නියමුවන් සේවය කළහොත් ඔවුන්ට වසරකට මාස දෙකක කාලයක් වැටුප් සහිත නිවාඩු ලබා දීමට සිදුවන බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.
එසේම ගුවන් නියමුවන් ඇතුළු සමස්ත ගුවන් යානා කාර්ය මණ්ඩලය එම ගුවන් ගමනේ ගමනාන්තය සමඟ විවේක ගැන්වීම සිදුකෙරෙන අතර, එහිදී පැය ගණන ගැන අවධානය යොමු කිරීමක් සිදු නොකෙරේ. නිදසුනක් ලෙස කටුනායක සිට එංගලන්තය බලා යන ගුවන් යානය එරට හීත්‍රෝ ගුවන් තොටුපොළේ දී නවතා, එහි ගුවන් යානා කාර්යය මණ්ඩලය පැය 48 ක කාලයක් සඳහා විවේක ගැන්වීම සිදු කරන අතර වෙනත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් එම ගුවන් යානය ආපසු කටුනායකට වෙත රැගෙන ඒම සිදු කරනු ලබයි.
ඊට අමතරව ගුවන් යානා ඉංජිනේරුවන් 160 දෙනකු පමණ අවශ්‍ය වුවද මේ පිරිස අතරින් මේ වනවිට 35 දෙනෙක් පමණ වෙනත් විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ගොස් සිටිති. එසේම ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් 200ක් පමණ සිය දෛනික මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වුවද ඒ අතරින් 40 දෙනෙක් පමණ මේ වනවිට වෙනත් විදේශීය ගුවන් සමාගම් වෙත සේවය සඳහා ගොස් සිටිති. එයට හේතු වී ඇත්තේ රට තුළ පවතින දැඩි උද්ධමනකාරී තත්ත්වය සහ මෙම සේවකයන්ගේ වැටුප්වලින් උපයන විට බදු මුදල් කපා ගැනීමයි.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ සියලුම රැකියා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන අතර, එනිසා ඒවායේ නිරත සේවක පිරිස ඔවුන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා හා වරප්‍රසාද පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරති.
මේ ආකාරයෙන් පීඩා විඳින ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම පුරප්පාඩු පිරවීම සඳහා පසුගියදා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ නව සේවකයන් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළ කර තිබූ අතර එහි අයැදුම් කළ හැකි සේවකයන්ගේ වයස් සීමාව අවුරුදු 50 දක්වා ඉහළ නංවා තිබීම මෙම සේවක ගැටලුවේ ගැඹුර පැහැදිලි කරන කදිම හරස් කැපුමකි. එසේම මෙම වසර අවසානයේ තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා කිහිපයක් සිය ලීසිං කාලය අවසන් වීමෙන් පසු ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙත භාර දීමට නියමිතය. එනිසා මෙසේ ශ්‍රී ලන්කන් හැංගර් තුළ පවතින ගුවන් යානා සිය නඩත්තු කටයුතු අවසන් කර යළි සේවය සඳහා එක් වුවද, යළිත් මෙම වසර අවසානයේ ගුවන් යානා හිඟයකට මුහුණ දීමට නියමිතය.
මේ තත්ත්වයට පිළියමක් ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් නවතම පුළුල් බඳ සහිත ඒ.350 වර්ගයේ ගුවන් යානා 05ක් ලීසිං පදනම මත ලබාගැනීමට ඇණවුම් කර තිබුණ ද පසුව බලයට පැමිණි යහපාලන රජය විසින් එම ගිවිසුම අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි. මේ නිසා ශ්‍රී ලංකාවට විශාල දඩ මුදලක් ගෙවීමට ද සිදු විය.
ඊට පසුව මෑතකදී මෙම ගුවන් යානා හිඟයට පිළියමක් ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය තම අරමුදල් යොදවා නවතම ගුවන් යානා 11 ක් ලීසිං පදනම මත ලබාගැනීමට සැලසුම් කළ ද රජය සහ භාණ්ඩාගාරය ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් මේ වනවිට මෙසේ නව ගුවන් යානා ලබාගැනීමට රජය විසින් අවසර ලබා දී තිබුණ ද, ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කර තිබීම සහ ණය ගෙවීම මේ වනතුරු පැහැර හැර ඇති නිසා ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම ශ්‍රීලන්කන් ගුවන් සේවය වෙත ලීසිං පදනම මත ගුවන් යානා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව මෙම ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගැනීමට හැකි වී තිබේ.
මේ අතර මෙම අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ඉකුත් 10/02 දින කොළඹ සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා විදේශීය ගුවන් සේවා සමාගම් රාශියක් ද පැමිණ සහභාගී වී සිටියහ. මෙම සාකච්ඡාව ශ්‍රීලන්කන් ගුවන් සේවය පිළිබඳව වුවද ඒ සඳහා විදේශීය ගුවන් සේවා සමාගම් සහභාගී වී සිටීම සැක සහිත වූයේ, එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීම්වලට සහ කාර්මික දෝෂවලට ලක්වන බැවින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වෙනත් විදේශීය ගුවන් සේවා මගින් ගුවන් ගමන් පහසුකම් සලසා ගන්නා ලෙස දැනුවත් වීමක් කළ බව ප්‍රසිද්ධ පුවත්පත්වල පළ වී තිබූ බැවිනි.
මේ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කිරීම සඳහා ගුවන් සේවා ප්‍රඥප්තියේ සඳහන් 05 වැනි වගන්තිය, එනම් අයිතිය සම්බන්ධ නිදහස (05th Freedom Right) වගන්තිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලන්කන් වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ. ඒ මගින් විදේශීය ගුවන් සේවාවන්ට ශ්‍රී ලාංකික ගුවන් මගීන් ප්‍රවාහනය කිරීමේ නීත්‍යානුකූල අයිතිය හිමිවන බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිති.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව විදේශීය විධායක නිලධාරිවරයකු පත් කර ඇති අතර, එළඹෙන 2024 වසරේ ජනවාරි මස මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇති බව අමාත්‍යවරයා ප්‍රසිද්ධ ජනමාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රීලන්කන් වෘත්තීය සමිති තමන් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී නොමැති අතර තමන් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් පවා සිදු කර නොමැති බව අවධාරණය කරන්නට වූයේ රජය සහ අමාත්‍යවරයා දිගින් දිගටම ශ්‍රී ලන්කන් වෘත්තීය සමිති එවැනි ක්‍රියාමාර්ගයක නිරත වන බවට චෝදනා එල්ල වීමත් සමඟය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ ලාභ උපයා ඇති බව අමාත්‍යවරයා පසුගියදා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණි. එසේම පසුගිය වසර 03 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය රජයේ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සිය මෙහෙයුම් කටයුතු කරගෙන ගොස් ඇති බව එම ගුවන් සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
I කටුනායක ටී.කේ.ජී. කපිල