2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ් කසාදෙ කොහොමද?

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එකට එකතුකර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 4දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ පැවසුවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි. මේ පිළිබඳ දැනට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර ඒ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ටද සහභාගි විය හැකි බව හෙතෙම පැවසීය.

මෙම අරමුදල් දෙක පනත් දෙකක් මගින් වෙනම පාලනය වන ඒකක දෙකකි. එහෙත් මෙම අරමුදල් එකට එකතුකර ස්වාධීන මණ්ඩලයක පාලනයට යටත් කරන්නේ ඇයිද යන්න ගැන ආණ්ඩුව පැහැදිලි හේතුවක් දක්වන්නේ නැත. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ භාරකාරත්වයට යටත්ව ඇති මෙම අරමුදල් එයින් ඉවත්කර වෙනත් ස්වාධීන යැයි කියාගන්නා මණ්ඩලයක් යටතට පත් කිරීම ඒවායේ ආරක්ෂාවට තර්ජනයක් බව සේවක වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙම මුදල් කම්කරු කොමසාරිස්ගේ පාලනයෙන් පවා බැහැරකර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ භාරකාරත්වයට නතුකිරීම තුළින් එම මුදල්වල ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇත. එහෙත් එම තත්ත්වයට ළඟදීම කණකොකා හඬනු ඇති බවට සේවකයෝ මැසිවිලි නගති.
එසේම මෙම යෝජිත මණ්ඩලයේ ව්‍යුහය පිළිබඳ තවමත් පැහැදිලි අදහසක් නොමැත. ජනාධිපතිවරයා විසින් මෙහි සාමාජිකයන් පත්කරනු ලැබීමට යන බවට රාවයක් පවතී. එය සත්‍ය නම් එම සාමාජිකයන් අරමුදලට නොව ජනාධිපතිවරයාට වගකියන අය බවට පත්වනු ඇත. ඔවුන්ට රාජකාරි කරන්නට සිදුවන්නේ ජනාධිපතිගේ උපදෙස්වල අනුකූලව බව සිතාගනු හැකිය. මේ තත්ත්වය අරමුදලේ ආරක්ෂාවට තදින් බලපෑම් ඇතිකිරීමට ඉඩ ඇති බවට සැකයක් පවතී.

සේවක අර්ථසාධක අරමුදලේ සහ භාරකාර අරමුදලේ වර්තමාන අගය රුපියල් ට්‍රිලියන 3කට අධිකය. මෙය රටේ ඇති සුවිශාලම රාජ්‍ය අරමුදල වෙයි. අනිත් අතට මෙම මුදල් රජය ලබා දුන්නක් නොව සේවකයන් සහ සේව්‍යයන් විසින් සැපයූවකි. එසේ නම් එහි අයිතිය රජට නොව සේවකයන්ට තිබිය යුතුය සහ තර්කය සාධාරණය.

රටේ පවතින උද්ධමනය නිසා මෙම මුදල් ශේෂයේ අගය මේ වනවිට 1/3ක් පමණ අඩුව ඇතැයි පැවසේ. කෙසේ වුවද අරමුදලේ ප්‍රමාණය 2023 වසරේ රාජ්‍ය ආදායමට වඩා වැඩිය. රජය විශාල වශයෙන් ණය ලබාගන්නේ බැඳුම්කරවලින් සහ භාණ්ඩාගාර බිල්පත්වලිනි. බැඳුම්කර මගින් සියයට 43ක් ණය ලබාගෙන ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙනි. මෙම බැඳුම්කරවලට ගෙවන බව කියන පොලිය සියයට 13.52කි. වෙනත් අංශවල ආයෝජනය කරන්නේද මෙයට වඩා වැඩි පොලියකටය. එහෙත් ප්‍රතිව්‍යුහගතකරණය ව්‍යාජයෙන් අරමුදලට ගෙවන පොලිය සියයට 9.1 දක්වා අඩුකර තිබේ. මේ පිළිබඳ සේවක සංවිධාන විරුද්ධ වුවද අධිකරණයේ පිහිට පැතුවද සියල්ලම අසාර්ථක විය. ඒ නිසා මේ වනවිට පොලිය 9.1 පවතී.
අලුතින් සිදුකිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ තුළින් මෙම පොලිය තවදුරටත් අඩුවනු ඇතැයි සේවකයෝ බිය පළකරති. ඒ නිසා මෙම අරමුදල් දෙක එකතු කිරීමේ ප්‍රයත්නයට විරුද්ධවීමට සේවකයෝ මේ වනවිට පෙළගැසෙමින් සිටිති. එහෙත් ආණ්ඩුවේ උත්සාහය වන්නේ සේවකයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා නොකර කෙටිකාලයක් තුළ අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන එය නීතියක් බවට පත් කිරීමය. ඒ පිළිබඳ රටේ බුද්ධිමතුන් මෙන්ම සමස්ත සේවක ප්‍රජාවම විරුද්ධත්වය පළකරන අතර ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයකින් ඉදිරිපත් වූ අදහස් මෙසේය.

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනිල්ලක් සිදුවිය හැකියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජයවර්ධන පවසන්නේ මෙම යෝජිත වෙනස්කම් තුළින් මෙම අරමුදල් දෙක දේශපාලනීකරණය වෙන්නේ නම් එයට වැඩකරන ජනතාව විරෝධය දැක්වීම වැළැක්විය නොහැකි බවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ භාරකාරීත්වයෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඉවත්කර කඩිමුඩියේ වෙනත් ආයතනයකට ඒවා පැවරීමේ අදහස කුමක්ද යන්න අවිනිශ්චිත යැයි ඔහු කියයි.

&2002 වසරේදී මගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරලා අපි රජයට යෝජනා කළා රජය සතු කම්කරු, ධීවර, ගොවි ආදී විශාල අරමුදල් සියල්ල එකතු කරලා ඒවායේ භාරකාරිත්වය එක් මණ්ඩලයක් යටතට පත්කළ යුතු බවට. මෙහිදී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. යන අරමුදල්ද මෙම භාරකාර මණ්ඩලයට යටත්කර ශ්‍රි ලංකා ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට යෝජනා කළා. එවකට අගමැති රනිල් වික්‍රමසිංහට එම වාර්තාව යොමුකළ අතර එය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබියදී එම ආණ්ඩුව බිඳවැටිලා 2004 දී මහින්ද රාජපක්ෂ අලුත් ආණ්ඩුවක් බිහිවීම නිසා එය ක්‍රියාත්මක කළ නොහැකි වුණා. ඒ නිසා එහි ප්‍රතිලාභ සේවකයන්ට ලබාගැනීමේ අවස්ථාව අහිමිවුණා. එය එහෙම සිදුවුණා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.

ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. යනු අරමුදල් දෙකක්. ගිණුම් දෙකක්. සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභද දෙආකාරයි. ඊ.පී.එෆ්. මුදල් සේවකයන් විශ්‍රාම ගන්නා විට ලබාගත හැකි අතර, ඊ.ටී.එෆ්. අරමුදල වසර පහකට වරක් ලාභ බෙදුවා. දැන් මෙම අරමුදල් දෙක එකතු කර වෙනම අරමුදලක් තනන්න යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුවයි. එහෙත් මෙයින් කුමන ලෙසකට සේවකයන්ට යහපතක් ඇතිවේ යැයි සිතාගත නොහැකියි. දැනට යෝජිත ආයතනය තැනීම සඳහා සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් පූර්වාදර්ශ ගත යුතුයි. ඒ රටවල ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ අරමුදලට දේශපාලනඥයන්ට ඇඟිලි ගැසීමට අවස්ථාව නොදිය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතු වී කරන කුමන්ත්‍රණයක්
ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නොලබන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා යම් යම් ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාවෙන් 1957 වසරේදී සේවක අර්ථසාධක අරමුදල පිහිටුවනු ලැබුවා. සේවක භාරකාර අරමුදල ස්ථාපිත කළේ 1980 දී... මෙයින්ද සේවකයන්ට විශාල සහනයක් ලැබෙනවා. අද රටේ තිබෙන ජීවන තත්ත්වය අනුව මෙම අරමුදල්වල ඇති වැදගත්කම අවධාරණය කෙරෙනවා. සේවකයන්ට මේවායේ ප්‍රතිලාභ අහිමිවෙනවාය කියන්නේ කබලෙන් ලිපට වැටිල්ලක්.

මෙම අරමුදල්වල තියෙන්නේ ආණ්ඩුවේ මුදල් නොව සේවකයන්ගේ සල්ලියි. ඒ මුදල්වලට ආරක්ෂාව දීම ආණ්ඩුව සතු වගකීමක්. ඒ භාරකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුවට පවරලා තියෙන්නේ තවදුරටත් විශ්වාසයක් තබා ගැනීමටයි. මෙහි භාරකාරිත්වය කම්කරු කොමසාරිස්ට නොදී ශ්‍රී ලංකා මහ බැංකුවට බාරදී ඇත්තේ වැඩි හොඳටයි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ දෙයක්. සේවකයන්ගේ අරමුදල් පාලනය කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ. එහෙත් සේවකයන්ටත් හොරෙන් ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ මෙම සුවිශාල අරමුදල විනාශ කිරීමටයි. එය විශාල අපරාධයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුවෙලා කරන කුමන්ත්‍රණයක් බව පැවසිය යුතුයි.

සේවකයන් සමඟ පාරට එනවා
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස්

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නොලබන පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 26කට අධික ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබනවා. මෙම අරමුදල් දෙකම සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වූවාට මෙය අරමුණු දෙකකින් යුක්තයි. සේවක අර්ථසාධක අරමුදල සේවකයන් විශ්‍රාම යනවිට ලබාගත හැකියි. එසේම සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ අවුරුදු 5කින් උරුමකර ගත හැකිවන අතර සේවකයන්ගේ අසනීපවලට, රෝහල් ගතවීම් ආදියට ප්‍රයෝජනයට ගැනීමට පුළුවන්.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ මෙම අරමුදල් දෙකම එකකට පරිවර්තනය කර වෙනම ස්වාධීන ආයතනයකින් පාලනය වන්නට සලස්වන බවයි. එහෙත් අරමුණු දෙකකින් යුතු අරමුදල් එකට එකතු කරන්නේ කෙසේද යන්න සහ එසේ කිරීමේ අරමුණ කුමක්ද යන්න අවිනිශ්චිතයි.

මෙවැනි අරමුදලක් යම් කමිටුවක් හරහා පාලනය වනවා නම් පාර්ලිමේන්තුවට වගකියන විශේෂඥ කමිටුවක් හරහා පාලනය වන ස්වාධීන ආයතනයක් විය යුතුය යන්න අපේ අදහසයි. මෙම අරමුණ තුළ කම්කරු කොමසාරිස්ගේ පාලනයෙන් බැහැරව ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරුවේ දැඩි ආරක්ෂාවක් තිබිය යුතු නිසා. එහෙත් එය හිටි අඩියේ ඉවත් කරන්නට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න අපැහැදිලියි. 

අපට ලැබෙන ආරංචිවල හැටියට මෙම මුදල් විදේශ රටක ආයෝජනය කරන්න යනවා. සේවකයන්ගේ මුදල් අයිති සේවකයන්ටයි. එම මුදල් ඔවුන්ගේ අවසරයකින් තොරව ආයෝජනය කරන්න පාලකයන්ට අයිතියක් නැහැ. ප්‍රශස්තකරණය කරන ව්‍යාජයෙන් අරමුදලට ලැබෙන පොලිය අඩුකළා. එයින් අරමුදල්වලට විශාල හානියක් සිදුවුණා. දැන් ඊළඟට පටන් අරගෙන තියෙන්නේ මෙම අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාරකාරිත්වයෙන් බැහැර කර වෙනත් ආයතනයකට පැවරීමයි. මේ ආයතනය ජනාධිපති විසින් පත්කරනවා නම් එය දේශපාලනීකරණය වීම වළක්වන්න බැහැ. මේ පිළිබඳ අපි වෘත්තීය සමිති මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී සියලුදෙනා දැනුවත් කර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරනවා. සේවක අයිතීන් දිනාගැනීමට සටනට එළඹෙන බව කිවයුතුයි.

I  යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02