පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මුස්ලිම් කොංග්‍රසයේ සාමූහික පක්ෂ තීන්දුවකට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම සම්බන්ධයෙන් එම පක්ෂය අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර පක්ෂයෙන් නෙරපා හැර දැමුවේය. පක්ෂයෙන් ඉවත් කිරීමත් සමඟ තම මන්ත්‍රීධූරය අහිමිවන නිසා නසීර්, එයින් ගැලවීමේ අරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළේ තමන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමේ තීරණය වාරණයට ලක්කරන ලෙස දන්වාය. එහෙත් නසීර්ට වැඩ වැරදී ගියේය. අවසානයේ පක්ෂයේ තීන්දුව නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. මේ නිසා නසීර්ට තම පක්ෂයෙන් පමණක් නොව ඇමැති ධුරයටද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයටද ආයුබෝවන් කියන්නට සිදුවිය.
එකී තීන්දුව මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත මෙන්ම බලාපොරොත්තු සහගත අවස්ථාවක් විය. එනම් තමන්ගේ ඡන්දය ලබාගෙන පීලි මාරුකරන අය මට්ටු විය යුතු බවට එදා සිටම ජනතාවගේ මතයක් තිබුණේය. ඊට හේතුව වුණේ එලෙස පිල් මාරුකරන මන්ත්‍රීවරුන් තම සුඛවිහරණය සඳහා මෙය අවස්ථාවක් කරගන්නා බැවිනි. එහෙත් මන්ත්‍රීවරුන් හැමදාම කිව්වේ රට වෙනුවෙන් තමන් මේ තීන්දුව ගන්නා බවය. එලෙස රට වෙනුවෙන් තීන්දුව ගත් එකකු හෝ තම මන්ත්‍රී ධුරයෙහි රාජකාරි කළේ නැත. ආරක්ෂක අංශයේ දහයක් පහළොවක් පුරවා ගනිමින් යානවාහන තබා ගනිමින් ඇමැති පට්ටමක් ලබා ගැනීම එකී රට වෙනුවෙන් ගත් තීන්දුවේ අවසන් ඵලය විය. රට වෙනුවෙන් ගත් තීන්දුව අවසානයේ නතර වූයේ ජනතාව හතර මායිමට ළං වෙන්නට නොහැකි වන සේ ඈත් කරමිනි. මෙය ජනතාවගේ සිතට වෛරය කැන්දන සිදුවීමක් විය. ඒ නිසා ජනතාව අපේක්ෂා කළේම එලෙස පිල් මාරුකරන අයට තම මන්ත්‍රීධූරය අහිමි වී යා යුතු බවයි. නසීර්ගේ තීන්දුව ඒ සියල්ලට නැවුම් බලාපොරොත්තුවක් විය.
ඇත්තටම නසීර්ගේ තීන්දුව අද වනවිට පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකළ අයට බලපාවිද? සැලකිය යුතු පිරිසකට ගෙදර යන්නට වේද? මේ හැමදෙනාගේම ප්‍රශ්නයයි.
මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව තුළ පක්ෂ මාරු කළ අය 43කට ආසන්නය. එයින් 18 දෙනෙක් පමණ නීති විරෝධීව පක්ෂ මාරු කළ බව කියැවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය යන පක්ෂ තුනට ඔවුන් අයත්ය. මේ පක්ෂවල පිරිස් පසුගිය අරගලයෙන් පසුව විවිධ හේතුකාරණා මත තම පක්ෂවල ප්‍රතිපත්තිවලින් බැහැරව ආණ්ඩුව ස්වාධීනවත් කටයතු කළේය. එම තත්ත්වය මත ඇතැම් මන්ත්‍රීවරුන්ට ඒ අය නියෝජනය කළ පක්ෂ හරහා විනය ක්‍රියාමාර්ග ගත් අතර ඇතැම් අය පක්ෂයෙන් නෙරපනු ලැබීය. කෙසේ වෙතත් නෙරපීම් සිදුකළ ඇතැම් පිරිස් එම පක්ෂ සාමාජිකත්වයන් අහෝසි කිරීම්වලට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇත. ඒ නිසා ඔවුන්ගේ ඉරණම එම නඩු තීන්දු හරහා සිදුවනු ඇත.
නමුත් බොහෝ දෙනා පවසන්නේ නසීර්ගේ නඩු තීන්දුව හරහා අනෙකුත් අයටද එම ඉරණම බලපානු ඇති බවය. එසේ බලපායිද? අප දන්නේ නැත. එහෙත් කීමට එකක් ඇත. පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ එම පක්ෂයේ ව්‍යවස්ථාව සහ එම පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමේ ක්‍රමවේද සපුරා ඇතිද යන කාරණාය. ක්‍රමවේද ලෙස හඳුන්වන්නේ ඉවත් කිරීමට අදාළව නිදහසට කරුණු කීම සඳහා පක්ෂ සාමාජිකයන්ට ප්‍රමාණවත් අවස්ථාවක් ලබාදී ඇතිද යන්නය.
ඉතිහාසය ගත් කළ එවැනි මන්ත්‍රීධූර ඉවත් කිරීම් දෙකක් ඇත. එකක් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව තුළය. ඒ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීම නිසා එජාපයේ චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය), මහින්ද යාපා අබේවර්ධන (වත්මන් කතානායක-හක්මන) යන අය පක්ෂයෙන් නෙරපනු ලැබූහ. පසුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අතර එහිදී ඔවුන් පරාජය වී මන්ත්‍රීධූරය අහිමි විය. ඒ ව්‍යවස්ථාවේ 99 (13) වගන්තියට අනුවය.
කෙසේ වෙතත් 1988දී 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ ඇතැම් කාරණා එම පරිච්ඡේදය තුළ වෙනස් විය. ඒ අනුව නැවතත් ප්‍රශ්නයක් මතුවන්නේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට විරුද්ධව දෝෂාභියෝගයකට මන්ත්‍රීවරු 8 දෙනෙක් අත්සන් කළ අවස්ථාවයි. ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ලක්ෂ්මන් සෙනවිරත්න, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ප්‍රේමරත්න ගුණසේකර, වින්සන්ට් පෙරේරා, චන්ද්‍රා ගන්කන්ද, සමරවීර වීරවන්නි යන අය ඊට සම්බන්ධ වූහ. මේ සියලුදෙනා කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත්කරනු ලැබූහ. එහෙත් මේ සියලුදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියත් හරිගියේ නැත. අවසානයේ සියල්ලන්ගේ මන්ත්‍රීධුර අහිමිවිය.
කෙසේ වෙතත් එම දෝෂාභියෝගයට අත්සන් කර නැවත ආපස්ස ගැසූ එස්.ඒ. මුතුබණ්ඩා සහ ආරියරත්න ජයතිලකද අවසානයේ ප්‍රේමදාස විසින් පක්ෂයෙන් නෙරපනු ලැබීය. මෙය නසීර්ට පෙර මන්ත්‍රීධුර අහිමි වූ අවසන් සිදුවීම විය. ඊටපසුව සිදුවූ සියල්ල මන්ත්‍රී ධුර අහිමි කිරීමේ ක්‍රමවේදය නිසි ලෙස පක්ෂවලින් සිදු නොකිරීම නිසා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරය බේරිණි.
මන්ත්‍රීධුරය අහිමිවීමේ ක්‍රමවේදය බොහෝ විට සිදුවන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රබලත්වය අනුවය. මේ වනවිට ලංකාවේ ප්‍රබලතම පක්ෂ ව්‍යවස්ථාව හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටය. ඒ බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. පක්ෂයේ ව්‍යවස්ථාවේ ප්‍රබලත්වය නිසා නසීර්ට අධිකරණයෙන් ආරක්ෂාව ලැබුණේ නැත. කෙසේ වෙතත් අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත්, සජබයෙත්, ශ්‍රීලනිපයෙත් පක්ෂ ව්‍යවස්ථා එතරම් ප්‍රබල බවක් පෙනෙන්නට නැත .එතරම් පක්ෂයේ විනය කඩකරමින් එහාට මෙහාට පනින අය ගොඩක් හිටියත් ඒ කිසිවකුට තවම පක්ෂයෙන් ගත් දැඩි තීන්දු නැත. ඒ නිසා නසීර් අහමඩ්ගේ තීන්දුව අනෙකුත් පක්ෂවලටද එලෙසම බලපානු ඇතැයිද කිවයුත්තේ අධිකරණයයි.
ඉතිහාසයේ ගාමිණි දිසානායකට, ලලිත් ඇතුළත් මුදලිට මන්ත්‍රීධුර අහිමි වුණත්, පසු කලෙක 18 ව්‍යවස්ථා සංශෝධනයට 2/3ක බලයක් ලබාදීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එජාපයෙන් එකතු වූ ලක්ෂ්මන් සෙනවිරත්න, මනුෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, උපේක්ෂා ස්වර්ණමාලි, නිමල් විජේසිංහ, අබ්දුල් කාදර් යන අයව පක්ෂයෙන් ඉවත් කිරීමට හැකිවූයේ නැත. පසුගිය කාලෙක එජාපයේ සිට ආණ්ඩුවට එක්වුණු කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද සමරසිංහ සහ රෝහිත බෝගොල්ලාගම යන අයටද පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගත්තත් පක්ෂයෙන් ඉවත් කිරිමට හැකියාවක් වුණේ නැත. ඒ හැම මොහොතකම පක්ෂයෙන් ඔවුන්ට ගත් විනය ක්‍රියාමාර්ග පටිපාටියේ අවුල් සහගත තැන් ප්‍රශ්න ගතවිය.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇත. එනම් පක්ෂය විසින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ පසුව ඒ සම්බන්ධයෙන් වහාම පක්ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දෙනු ලබයි. එහෙත් මැතිවරණ කොමිසම දින 21ක් යනතුරු එය පිළිගන්නේ නැත. ඒ මන්ත්‍රීවරයාට දිසා අධිකරණයක් තුළ ඒ සම්බන්ධයෙන් වාරණයක් ගැනීමේ අයිතිය ලබාදෙමිනි. එසේ ලබා නොගතහොත් කොමිසම විසින් ඒ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දෙනු ලබයි. මෙය ව්‍යවස්ථාවේ 99(13) පරිච්ඡේදයේ හරියටම දන්වා ඇත. ඒ සියල්ල තීන්දු වන්නේ පක්ෂ ව්‍යවස්ථාව මතය.
ඒ නිසා නසීර් අහමඩ්ගේ තීන්දුව අනෙකුත් පක්ෂවල සාමාජිකයන්ට කෙසේ බලපාන්නේද යන්න ප්‍රශ්නයක් ඇත. සන්ධානගතවූ පක්ෂ, සන්ධානයෙන් ඉවත් වූ පමණින් ඔවුන් පක්ෂයෙන් නෙරපිය නොහැක. ඒ ඔවුන් ගිවිසුම්ගතව ඇති නිසාය. පක්ෂ සාමාජිකත්වය ගත් බොහෝ දෙනාට පක්ෂ විනය බලපානු ඇත.ඒ නිසා ඒ පක්ෂ විනය මන්ත්‍රීධූරය අහිමි කරවීම දක්වා රුගෙන ආ හැක. කෙසේ වෙතත් ඒ සියල්ල අධිකරණයේ අභියෝග කිරීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවේ. එසේ නම් අද පාර්ලිමේන්තුවේ පීලිපැන්න අයට එය සිදුවේද? සියල්ල අධිකරණ තීන්දුව මත තීරණය වනු ඇත.
I ගයාන් ගාල්ලගේ