පෞද්ගලික අංශය මගින් වාර්ෂිකව රුපියල් කෝටි දහසකට වැඩි ප්‍රමාණයක් දැව ආනයනය කරන බවට තොරතුරක් ඉකුත් සතියේ අප වෙත වාර්තා විය. ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අනවශ්‍ය පරිමාවෙන් මෙම ආනයනය සිදුකරන බවටද ඇතැම් පාර්ශ්ව චෝදනා කරමින් සිටියේය. මේ පිළිබඳ නිසි විමසා බැලීමක් වෙනුවෙන් අප රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතාව අපි සම්බන්ධ කරගතිමු.
''සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටරටින් දැව ගෙන්වනවා. තද දැව යැයි කියන දැව වර්ග ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම ලංකාවේ නැති වහළවල් වගේ දේවල් සඳහා භාවිත කරන දිග දැව වර්ගත් ගෙන්වනවා. ඒවා පිටරටින් ගෙන්වා ගැනීමට ගැටලුවක් නෑ. ඇත්තෙන්ම මේ දැව වර්ගවල හිඟයක් තිබෙනවා.''
ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා සඳහන් කරන්නේ යම් දැව ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට සිදුවන බවයි. එහෙත් ගැටලු මතුව ඇත්තේ පයිනස් දැව සම්බන්ධයෙනි. එහෙත් එය තරමක සංකීර්ණ තත්ත්වයකි.
''මීට අමතරව පයිනස් කියන දැව වර්ගයද ගෙන්වනවා. 2022 වසරේ ඉරූ ෆයින්ස් දැව ඝනමීටර් දහසය දහසක් ලංකාව ගෙන්වලා තිබෙනවා. එහි වටිනාකම මිලියන 1500ක් පමණ වෙනවා.''
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික පයිනස් දැව අවශ්‍යතාව ඝනමීටර් හතළිස් පන්දහසක් පමණ වෙයි. ඒ සඳහා අවශ්‍ය වන දැව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පරිමාවක තිබෙන පයිනස් වන වගාව හරහා සපයා ගැනීමේ හැකියාවක් තිබේ. ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා පවසන පරිදි වාර්ෂිකව ඝනමීටර් ලක්ෂයක්වත් සපයා ගැනීමට එම වනවගාව ප්‍රමාණවත්ය. කෙසේ නමුත් වසර දහයක් පහළොවක් යනතුරු ඒ හා සම්බන්ධ ගැටලුවක්ද උද්ගත නොවේ.
''මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවට පයිනස් දැව පිටරටින් ගෙන ඒමෙන් සැලකිය යුතු මුදලක් රටට අහිමි වෙනවා. ඒ වගේම පිටරටින් පැමිණෙන දැවවල මිල ගණන් අඩු නිසා දේශීය දැව විකුණා ගැනීමේ ගැටලුවක්ද මතුවෙලා තිබෙනවා. මේක තමයි ලංකාවේ දැනට පවතින ගැටලුව....''
කෙසේ වෙතත් පතිරණ මහතා පවසන්නේ ලංකාවට රුගෙන එන පයිනස් දැව එකවර නතර කර දැමීම සිදුකළ නොහැකි දෙයක් බවයි. ඊට හේතුව වී ඇත්තේ පිටරට ෆයිනස් දැව භාවිතයට පුරුදු වූ කර්මාන්තකරුවන් ලංකාවේ සිටීමයි.
''පිටරටවලින් ගේන පයිනස් දැව හොඳට පදම්කරලා ඉරලා අවසාන නිෂ්පාදනයට සුදුසු විදියට තමා තිබෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ මේ කර්මාන්තකරුවන්ට මෙරට පයිනස් දැව ලබාදීමේ හැකියාව සලකා බලමින් මෙය නතර කළ යුතුයි කියලා. නැත්නම් මේ කර්මාන්තකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා.''
මේ අනුව රාජ්‍ය දැව සංස්ථාව වඩාත් සාධනීය මධ්‍යස්ථ මතයක් දරන බව පෙනී යයි. දේශීය පයිනස් දැව කර්මාන්තකරුවන්ගේ භාවිතයට සුදුසු පරිදි ප්‍රමිතිකරණය කළ යුතුව තිබේ. ඒ සඳහා බලධාරීන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පෙනී යයි.
''කොහොම නමුත් ලංකාවට එකවගේ දැව වර්ග ආනයනය කිරීම අවශ්‍ය නැහැ. ඒ දැව දේශීය වශයෙන් ප්‍රමාණවත් පරිදි තිබෙනවා. දැනටමත් දේශීය වෙළඳපොළට අවශ්‍ය දැව ප්‍රමාණය අපි සතුව තිබෙනවා.'' ආචාර්ය නිමල් රුවන්පතිරණ පවසයි.
රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය නිමල් රුවන් පතිරණ මහතාව සිදුකරනු ලැබූ පැහැදිලි කිරීම අනුව මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි. කෙසේ වෙතත් නිකරුණේ මෙරට මුදල් දැව ආනයනය සඳහා නාස්ති කර දැමීමේ හැකියාව වර්තමානයේ අප රට සතුව නැත. එම නිසාම විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය අපි යළි යළිත් අවධාරණය කරමු.
I චමිඳු නිසල් ද සිල්වා