2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

කාන්තා පොම්පකරුවන් පමණයි!

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

නාරාහේන්පිට කිරිමණ්ඩල පාරේ අලුතින් ආරම්භ කළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල සුවිශේෂී පිරවුම්හලකි. මෙම වසරේ සැප්තැම්බර් විසිඑක්වෙනිදා ආරම්භ කළ මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙසින් සේවය කරන්නේ කාන්තාවන් පමණි. විදෙස් රටවල්වල මෙය සාමාන්‍ය තත්ත්වයක්ම වුවත් අපේ රටේ මෙම සේවාව වැඩිවශයෙන් ලබාදෙනු ලබන්නේ පිරිමි පාර්ශ්වය විසිනි. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලද කාන්තාවන් සේවය කළද පොම්පකරුවන් සියලුදෙනා කාන්තාවන් ලෙසින් සේවය කරනු ලබන ඉන්ධන පිරවුම්හල් ලංකාවේ ඇත්තේ ඉතාමත් අතලොස්සක් පමණි.

''නාරාහේන්පිට ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක්‍රියාකාරිනියන් ලෙසින් කාන්තාවන් දොළොස් දෙනකු සේවය කරනවා. මෙම සංකල්පය අප ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අදහසක්. මම ඉන්ධන පිරවුම් හල ආරම්භ කරන්නට පෙර අපි ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළකළා. ''ඉන්ධන පොම්පකාරියන් අවශ්‍යයි'' යනුවෙන් සඳහන් කරපු දැන්වීමට ඉතා හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඔවුන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබුණා. හැත්තෑපහකට වඩා වැඩි පිරිසකගෙන් අපිට අයදුම්පත් ලැබුණා. ඔවුන්ගෙන් අපි සුදුසුකම් ඇති අයට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. එයින් අපි කාන්තාවන් දොළොස් දෙනෙක් රැකියාවට තෝරාගත්තා.'' යැයි New Logistics ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ඉෂාර බණ්ඩාර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ලැබුණු අයදුම්පත්‍රවලට ඔවුන්ගේ සුදුසුකම්වලට අනුව රැකියාවක් ලබාදුන්නා. මෙහිදී මූලික සුදුසුකම් ලෙසින් ආයතනය සලකා බලන ලද්දේ අයැදුම්කාරියන් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්විය යුතු අතර මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනා රැකියාවක් හෙයින් ගණිත විෂය සම්බන්ධයෙන් දැනුමක්ද තිබීමය. මීට අමතරව සුපිරි වෙළෙඳසල්වල සේවයේ නිරතව සිටි අයට එය අමතර සුදුසුකමක් ලෙසින් සලකා ඇත. මෙම ඉන්ධන පිරවුම්හලේ ඇති තවත් සුවිශේෂී කටයුත්තක් වන්නේ මෙහිදී මුදල් හා කාඩ් යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලබන්නේද එම පොම්ප ක්‍රියාකාරිනියන් විසින්ම වීමය. ඒ සඳහා සියලුම පොම්ප ක්‍රියාකාරිනියන්ටම වෙන්වූ කාඩ් යන්ත්‍රයක් ලබාදී ඇත. ඉන්ධන පිරවුම්හලින් ලබාගන්නා සියලුම වාහන හිමිකරුවන්ට තම වාහනයට යොදන ඉන්ධන ප්‍රමාණය, මුදල සටහන් කළ ස්වයංක්‍රීය බිල්පතක් අනිවාර්යයෙන් ලැබේ. කිසිදු වාහනයකට එවැනි ස්වයංක්‍රීය බිල්පතක් හිමි නොවන්නේ නැත. එලෙස බිල්පතක් ස්වයංක්‍රීයව නොලැබුණහොත් එම පොම්පයෙන් ඊළඟ වාහනයට ඉන්ධන ලබාදීම ස්වයංක්‍රීයව නතර වේ. මේ අනුව මෙම IOC ඉන්ධන පිරවුම්හලෙන් සේවාවක් ලබාගන්නා ඕනෑම වාහනයකට ඒ සඳහා බිල්පතක් හිමිවේ.

''තෝරාගන්නා ලද මෙම පොම්ප ක්‍රියාකාරිනියන් සඳහා අපි පුහුණුවීමක් ලබාදුන්නා. මේ රැකියාව මොවුන්ට අලුත්. ඒ නිසා පුහුණුවීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අපිට කලල්ගොඩ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් උදව් ලැබුණා. ඒ අනුව ඔවුන් අපේ මෙම නවක ක්‍රියාකාරිනියන්ට එම ඉන්ධන පිරවුම්හලේ පුහුණුවීම් සඳහා යොමු කළා. ඒ අනුව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ උදේ සිට හවස් වනතුරු අපේ පොම්ප ක්‍රියාකාරිනියන් සේවය කළා. ඒ කාලය ඇතුළත මේ රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම හා පුහුණුව මොවුන්ට ලබාගන්නට හැකියාව ලැබුණා. මේ අවට සේවිකාවන් වගේම ඈත ගම්වල සිටින කාන්තාවන් පවා කොළඹ නතරවෙලා මෙතන සේවය කරනවා.'' යැයිද ඉෂාර බණ්ඩාර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ පොඩි කාල සීමාව ඇතුළතදී මෙම ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන බව ඉන්ධන පොම්ප ක්‍රියාකාරිකයෝ පවසති. පාරිභෝගිකයන් හා කතාබහ කරන අන්දම, සුහදශීලීභාවය සම්බන්ධයෙන්ද පොම්ප ක්‍රියාකාරිනියන්ට පුහුණුවීමක් ආයතනය මගින් ලබාදී ඇත. මෙම නාරාහේන්පිට අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල පැය විසිහතර පුරාම විවෘතව පවතින අතර උදෑසන සිට රාත්‍රි අට දක්වා මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප ක්‍රියාකාරිනියන් ලෙසින් කාන්තාවන් සේවය කරන අතර රාත්‍රී කාලයේදී සේවය කරනු ලබන්නේ පිරිමි සේවකයන් පමණි. සේවය කරන කාල සීමාවේදී ආහාරපාන ආයතනය විසින් ලබාදෙයි. මූලික වැටුපට අමතරව දිරිදීමනා, පැමිණීමේ දීමනා, මෙන්ම පැය අටකට වඩා වැඩකරනු ලබන සේවිකාවන්ට සෑම පැයකටම අමතර දීමනාවක් ලබාදෙනු ලබයි.

''මගේ නම නිල්මිණි. මීට පෙර මම අවුරුදු පහක් වෙනත් ඉන්ධන පිරවුම්හලක සේවය කළා. නමුත් ගැටලු කිහිපයක්ම නිසා මම එතැනින් අයින් වුණා. ඒ අතරේ තමයි මේ ඉන්ධන පිරවුම්හල විවෘත කළේ. මගේ ගම බණ්ඩාරවෙල. මම කොළඹ බෝඩිං වෙලා මේ රැකියාව කරනවා. ඇත්තටම මේ අයාතනය ගොඩක් හොඳයි. අපිට හොඳට සලකනවා. මෙතන ගැහැනු ළමයින් වැඩකළාට අපිට කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. මෙතනට එන පාරිභෝගිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම දන්න දැනුම මම මේ හැමෝටම කියල දුන්නා. ඒ වගේම මේ ටික කාලයට මම මෙතනිනුත් බොහෝ දැනුමක් ලබාගත්තා. ඉස්සර මම වැඩකරපු පිරවුම්හලේ අපිට බවුසර් උඩ නගින්න දුන්නේ නැහැ. ඒකට වෙනම අය හිටියා. නමුත් මේ ඉන්ධන පිරවුම්හලේදී මේ ඉන්ධන බවුසර්වලට නැගලා ලෝඩ් බලලා ඒ හැමදේම කරනවා. ඇත්තටම අපි මෙතන හරිම සතුටින් වැඩකරනවා.'' යැයි ඉන්ධන පිරවුම්හලේ සේවය කරන නිල්මිණී දේශයට අදහස් දක්වමින් පැවසීය.

''මේ ඉන්ධන පිරවුම්හල පටන් ගනිද්දීම මමත් මෙතන සේවයට ආවා. මේ රැකියාවෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. මෙතන තෙල් ගහන එක විතරක් නෙමෙයි රැකියාව කියල කියන්නේ. පාරිභෝගිකයින් එක්ක සුහදව ගනුදෙනු කිරීම වගේම අප ආයතනය තුළ ටීම් වර්ක් එකක් තියෙනවා. අපි හැමෝම එකතුවෙලා සතුටින් වැඩකරනවා. මේ ආයතනය දියුණු කරන්නට අපේ එකමුතුකම ගොඩක් වටිනවා. මේ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය නයින් වෙල්ස් ආයතනයෙන් තමයි දරන්නේ. ඒ නිසා එම අයාතනයටත් අයි.ඕ.සී. ආයතනයටත් අපි වගේ දොළොස් දෙනෙකුට මේ වගේ රැකියාවන් දීලා අපිව දිරිමත් කරන්නට, කරපු මේ අවස්ථාවට ගොඩාක් ස්තූති කරනවා.'' යැයි ඇය දේශයට අදහස් දක්වමින් පැවසීය.

''මෙතැනට මෙතෙක් පැමිණි පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙම ඉන්ධන පිරවුම්හල නයින්වේල්ස් රෝහලට අනුබද්ධිත එම කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන IOC ඉන්ධන පිරවුම්හලක්. ඒ නිසා එම ආයතනයේ අලෙවිකරණ අංශයෙන්ම සහයෝගය හා උපදෙස් ලබාගෙන අපි මෙම ඉන්ධන පිරවුම්හල පවත්වාගෙන යනවා. අද වනතුරු ඉතාම හොඳින් මෙම සේවිකාවන් ඔවුන්ගේ රාජකාරිය ඉටුකරනවා.'' යැයි ඉෂාර බණ්ඩාර මහතා කියයි.

''මගේ ගම මොණරාගල. මීට කලින් මම රැකියාවක් කරලා නැහැ. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට ආපු දවසේ ෂෙඩ් එකක වැඩකරන්න පුළුවන්ද කියල ඇහුවා. මම කැමැති වුණා... අපිට හොඳ පුහුණුවීමක් ලැබුණා... අද ගොඩාක් සතුටින් මම මේ රැකියාව කරනවා. මෙතනට එන අයගෙන් වචනයකින්වත් වැරුද්දක් අද වනතුරු වෙලා නැහැ. මම රැකියාව කරන්නේ හරිම සතුටින්.'' යැයි ඉන්ධන පිරවුම්හලේ සේවය කරන කාංචනා දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02