2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හොඳයි හැබැයි...

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි. 

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතුය. ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරාගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව එහි සඳහන්ය. ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවෙහි සඳහන්ය.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා කියා සිටියේ පවතින මැතිවරණ ක්‍රමය යම් ආකාරයකට වෙනස් කරන්නේ නම් එය වැදගත් පියවරක් බවයි. 

''ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු වන්නේ රටේ පවතින ගැටලුව නිවැරදිව හඳුනාගෙන එයට පිළියම් සෙවීම සඳහායි. මේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතින් පැහැදිලි වන්නේ පවතින ආණ්ඩුව අනාගතයේ තම බලය ආරක්ෂා කර ගැනීමත් විපක්ෂයේ පක්ෂ මංමුලා කිරීම සඳහාත් ආණ්ඩු පක්ෂය සහ විධායක ජනාධිපතිවරයා ගන්නා උත්සාහයක් ලෙසයි. ජනාධිපතිවරණය පවත්වන්නේ නැතිව ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු ක්‍රමයකට නැවත බලය හුවමාරු කරගෙන විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ විධායක අගමැතිවරයකු ලෙස කටයුතු කිරීම සඳහා කළ යුතු යම් සංශෝධන පිළිබඳවද සාකච්ඡා පැවැත්වෙන බව අසන්නට ලැබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් විය යුතුය යන සමාජ මතය නිසා නොව, විධායක ජනාධිපතිවරයාට හෝ ආණ්ඩු පක්ෂයට නිශ්චිත බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වේය යන සැකය ඔවුන් තුළ පවතින බැවින්. ඔවුන් මේ උත්සාහය ගන්නේ යම් ආකාරයකට තමන්ට වාසිදායක පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහායි.

පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රී සංඛ්‍යාව 225යි. එම සංඛ්‍යාව අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවිය යුතුයි. පසුගිය කාලයේ සීමානිර්ණ කමිටු වාර්තා නිරීක්ෂණය කිරීමේදීත් එය තහවුරු වෙනවා. දැනට සිදුවිය යුතු ප්‍රධානම වෙනස්කම් විය යුත්තේ ජාතික ලැයිස්තුවට පත්කර ගන්නා 29 දෙනාට සැබෑ වෘත්තිකයන් හා බුද්ධිමතුන් පිරිසක් පත්කර ගැනීමයි. එමෙන්ම දැනට පවතින පාර්ලිමේන්තු ක්‍රමය තුළ 40%ක් පමණ කොට්ඨාස මට්ටමින් හා 60% පමණ සමානුපාතික ක්‍රමයෙනුත් තෝරා ගැනීමට හැකිනම් වඩාත් හොඳ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත හැකි වේවි. අපේ රටේ පවතින ගැටලුවලට මුහුණ දීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ ක්‍රමය ඉතාමත් වැදගත් සහ ප්‍රමාණවත් කියලයි මැතිවරණ නිරීක්ෂකයකු ලෙස මා සිතන්නේ. ප්‍රශ්නය පවතින්නේ මැතිවරණ ක්‍රමයේ නොවෙයි. ජනතාව සැබෑ නියෝජිතයන් තෝරා නොගැනීම හා දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති නිසා දේශපාලන පක්ෂ ජනතාවට සැබෑ නියෝජිතයා තෝරා ගැනීමට ඇති ඉඩකඩ වළක්වාලීම නිසයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. කුමන මැතිවරණ ක්‍රමයක් ආවත් නියෝජිතයන් තෝරන්නේ පක්ෂ ලේකම්වරුන් නම් කවර කතාද? මුදල් බලයට කුඩුකාරයන්, අරක්කුකාරයන්, වංචනිකයන්ට නාමයෝජනා දෙනවා නම් ජනතාව කොහොමද හොඳ කෙනෙක් තෝරාගන්නේ. ශ්‍රී ලංකාවේ සමාජ සංස්ථාව බිඳවැටිලා. නීතියේ ආධිපත්‍යයක් නැහැ. වෙනස් කළ යුත්තේ මැතිවරණ ක්‍රමය නොව මේ තත්ත්වයයි.'' යනුවෙන් සඳහන් කළේය.

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් සිටින අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙති. සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරාගනු ලබති. කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නිර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා සඳහන් කළේ 1947 සිට සීමා නිර්ණ කොමිෂන් සභා පහක් පැවැති බවයි. ඒවා සියල්ල පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පමණක් වූ අතර පාර්ලිමේන්තුවට වසර 40කින් පමණ සීමා නිර්ණ කොමිෂන් සභාවක් නිර්මාණය කර නොමැති බවද සඳහන් කළේය.. ඕනෑම මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක මූලික සාධක කිහිපයක් ඇති බවත් ඉන් එකක් සීමා නිර්ණය කමිටුව බවද, දෙවැන්න මැතිවරණ ඒකකයේ ප්‍රමාණය සහ තෙවැන්න ඡන්ද පත්‍රිකාව බවද ඔහු සඳහන් කළේය. දැනටමත් ආචාර්ය තමිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමේ සීමා නිර්ණය කොමිෂන් සභාවත් පවතින අතර එය ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවක් වන බැවින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සීමා නිර්ණය කිරීමට එම කමිටුවෙන් වාර්තාවක් ලබාගෙන එම කාර්යය සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දෙයි. කෙසේ නමුදු එවැනි වාර්තාවක් ලබාගැනීමට පෙර මැතිවරණය පවත්වන්නේ කුමන මැතිවරණ ක්‍රමය යටතේද යන්න පිළිබඳව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අප වැඩිදුරටත් අදහස් විමසා බැලුවේ හිටපු මැතිවරණ කොමසාරිස් හා වර්තමානයේ ලංකා මැතිවරණ වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙනි. ඔහු සඳහන් කළේ දැනට පවතින ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට වුවද සීමා නිර්ණයක් සිදු කළ යුතු බවයි. තම අදහස වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 225 තෝරාගත යුත්තේ කොට්ඨාස මට්ටමින් 125ක්, සමානුපාතිකව 75ක් සහ ජාතික ලැයිස්තුවෙන් 25ක් වශයෙන් බවද, සීමා නිර්ණයක් සිදුකොට කොට්ඨාස 125ක් නිර්මාණය කොට පහසුවෙන් එම කාර්යය සිදුකළ හැකි බවද ඔහු සඳහන් කළේය. 

''පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හෝ ජනාධිපතිවරණ ක්‍රමය හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් කතා කරන එක හොඳයි. දැනට වසර 10කට අධික කාලයක් මුළුල්ලේ සමානුපාතික ක්‍රමය වෙනුවට මිශ්‍ර සමානුපාතික ක්‍රමය පැවතිය යුතු බවට කතාබහක් පවතිනවා. ඒ නිසා එහි වෙනසක් සිදුවීම වැදගත්. දැන් සීමා නිර්ණයක් කළොත් එය 2025 වගේ කාලයේ තමයි අවසන් කළ හැකි වන්නේ. ඒ කාලෙට යම් ප්‍රශ්නයක් මතු වුණොත් පාර්ලිමේන්තු ඡන්දයත් කල් දාවි. ඒ නිසා කලින් සීමා නිර්ණය අවසන් කළ යුතුයි. සීමා නිර්ණය පාර්ලිමේන්තුවේ අනුමත නොවුණහොත් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතුයි. ඒ සියල්ලටම පෙර වැදගත්ම කරුණ වන්නේ අතුරුදන් කර තිබෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පවතින ක්‍රමයට පැවැත්වීමයි. නිලධාරි පාලනය යටතේ මහජන නියෝජිත ආයතන පැවතීම නිසා නිලධාරින් විසින් මහජන මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කිසිවකුට වගකීමක් නැහැ. කිසිදු නිලධාරියකුට ජනතා අනුමැතියක් නැහැ. එහෙත් මහජන නියෝජිතයන් ජනතාවගේ අනුමැතියකින් පත්වන අයයි. නිලධාරි පාලනය යටතේ පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් පවා තිබෙනවා. නිලධාරින් යටතේ ඒවා පවත්වාගෙන යාම වැරදි බවත් ඒ සඳහා කඩිනමින් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවත් අධිකරණය සඳහන් කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත වුණේ 2022 පෙබරවාරි මාසයේ. 2017 සිට පළාත් සභා තුනක්, 2018 සිට තුනක් සහ 2019 සිට තවත් තුනක් පවතින්නේ නිලධාරි පාලනය යටතේ. පළාත් සභා මැතිවරණ කල්ගියේ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුව විසින් අනුමත නොකළ අවස්ථාවේ කළ යුතු සමාලෝචන කමිටු වාර්තාව ඉදිරිපත් නොවීම නිසයි. එම පනතේ සංශෝධන සිදුකර සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කොට ඒ අනුව මැතිවරණ පැවැත්විය හැකියි. එසේ නොමැති නම් සුමන්තිරන් මහත්මයා ඉල්ලපු ආකාරයට පැරණි ක්‍රමයට එය පැවැත්විය හැකියි. ඒ නිසා නොතියපු ඡන්ද ටික තියලා ඊටපස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි වැදගත්.'' යනුවෙන් සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා