ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි පළමු තාක්ෂණික ඇගයීම සඳහා කණ්ඩායමක් පිටත්කර එවීය. එම නියෝජිතයන්ගේ නිරීක්ෂණ අනුව තීරණාත්මක සන්ධිස්ථානයක ශ‍්‍රී ලංකාව පසුවන බව වාර්තාවේ. ඉදිරියේදී ලැබෙන්නට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 330කින් සමන්විත දෙවැනි වාරිකය ලැබෙන කාලවකවානුව ස්ථිර නැත. අර්බුදයක පසුවන ශ‍්‍රී ලංකාව දෙවැනි වාරිකය ප‍්‍රමාදවීමේ අවදානමකට ගොදුරු වී ඇති බව ඒෂියා නිකිනි වෙබ් අඩවිය සඳහන් කර තිබුණි. පළමු වාරිකය හා එයට අදාළ තාක්ෂණික පියවර ගැන තක්සේරු කරන ලද නියෝජිත කණ්ඩායම දෙවැනි වාරිකය නිකුත් කරන දිනයක් ගැන පැහැදිලිව ප‍්‍රකාශයක් නිකුත් කර නැති අතරවාරයේ ලෝකයේ පවතින ගැටුම් ශ‍්‍රී ලංකාවට නරක අන්දමට බලපාන්නට ඉඩ තිබේ. රුසියාව හා යුක්රේනය අතර යුද්ධයට අමතරව හමාස් සංවිධානය හා ඊශ‍්‍රායලය අතර ගැටුම් මැද පෙරදිග යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් එහි විපාකද ජනතාවට වෙත එල්ල කෙරෙනු ඇත.
ආදායම් ඉලක්ක සපුරාගැනීමේ පිළිවෙළ වෙනුවෙන් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග සඳහා ශ‍්‍රී ලාංකිකයන් කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පෙන්වා දී ඇති කරුණකි. මෙයට සමාන්තරව මැද පෙරදිග උණුසුමටද ඔරොත්තු දෙන්නට සිදුවුවහොත් ජීවත්වීම අපහසු වනු නිසැකය. මහ බැංකු වාර්තා අනුව උද්ධමන අනුපාතිකය සියයට 70ක සිට සියයට දෙක දක්වා අඩු වී ඇති අතර විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ නංවා ගන්නට සමත්ව ඇත. මෙම ඉලක්කම් ආපසු හරවා නොගැනීමට පියවර ගැනීම අවශ්‍යම කාරණය බව සඳහන් කළ යුතුවේ.
• මත තවත් බදු වැඩි කරයි!
ශ‍්‍රී ලාංකිකයන් ඔරොත්තු දෙන හැකියාව ගැන සඳහන් කරන මූල්‍ය අරමුදල තවත් වටයකින් බදු වැඩිකිරීමේ හැකියාව දක්වන බව වටහාගත යුතුව තිබේ. ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ‍්‍රී ලංකාවේ බදු විශාල වශයෙන් සංශෝධනය කළේය. උපයනවිට ගෙවන බද්ද දරාගත නොහැකි මට්ටමකට නැංවීය. පසුගියදා වෛද්‍යවරු පාරට බැස එහි අපහසුව රජයට අවධාරණය කළහ. සමාජයේ ඉහළ මට්ටමේ ජන කොටස්වලට දැනෙන අමාරුකම සාමාන්‍ය ජනතාවට තවත් වැඩිපුර දැනෙන බව වටහා ගත යුතුය.
මෙම පීඩනය තිබියදී විදුලිය ගාස්තුද නැවත වතාවක් නංවන බව කියැවේ. ඉන්ධන මිල සූත‍්‍රයකට යටත් කර වරින්වර සාශෝධනය වේ. තෙල් බෙදාහරින සමාගම් තුනක් කටයුතු කරන නමුත් වෙළඳපොළ තරගකාරීත්වය වෙනුවට ඒකාධිකාරයක පසුවන බව නිරීක්ෂණය කළ හැක. ගෑස් හා ජල ගාස්තුවද වැඩිකර තිබේ. මේවායේ අධික බර උහුලන ජනතාව තමන් අවධාරණය කළ සිස්ටම් චේන්ජ් අවශ්‍යතාව අමතක කර තිබීම විශේෂත්වයකි. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සඳහන් කරන ඔරොත්තු දීමේ හැකියාව එය බව පැහැදිලිය.
ජාත්‍යන්තර වාර්තා උපුටා දක්වන මූල්‍ය අංශ ශ‍්‍රී ලංකාවේ බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතක් පමණවන අතර එය ලෝකයේ අඩුම අගය බව දක්වයි. එසේ තිබියදී අධ්‍යාපන, සෞඛ්‍ය හා ජීවනෝපාය වෙනුවෙන් සහන සපයන බව පෙන්වා දී තිබේ. අවම වශයෙන් සියයට පහළොවක් දක්වා ප‍්‍රතිශතයකට මෙම බදු ප‍්‍රමාණය නැංවිය යුතු බව දක්වයි. ජීවත්වීම සඳහා මහත් අරගලයක නිරත ජනතාව දැනට අයකරන බදු ප‍්‍රතිශතය දෙගුණ කළහොත් අසරණවන බව බලධාරීන් වටහාගත යුතුව තිබේ.
• බදු බරට අමතරව යුද බර
ආර්ථික ස්ථාවරභාවය සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව ණය ගෙවීමට හා ආර්ථික සංවර්ධන අරමුණු කරගත් ප‍්‍රතිසංස්කරණවලට නැඹුරුවිය යුතුය. එහෙත් ප‍්‍රතිසංස්කරණවලට සූදානම් බවක් පෙන්වන්නේ නැත. දේශපාලන වශයෙන් අසීරු තැනක පසුවන ආණ්ඩුවට පාර්ලිමේන්තු බලය අවිනිශ්චිතය. 2024 වසර අග වන විට මැතිවරණ පැවැත්වීමට සිදුවේ. මහජන කැමැත්ත දිනාගැනීම සදහා ඔවුන් සැනසීම විනා අවුල් ඇති කරගන්නට ආණ්ඩුව සූදානම් නැත. මෙම ව්‍යාකූලතා මූල්‍ය අරමුදලේ සැලැස්ම අනුව තවත් මාස හතළිස් අටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න අපැහැදිලිය.
ඊශ‍්‍රායලයට එල්ල කරන ලද රොකට් ප‍්‍රහාර හමුවේ උනුසුම් වී ඇති මැද පෙරදිග කලාපය ඇති කරන රාමුව ශ‍්‍රී ලංකාවේ පැවැත්මට අලුතින් එකතුවනු ඇත. දැනටමත් තෙල් මිල සියයට පහකින් ඉහළ ගොස් තිබේ. ඊශ‍්‍රායලය යුද තත්ත්වයකට ඇතුළුවුවහොත් එහි වෙසෙන ලද දස දහසකට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ රැකියා අනාරක්ෂිත විය හැක. ඉරානය, තුර්කිය හා ක්වෙට් යන රටවල් හමාස් සංවිධානය සමග ඇති සබඳකම් ගැන කියැවේ. ඉරානය මුදල් හා යුද උපකරණ සපයන බව පැහැදිලිව ඔප්පු වී තිබේ. ඉරානයට පනවා ඇති සම්බාධක තවත් වටයකින් තීව්‍ර වන අතර මැද පෙරදිග කලාපයේ ආර්ථිකය ගැටලුකාරී තැනකට පත්වුවහොත් ඒවායේ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයන්ට සිදුවන්නේ කුමක්ද?
අලුත් වාර්තා අනුව සැප්තැම්බර් මාසයේ මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන පිරිස එවන ලද විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 482 කි. මෙම වසරේ මුල් මාස නමය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 4,345ක් ලැබී ඇත. රටට ලැබී ඇති වැඩිම විදේශ සම්පත් ප‍්‍රමාණය එය බව සඳහන් කළ යුතුය. මෙම මුදල් මෙරට ආර්ථික අර්බුදය වෙනුවෙන් මහඟු වාසිදායක තත්ත්වයකි. විදේශ රැකියා අවස්ථා අඩුවී මැද පෙරදිග සිටින පිරිස ආපසු පැමිණියහොත් ශ‍්‍රී ලංකාව අසරණවීම වැළැක්විය නොහැකිය. මෙවැනි වාතාවරණයක් තුළ ජාතික ආදායම ආරක්ෂා කරගත යුතු අතර දූෂණ හා වංචා වළක්වා මහත් පරෙස්සමකින් ක‍්‍රියා කරන වටපිටාවක් උවමනා කර තිබේ.
• දූෂණ හා වංචා ගැන නියෝග
අර්බුදකාරී තත්ත්වයක් තුළ දූෂණ හා වංචා වළක්වාගන්නට ලත හැකි පියවර කුමක් ද? බදු වශයෙන් වැඩි කරන ආණ්ඩුව එම මුදලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් වංචා හා දූෂිත තත්ත්ව යටතේ විනාශ කරන බව මූල්‍ය අරමුදලේ තාක්ෂණික අංශ පෙන්වා දෙන කරුණකි. දූෂණ වළක්වන පණතක් සම්මත කරන නමුත් සිද්ධි සම්බන්ධ තොරතුරු ආයතන අතර හුවමාරු කරගැනීමේදී බාධා සිදුවන බව ද කියා සිටී. එය නීති කි‍්‍රියාමාර්ග ගැනීමේදී බාධාවකි. කළු සල්ලි ජාවාරම් මැඩ පවත්වන නීති නිසියාකාරයෙන් මෙහෙයවන්නට ආණ්ඩුව අපොහොසත්ව ඇත. රාජ්‍ය මූල්‍ය කළමණාකරණය ගැන ශක්තිමත් නෛතික රාමුවක් නොමැතිකම පෙන්වාදෙන මූල්‍ය අරමුදල රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් විනිවිද භාවයකින් තොර පැවැත්මක් සහ අය වැය යෝජනාවල සීමා ඉක්මවා ඇති අතර එය දූෂණ අවදානමකට හේතු බව පැහැදිලි කර තිබේ.
පැහැදිලි රාජ්‍ය ප‍්‍රතිපත්ති නොමැතිකමද හඳුනාගෙන ඇති අංශයකි. අනවශ්‍ය ආයෝජන කෙරෙහි නැඹුරුව හා තරඟකාරීත්වය සම්බන්ධ ගැටලු දූෂණය ඉහළ නංවා තිබේ. රාජ්‍ය ව්‍යවසාය තුළ කළමනාකරණය සම්බන්ධ පාලන දුර්වලතා පවතී. විගණනය කරන කරුණු ගැන පසුවිපරම් යාන්ත‍්‍රණයක් නොමැතිකමද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය වාර්තාවෙන් පෙන්වා දෙන කරුණකි.
මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමේදී ශ‍්‍රී ලංකාව ද්වී පාර්ශ්විකව එකඟ වූ කරුණු ගණනාවක් ඇත. ආර්ථික අර්බුදය හේතු කොටගෙන දුප්පත්භාවයට පත් පිරිසට සහන දෙන සැලැස්මක් පමණක් නොව දූෂණය වළක්වන ක‍්‍රියාමාර්ග සඳහා අලුත් නීති පනවන අවශ්‍යතාව ද අවධාරණය වූ කරුණු අතර තිබුණි. ආණ්ඩුව මෙම කරුණු දෙක සැහැල්ලුවට ගෙන කටයුතු කළ අතර විශේෂයෙන් දූෂණ මර්දන පනත සම්මත කිරීම සඳහා අවසාන මොහොත තෙක් කල් ගැනීමද සලකා බැලිය යුතුය. ලෝක ආර්ථික වාතාවරණය අනුව තවත් වටයකින් පීඩා විඳින්නට කලින් අරපිරිමැස්ම හා විනාශ සිදුවන පැති ආවරණය කරන්නට තීරණ අවශ්‍යය. මූල්‍ය අරමුදල කරන යෝජනා වහාම අවධානයට ගැනීම සුදුසුය.
• දූෂණ වැළැක්වීම
ශ‍්‍රී ලංකාවේ ආධාර වැඩසටහන නිරීක්ෂණයට පැමිණි නියෝජිත පිරිස ඉකුත් සැප්තැම්බර් විසිහය වැනිදා ජනාධිපතිවරයා මුණ ගැසුණ අතර පළමු වටයේ ප‍්‍රගතිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට හිසරදයක් වී ඇති දූෂණ හා අක‍්‍රමිකතා මෙම නියෝජිත පිරිසගේ සියුම් අවධානයට ලක්ව ඇති අතර ඉදිරි වාරික සඳහා ගමන් කිරීමේ දී අනිවාර්යයෙන් සාක්ෂාත් කරගත යුතු කරුණු දහසයකින් යුතු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කර ඇත.
දූෂණ විරෝධී ස්වාධීන උපදේශක මණ්ඩලයක් 2023 නොවැම්බර් මාසයට කලින් පත් කළයුතු අතර 2024 ජූලි මාසයට කලින් ජනාධිපති, අගමැති හා ඇමැති මණ්ඩලයේද වත්කම් ප‍්‍රකාශ දැක්වෙන වෙබ් අඩවියක් මහජනතාවට දැකබලාගත හැකි පරිදි බලගැන්විය යුතු බව මෙම කරුණු අතර තිබේ. ජාතික විගණන පනත සංශෝධනය කළ යුතු අතර විගණනයක දී සොයාගන්නා කාරණා සම්බන්ධයෙන් වගකිවයුතු මූල්‍ය ප‍්‍රධානීන්ට දඩ නියම කළහැකි පරිදි එය සකස් කරන්නට ද නියම කර ඇති අතර රාජ්‍ය මිලදී ගැනීමේ නිති 2024 අප්‍රේල් වනවිට ස්ථාපිත කළ යුතුවේ. ටෙන්ඩර් සම්බන්ධ නව වෙබ් අඩවියක් මෙම වසරේ දෙසැම්බර් වන විට සකස් කළ යුතු අතර ලබන වසරේ අප්‍රේල් වනවිට රජයේ රුපියල් බිලියනය ඉක්මවන සියළුම ටෙන්ඩර්වල තොරතුරු සමාජයට දැකගත හැකි පරිදි විවෘතව රජයේ වෙබ් අඩවියක ප‍්‍රදර්ශනය කළ යුතු බව ද තවත් කොන්දේසියකි.
මෙවැනි කොන්දේසි සහිත කරුණු ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත. පෞද්ගලිකකරණ ක‍්‍රියාවලියට ද වැදත්වන යෝජනා එහි පවතී. මහජන මුදල් නිසි පරිදි හසුරුවන යාන්ත‍්‍රණයකට බලකරන මූල්‍ය අරමුදල මෙතෙක් පවත්වාගෙන ගිය නුසුදුසු ක‍්‍රමවේද තුළින් විශාල ආර්ථික හානියක් ඇතිකර තිබෙන බව මහජනතාවට අඟවන්නට සමත්ව ඇත. මෙම කොන්දේසි ඇතුළු සියලු වාර්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියෙහි පවතින අතර ඕනෑම පුද්ගලයකුට විවෘතව තොරතුරු ලබාගැනීමට හැකියාව තිබේ. මේවා අධ්‍යයනය කරන විද්වතුන්ට ඉදිරියේ ඇති විය හැකි අවදානම ගැන සලකා බලා නැවත සකසන සැලසුම් සඳහා නැඹුරුවන වගකීමක් තිබේ. තෙල් මිල ඉහළ ගියහොත්, මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන පිරි ආපසු පැමිණියහොත් සහ රටවිරුවන්ගෙන් ලැබෙන විනිමය සීමාසහිත වුවහොත් ඇති වන තත්ත්වය ගැන කල්තබා පියවර ගත යුතුවේ. මූල්‍ය අරමුදලේ උපදෙස් හා ශ‍්‍රී ලංකාවේ විද්වතුන්ගේ යෝජනා එකම මණ්ඩලයක අවධානයට යොමු කිරීම සුදුසුය.
I සාරා කන්දෙගොඩ