2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

මාතර ගංවතුරෙන් වැනසූ ලවණ බාධකය

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 512

වැස්ස වලාහක ඉදිරියේ නිල්වලා ගං කොමළිය පීරී ඉතිරී යන්නේ අදක ඊයෙක සිට නොවේ. එහෙත් ඒ හැම වරකම නිල්වලා නිම්නය වසාගන්නා ඒ මහා ජල කඳ දින කිහිපයක ඇවෑමෙන් නිදහසේ මහ සයුර වෙත ගලායයි. එහෙත් මෙවර කතාව ඊට ඉඳුරාම වෙනස් විය. මෝසම් වැස්සේ බලපෑමෙන් පිටාර ගිය නිල්වලාව ගම්බිම් ගොවිබිම සිය ගණනක් සති කිහිපයක් මුළුල්ලේ ම අරක්ගෙන සිටියේය. නිල්වලාවේ ලවණ බාධකය පිළිබඳ කතාව කරළියට පැමිණෙන්නේ ඒ අනුවයි.

කෙසේ වෙතත් නිල්වලා නිම්නයට ගංවතුර අලුත් අත්දැකීමක් නොවේ. නිල්වලා ගං පතුළ මුහුදු මට්ටමට පහතින් පිහිටීම ඊට හේතුවයි. ඒ නිසාවෙන්ම යටත් විජිත යුගයේ පවා නිල්වලා ගංවතුර ගැටලුවට විවිධ පිළියම් යෝජනා වී තිබේ. ඇතැම් යෝජනා විටින්විට ක්‍රියාත්මක කර ඇත. එහෙත් ඒ කිසිවක් සිතූ තරම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන නැති බව පැහැදිලිය.

1989 වසරේදී පමණ නිල්වලා නිම්නයේ ගංවතුර පාලනය කිරීම සඳහා අදියර තුනකින් යුතු සාර්ථක සැලැස්මක් ක්‍රියාවේ යොදවා තිබේ. ගංවතුර පාලන බැමි සහ පිටාර වතුර පොම්පාගාර නිල්වලා නිම්නයේ නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය. කෙසේ වෙතත් අදියර තුනකින් යුතු මෙම සැලසුම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේතාක් බලධාරීන් සමත්වී නැත.
මෙම ව්‍යාපෘතිය යටතේ ගංවතුර යම් පාලනයකට යටත් වූ නමුත් නිල්වලා නිම්නය මෑත වසරවලදීත් ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන්නේය. එහෙත් එම ගංවතුර දින කිහිපයක ඇවෑමෙන් බැසගියේය. මෙවර තත්ත්වය වෙනස්‍ වී තිබේ. මෝසම් වර්ෂාවෙන් පසු පිටාර ගැලූ නිල්වලාවේ ජලය සිය ගණනක් ගම්බිම් ගොවිබිම් වනසමින් බැසයෑම පමා කරමින් තමත් සිටී. ලවණ බාධකය පිළිබඳ සංවාදය නිර්මාණය වන්නේ මෙතැනදීය.

නිල්වලා ගඟේ ජලය මාතර, හම්බන්තොට  දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සැපිරීමට භාවිතා කරන්නට පටන් ගත්තේ මීට දශක කිහිපයකට ඉහතදීය. ඒ අනුව මේ වනවිට ලක්ෂ 5ක පමණ පානීය ජල පරිභෝජය කරන්නන්ට නිල්වලාව දියවර සපයයි. එහෙත් පසුගිය කාලයේ මෙම කටයුත්ත අඛණ්ඩව සිදුකර ගැනීමට ජල සම්පාදන අමාත්‍යංශය අසමත් විය.

ඊට හේතුව වූයේද නිල්වලා ගඟ පතුළ අකුරුස්සෙන් පහළ ප්‍රදේශයේදී මුහුදු මට්ටමට පහළන් පිහිටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නියං කාලයේදී මුහුදේ සිට පැමිණෙන ලවණ ජලය ගඟ ඉහළට ගලායෑම සිදුවිය. පානීය ජල සැපයුමට සේම ගොවිබිම්වලටද මේ තරම් මෙය එතරම් සුබදායී තත්ත්වයක් නොවුණි. වසරකට මාස දෙකක පමණ කාලයක් ලවණ ජලය ජනතාව වෙත දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ අනුව මෙම තත්ත්වය වළකා ගැනීම සඳහා ලවණ බාධකයක් නිර්මාණය කිරීමේ යෝජනාව ඉදිරිපත් විය.

කෙසේ වෙතත් එය ඒ තරම් පහසු කටයුත්තක් නොවීය. 2003 වසරේදී පවා මේ පිළිබඳ සාකච්ඡා සිදුව ඇති බව පාර්ලිමේන්තු වාර්තා සාක්ෂි සපයයි. ඒ අනුව ගොවිබිම් පිළිබඳ ඇති වූ ප්‍රශ්න හේතුවෙන් ලවණ බාධක නිර්මාණය කිරීම සඳහා විවිධ කාල වකවානුවල, එකිනෙකට වෙනස් වූ ස්ථාන කිහිපයක්ම යෝජනා වී තිබේ. කෙසේ හෝ අවසානයේ නිල්වලා ගඟ හරහා මෙම ලවණ බාධක ඉදිවූයේ වේරගම්පිට හා හුන්ගංගොඩ යා කරමිනි. දශක දෙකකට ආසන්න කාලයක සාකච්ඡා අවසානයේ රුපියල් මිලියන 3000 කට ආසන්න මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වී ඇතැයි කියැවේ. මෙම ව්‍යාපෘති සිදුකළේ ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයයි.

එහෙත් මේ වනවිට නිල්වලාවේ ලවණ බාධකය ගංවතුර බැස යෑමට බාධකයක්ව ඇතැයි ගංගාව අයත්වන වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක්ම පිළිගෙන තිබේ. එසේම නිල්වලා නිම්නයේ වැසියන් ගොවියන් සේම විෂය ප්‍රාමාණිකයෝ පවා මෙම ඉදිකිරීම විවේචනයට ලක් කරමින් සිටිති. මෙම ව්‍යාපෘතිය හරහා ගඟ හරස්කඩ වර්ගඵලය සියයට 65කින් පමණ අඩුකොට ඇති බවත්, ගඟ එම ස්ථානයේ පැවති ගැඹුර අඩි 14ක් ගොඩ කොට ඇති බවත් එම පිරිස් කියා සිටිති. එසේම අඩි හතළිහක් පුරාවට ෂීට් ෆයිල් සවිකොට ගඟ වසා දැමීමටද නිර්මාපකයන් කටයුතු කර ඇති බව මෙම පිරිස් කියා සිටිති. මේ අතර ගඟ ගොඩවීම ඇතුළු තවත් දුර්වලතා පිළිබඳ ඔවුහු කතාබහ කරමින් සිටිති.

කෙසේවෙතත් ලවණ බාධකය පිළිබඳ ගැටලුව මාතර ගංවතුර බැස නොයාමෙන් මෙපමණ අවධානයක් දිනාගත් බවද සඳහන් කළ යුතුය. එහෙත් ලවණ බාධකය හරහා තමන් පීඩාවට පත්වන බව මාතර ගොවීන් මැසිවිලි නගන්නට පටන්ගෙන තිබුණේ අදක ඊයක සිට නොවේ. ලවණ බාධකය හේතුවෙන් මාතර, තිහගොඩ, කඹුරුපිටිය හා මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 65ක යල-මහ කන්න දෙකම සරුසාරව වී වගා කළ හැකි කුඹුරු අක්කර 12,000කට පමණ හානි වන බව ගොවි සංවිධාන කල් ඇතිවම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ අතර ගංවතුර බැසයාමේ තීව්‍රතාවට ලවණ බාධකයෙන් බලපෑම් සිදු නොවන බවට ප්‍රකාශ කළ විද්වත්හු මෙන්ම බලධාරීන් සිටියහ. එහෙත් බහුතරයකගේ චෝදනාව වූයේ ගංගාවේ පටු ස්ථානයක් තෝරා ගනිමින් දොරටු ප්‍රමාණය සීමාකොට මෙම ලවණ බාධකය නිර්මාණය කිරීම අනුවණ ක්‍රියාවක් බවයි. නිසි අධ්‍යයනයකින් පසු මෙම කටයුත්ත සිදුකළ යුතුව තිබුණු බවද ඔවුහු පැවසූහ.

මෙම තත්ත්වය පාර්ලිමේන්තුවේ පවා අවධානයට ලක්විය. ඒ අනුව පසුගියදා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව පවා නිල්වලා ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්ව කාරක සභාව වෙත කැඳවා තිබුණි. මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අතරද නිල්වලා ගැටලුව පිළිබඳ වාද විවාද ඇතිවනු දැකගත හැකිවිය.

මේ අතර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා මෙම ගැටලුවට කෙටිකාලීන තාක්ෂණික ක්‍රියාමාර්ගයක් ගැනීම සහ දීර්ඝකාලීනව නැවත මෙවැනි ඇති නොවීමට ස්ථිර තාක්ෂණික විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක්ද පැවැත්වුණි. ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ වැනි මැති ඇමතිවරු සහ වගකිවයුතු නිලධාරීහු මීට එක්ව සිටියහ.

එහිදී කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලෙස දැනට පවතින ලවණ බාධකයේ ඉදිකිරීම් කොටසක් වෙනස් කිරීමටත් සහ අතුරු ඇළ මාර්ග අවහිරතා ඉවත් කිරීමටත් වාරිමාර්ග සහ ජල සම්පාදන ඉංජිනේරුවෝ එකඟ වූහ. කඩිනමින් එම කටයුතු එම ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ යුධ සහ නාවික හමුදාවල ඉංජිනේරු සේවා, කිමිදුම් සහ අනෙකුත් අවශ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට ජනාධිපති අනුමැතිය ද හිමිවිය.

කෙසේ වෙතත් ඉදිරි නියං කාලවලදී පානීය ජල සැපයුමට බාධාවක් නොපැමිණෙන ලෙස මෙම කටයුතු සිදුකළ යුතු බවට උපදෙස් ලැබී තිබේ. එසේම මෙය හා සම්බන්ධ ගැටලුවට දීර්ඝකාලීන විසඳුම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් වාරිමාර්ග හා ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇතැයි කියැවේ. මේ අතර ලවණ බාධකය මගහැර යන ලෙස බයිපාස් ඇළක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද වන බව අසන්නට ලැබේ.

අවසානයේ සඳහන් කළ යුත්තේ අමාත්‍යංශ ආයතන අතර කඹ ඇදිල්ලකින් තොරව මෙවන් ගැටලු විසඳාගැනීම සිදුවිය යුතු බවයි. එසේම ඕනෑම ව්‍යාපෘතියට පූර්වයෙහි විධිමත් විනිවිදපෙනෙනසුළු ඇගයීම් සිදුකිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත. අනෙක් අතට 1989 නිල්වලා ගංවතුර පාලන යෝජනා යටතේ දක්වා ඇති ජලාශ ඉදීකිරීම සහ සෙසු වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද බලධාරීන් අප්‍රමාදීව කටයුතු කළ යුතුව තිබේ. නිල්වලා නිම්නයේ මිනිසුන් ගංවතුර ගැටලුවෙන් මුදවා ඔවුන්ගේ ගොවිබිම් සුරක්ෂිත කර දීම පාලකයන්ගේ වගකීමකි.

දාපු කණු නිසා වතුර බැසීම අවහිර වුණා
මහින්ද යාපා අබේවර්ධන - කතානායක 

මෙතැන ප්‍රශ්නය වුණේ මේ අය ගඟේ පටුම තැන ලවණ බාධකය ඉදිකිරීම. මේක නිර්මාණය කරලා බැම්මක් බැඳලා දොරවල් 5ක් දැම්මා. ඒ සඳහා කණු හයක් නිර්මාණය කරන්න ඕන වුණා. ඒ කණුවක් අඩි හයක්. ඒ අනුව ගඟේ විශාල ප්‍රමාණයක වතුර බැසීම අවහිර වුණා. මේ අය සඳහන් කළේ ඕනෑ වෙලාවට දොරවල් අරින්න වහන්න පුළුවන් නිසා ගැටලුවක් නැහැ කියලා.

මෙතන ගඟේ එහා පැත්තෙන් තවත් කොටසක් ඉතුරුවෙලා තිබුණා. එතැන මේ අය සම්පූර්ණයෙන්ම ෂීට් ෆයිල් ගහලා අවහිර කළා. එතන ගඟ පතුළ හරහා ජලය බහින්න ක්‍රමයක් නැහැ. සාමාන්‍යයෙන් අධික වර්ෂාවකදී ගඟේ ජලය බැහැලා යන්නෙ ගඟේ පතුල හරහා. දැන් ඒකත් අවහිර වෙලා. අර දොරවල් හරහා වතුර බැසීම ප්‍රමාණවත් නෑ.

මේ ජලය බැසීමේ ප්‍රමාදයත් එක්ක ගඟ ඉහළ ප්‍රදේශවල මෙච්චර කාලයක් සරුවට වගා කරලා තිබුණු කුඹුරු අක්කර 5000ක් විතර විනාශ වුණා. මේවා තව සතියක් තිබුණ නම් අස්වැන්න නෙළාගන්න තිබුණු කුඹුරු. මෙතන ගඟ අයිති වාරිමාර්ගයට. බැම්ම අයිති ජල සම්පාදන මණ්ඩලයට. අපි මේ දෙපාර්ශ්වයටම කඩිනම් කඩිනමින් විසඳුමක් ගෙන්න කියලා කිව්වා. දැන් තීරණය කරලා තියෙනවා අඩි 60ක් දිගට ගහලා තියන ශීට් ටික ගලවන්න.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02