අදින් දශක හතරකට එපිටදී ඉන්දියාවට යාම මහ කජ්ජක් වුණේ නැත. වන්දනාකරුවන් මෙන්ම සාරි සහ වෙනත් බඩු ගෙන ඒමට යාමට පුරුදුව සිටි මුදලාලිලාද ඉන්දියාවට ගියේ තලේමන්නාරම් තොටින් පිටත්වන තැපැල් නැවෙනි. ඒ සඳහා වැය වූයේද සුළු මුදලකි. එවකට කොටුව දුම්රිය ස්ථානයෙන් ඉන්දියාවේ මදුරාසියේ (චෙන්නායි) එග්මෝර් දක්වා දුම්රිය ටිකට්පත් ලබාගත හැකි විය. කෝච්චියෙන් තලේමන්නාරම දක්වා පැමිණ එතැන් සිට නැවේ ධනුෂ්කොඩි දක්වා ගොස් යළිත් දුම්රියේ නැගි රාමේෂ්වරම හරහා මදුරාසියට යා හැකි විය. කොටි කලබල උත්සන්න වූ විට මේ නැව් ගමන අත්හිටුවීමෙන් සිදුවූයේ විශාල පාඩුවකි.
යළිත් පුරාණ ඉන්දියා නාවික ගමන සිහිපත් කරමින් ඉන්දියාවේ නාගපට්ටනම් සිට කන්කසන්තුරේ දක්වා පසුගිය ඔක්තෝබර් 12දා නාවික ගමනක් ආරම්භ විණි. ඊට පෙර 8දා එහි අත්හදා බැලීමේ චාරිකාවක්ද සිදුවිය. මෙම නාවික ප්‍රවාහන සේවය සතියකට දින තුනක් ක්‍රියාත්මක වීමට නියමිතය. විවිධ හේතු මත මාස හයකට පමණ ආසන්න කාලයක් ඇදෙමින් ගිය මේ නාවික ගමන පසුගියදා ඇරඹුණු අතර ඒ අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්විය.
එහිදී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි:
''මේ යාත්‍රා සේවය දෙරට අතර ඇති දිගුකාලීන ආර්ථික සහ සංස්කෘතික සබඳතා ජීවමාන කරනවා. අපි දෙරට අතර ඇති ආර්ථික සබඳතා පිළීබඳව දූරදර්ශී එකඟතාවකට පැමිණියා. ශ්‍රී ලංකාව සමඟ පරිගණක ක්ෂේත්‍රය සහ බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධව කටයුතු කරනවා. ඉන්දියාවේ යූපීඅයි සහ ඩිජිටල් ගෙවීම් බහුලව භාවිත කරනවා. බලශක්ති සුරක්ෂිතතාව අපේ රවටලට ඉතා වැදගත්. බලශක්ති සුරක්ෂිතතාව සහ විශ්වසනීය ගනුදෙනු සඳහා අපි බලශක්ති ජාල සම්බන්ධ කරනවා. රාමේෂ්වරම සහ තලේමන්නාරම අතරත් යාත්‍රා සේවයක් සඳහා අපි පියවර ගන්නවා. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් මතක් කළ යුතුයි.''
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේ ඉන්දියාවට සහ ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමට මෙය ඉතා වැදගත් බවයි. යුද්ධය නැවති ඇති නිසා සමුද්‍ර සබඳතා යළි ආරම්භ කළ හැකි බවත් බොහෝ පිරිසක් මෙය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවේය.
මෙම ගමනට එක්වූයේ ඉන්දියාවට අයත් චෙරියපානි නම් අධිවේගී යාත්‍රාවයි. එය 2006දී නිෂ්පාදිත යාත්‍රාවක් වන අතර බර ටොන් 396කි. ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් එය දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6ක් වේ. මංගල ගමන ඉන්දියාවේ නාගපට්ටනම් වරායෙන් 12දා උදේ 8.15ට පිටත් වූ අතර මගීන් 50ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ඊට අයත් වූහ. නැව කන්කසන්තුරේ වරායට පැමිණියේ එදින පස්වරුවේය. මේ නාවික ගමනට පැය 4ක් ගතවන අතර නැවේ මගීන් 150 දෙනකුට ගමන් කළ හැකියි. යළිත් සවස එය ඉන්දියාව බලා ගමන් කෙරිණි. එය කන්කසන්තුරේ ජැටියට පැමිණී අවස්ථාවේ නාවික යාත්‍රාවේ මගීන් සහ නිලධාරින් පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්විණි.
නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750ක් ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500ක් ද අය කරනු ලබයි. මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමන් විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේ ද ගමන් ප්‍රවේශ පත් අලෙවි නියෝජිතයකු පත්කර ඇති බව එම සමාගම සඳහන් කර ඇත.
යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450ක වියදමකින් නවීන පහසුකම්වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර තිබේ. මෙම පර්යන්තය තුළ ආගමන විගමන රේගු, සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.
ඉන්දියාවට යාමට අපේක්ෂා කරන අයකුට හෝ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන අයකුට ඊට අදාළ සාමාන්‍ය නීත්‍යානුකූල ලියකියවිලි (වීසා, ගමන් බලපත්‍ර) අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව මෙම සංචාරයට එක්වීමේ අවස්ථාව හිමිකර ගත හැකිය.
දැන් අපි අලුත් යාත්‍රා ගමන ගැන කතාකරන අතර කලකට පෙර අපේ රටේ ක්‍රියාත්මක වූ ඉන්දු ලංකා නාවික සහ දුම්රිය ඒකාබද්ධ සේවය ගැන විමසා බලමු. එවකට ඉන්දියාව සහ ලංකාව අතර පැවති මේ ගමන හැඳින්වුණේ ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමිනි. එය බ්‍රිතාත්‍ය යටත්විජිත යුගයේ ආරම්භ වූවේ තැපැල් ප්‍රවාහනයට සහ වතුකම්කරුවන් ප්‍රවාහනය මුල්කර ගෙනයි.
තලෙයිමන්නාරම සිට ධනුස්කොඩිවලට ඇත්තේ කි.මී. 32ක පමණ දුරක් වන අතර මුහුද මැද තිබූ ධනුස්කොඩි නගරයට ආසන්න පම්බන් දූපත ඉන්දියාවට මාර්ග ඔස්සේ සම්බන්ධව නොතිබුණි. එකල ද්‍රවිඩ කම්කරුවන් මදුරාසියේ සිට දුම්රියෙන් තූත්තුකුඩිය වෙත රැගෙනවිත්, එතැන් සිට දුම් බෝට්ටු මඟින් කොළඹට රුගෙන ඒම සිදුවිය. තූත්තුකුඩියේ සිට කොළඹට දුර කි.මී 270ක් වන අතර ඒ සඳහා වැඩි කාලයක් සහ මුදලක් ද වැය විය. පහසුවෙන් කම්කරුවන් ලංකාවට ප්‍රවාහනය කිරීමට බ්‍රිතාන්‍යයන් සැලසුම් කළේ පම්බන් දූපතට කි. මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් දැමීමෙනි. පම්බන් දූපත හරහා තලෙයිමන්නාරම වෙත නාවික ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම ඉන්පසු සිදුවිය.
පම්බන් මුහුදු පාලම විවෘත කළ දිනය වුණේ 1914 පෙබරවාරි 24 වැනිදා යි. එදා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවයද ආරම්භ විය. එදා මදුරාසියේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8ට පිටත් වුණු දුම්රිය පසුදින සවස 3ට පමණ වනවිට ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ ජැටිය වෙත පැමිණියේය. දුම්රියෙන් පැමිණෙන මඟීන් සහ භාණ්ඩ සහ ලියුම් දුම් බෝට්ටු දෙකකින් තලේමන්නාරමට ප්‍රවාහනය කිරීම සිදුවිය. මේ ගමනට ගතවූ කාලය පැය 3කි. යාත්‍රාවලින් පැමිණි මඟීන් සහ භාණ්ඩ රාත්‍රී තැපැල් දුම්යෙන් කොළඹට ප්‍රවාහනය කෙරිණි. මෙම ප්‍රවාහන සේවය එකල ඉතා ජනප්‍රියව පැවති අතර එය සෑම දිනකම ක්‍රියාත්මක විය. කොටි ත්‍රස්තවාදී කලබල නිසා 1985 වනවිට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාව අත්හිටුවිණි.
දැන් යළිත් දඹදිව යන අයට වගේම වෙනත් සංචාරවලට ඉන්දියාවට යන අයටත් පහසුවෙන් නැවෙන් යාමට අවස්ථාව හිමිවී ඇත. ඒත කනගාටුවට වගේ මේ දවස්වල ඉන්දියාවට තබා නෑගෙදරකටවත් යාමට අපේ රටේ වැඩිදෙනකු අතේ සල්ලි නම් නැත.
I කුසුම්සිරි විජයවර්ධන