2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මට ඒගොල්ලො ගහනවා: ඒගොල්ලො මට ගහනවා

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

පෞද්ගලික කාර්යාල පරිශ්‍රයකි. ආයතන හිමිකරු හා බිරිය මේස දෙකක් අසල වාඩිගෙන සිටිති. හිමිකරු ඉදිරිපිට වන තරුණ සේවිකාවකි. හදිසියේම නැගිට එන හිමිකරු වැරෙන් තරුණියට පහරදෙන අතර පා පහර කිහිපයක්ද එල්ල කළේය. එකපිට එක පහර දෙමින් පසුපසට යන හිමිකරු හමුවේ තරුණිය නවතින්නේ ජනේලයක් සහිත බිත්තියක් අසලය. එතෙක් වෙලා වාඩිගෙන බලා උන් ආයතන හිමිකරුගේ බිරිය නැගිටවිත් තරුණියට වැරෙන් පහර දෙන්නීය. නැවතත් වේගයෙන් එන හිමිකරු ප්ලාස්ටික් පුටුවකින් අවස්ථා කිහිපයකදීම පහර දෙන්නේය. තරුණියගේ කෙස්වැටියෙන් අල්ලා බිම පෙරළා පහරදෙන අතරමැද බිමින් අහුලාගත් යමකින්ද දමා ගසන්නේය. මේ අතර කාර්යාල පුටුවක්ද ඔසවා ඇයට දමා ගසන්නේය.

හැඩිදැඩි පුරුෂයකුගේ සහ කාන්තාවකගේ දැඩි ප්‍රහාර මැද්දේ අසරණ වී ගුටි කනවා විනා පහර කෑ තරුණිය එතැනින් පලා යන්නට දරන උත්සාහයක් හෝ දකින්නට නැත. පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණියකට අමානුෂික අයුරින් පහරදෙන ආකාරය දැක්වෙන මෙම සී.සී.ටී.වී. දර්ශන පෙළ සමාජ මාධ්‍ය තුළ මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් හරහා ද ප්‍රදර්ශනය කෙරිණි. මේ නිසා වඩාත් ජනගතව ප්‍රසිද්ධියට පත් වීඩියෝව දෙස කවුරුත් බැලුවේ සංවේදී වෙමිනි.

වාර්තා වන ආකාරයට මෙකී තරුණිය පහරකෑමට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. අවස්ථා කිහිපයක් වසර ගණනක් තිස්සේම මෙසේ ම්ලේච්ඡ ලෙස පහරකෑමට ලක්ව ඇති බව කියැවේ. ඒ බව දුටු ඇතැම් පුද්ගලයන් මේ පිළිබඳව අවධානයෙන් පසුවී ඇතත් ඔවුන්ට ගත හැකි පියවරක් නොවූ බව කියැවේ. කෙසේ වෙතත් එම ආයතනයේ සේවය කරන සේවකයකු මෙම අයුතු ක්‍රියාව දැක ඉවසන්නට බැරිම තැන යම් උත්සාහයක නිරතව ඇතැයි කියති. ඒ අනුව ඔහු සිදුකර ඇත්තේ කාර්යාල පරිශ්‍රයේදී සිදු කළ පහරදීමක් පටිගත වී ඇති සී.සී.ටී.වී. දර්ශනයක කොටසක් අන්තර්ජාලය වෙත මුදාහැරීමය.

එම වීඩියෝව අන්තර්ජාලය තුළ වේගයෙන් සංසරණය වීම හරහා ඊට සමාජයේ වඩාත් අවධානයක් යොමුවිය. මේ අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද හදිසි දුරකතන ඇමතුමකින් දන්වා තිබුණේ අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝව පිළිබඳවය. සිදුවීමට කිසිදු සබඳතාවක් නැති තෙවැනි පාර්ශ්වයක් ඔස්සේ ලද තොරතුර අනුව පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබුණි. එවැනි මොහොතක කඳාන පොලිසිය වෙත පැමිණි තරුණියකි.

''අන්තර්ජාලයේ තරුණියකට ගහන වීඩියෝවක් සංසරණය වෙනවා. ඒකෙ ගුටි කෑවෙ මමයි. මම ඒ ගැන පොලිසියටවත් වෙන කොහේටවත් පැමිණිලි කරන්න ගියේ නෑ. දිගටම වීඩියෝ එක ෂෙයාර් වෙන නිසයි පැමිණිලි කරන්න ආවේ. ඒ ගහන අය මගේ ඥාතින් වෙනවා. අනික මම වැඩ කරන්නෙ ඒ අයට අයිති ඔෆිස් එකේ.'' යනුවෙන් ඇය දීර්ඝ විස්තරයක් කොට තිබුණි.

මේ අනුව ක්‍රියාත්මක වූ කඳාන පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකාර යුවළ සොයා කඳාන නාගොඩ ප්‍රදේශයට පිටත් වූහ. ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශයේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේදී සැකකාර යුවළ අත්අඩංගුවට ගනු ලැබූහ. එම දෙපළ කසුන් මධුශංක හා ප්‍රසර්ශනී අරුණාලි නැමැති අඹුසැමි යුවළ බවටත් KD Express යන කුරියර් සේවා ආයතනයේ හිමිකරු හා හිමිකාරිය බවටත් හඳුනා ගැනිණ. 

මොවුහු දෙපළ ලිප්ටන් පාර ප්‍රදේශයේ නිවෙසක පදිංචිව සිටිමින් ඊට නුදුරු ස්ථානයක ඉහත ව්‍යාපාරය පවත්වාගෙන යති. පිටස්තර ගනුදෙනුකරුවන්ට අයත් භාණ්ඩ ප්‍රවාහනය කරන අතර අන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුමට අයත් භාණ්ඩ බෙදාහැරීමටත් මෙම ආයතනය විසින් කටයුතු කරන බව පැවසේ. ඒ අනුව එම ආයතනය තුළ පහරකෑමට ලක්වූ තරුණිය වසර 3 ක පමණ කාලයක් සේවය කොට ඇති බව පොලිසිය හමුවේ කියා ඇත. එම තරුණිය ආයතනය හිමි යුවළගේ ළඟම ඥාතීන් බවත් එබැවින් ඔවුන්ගේ නිවෙසේ නැවතී සිට සේවය කරන බවත් කියැ ඇතැයි පැවසේ.

පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පහරකෑමට ලක්වූ තරුණිය 19 හැවිරිදි බවත් පහරදුන් ආයතනය හිමිකරු හා හිමිකාරිය 36 වැනි වියේ පසුව බවත්ය. මෙකී තරුණිය එහි සේවයට පැමිණි දා පටන් අවස්ථා කිහිපයකදී මෙසේ හිංසනයට ලක්ව ඇති බවද අමානුෂික පහර කෑමට ලක්වුවද ඒ බව කිසිවකුට හෝ කියා නැති බවද හෙළි වී ඇත. එපමණක් නොව පහරකෑමට ලක්වූ ඇය එම ස්ථානයෙන් පලා යාමට හෝ උත්සාහ දරා නැත. රුකියාවේ නිරත වී වැටුපක් ලබාගැනීමේ අරමුණෙන් පමණක් ඇය කල් ගෙවා ඇති බවද හෙළිව ඇත. සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සැකකාර යුවළ පවසා ඇත්තේ ළඟම ඥාතියකු වන තරුණිය සිය නිවෙසේ නැවතී සිටින බවත් ආහාරපාන සියල්ල ලබා දී සේවය කරන අතරතුර ඇගෙන් වූ වරදක් නිසා කෝපයට පත්වී පහර දුන් බවත්ය.

කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කිරීමට නියෝග කරනු ලැබීය. පහරකෑමට ලක්වූ තරුණියගේ මව හා පියා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවට වාර්තා වන අතර අමානුෂික පහරකෑමට ලක්වූ තරුණිය වෙනුවෙන් ලාභ අපේක්ෂාවෙන් තොරව පෙනී සිටීමට පැමිණි කාන්තා සංවිධානවලට පහර කෑ තරුණිය හා ඇගේ ඥාතීන් විරෝධය ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඇය හා ඥාතීන් කඳාන පොලිසියට ගිය බවද වාර්තා වේ. කෙසේ වෙතත් වාර්තා වන්නේ අගතියට පත් තරුණියට ව්‍යාපාරික යුවළ හා සමාදාන වීමට අවශ්‍යතාවක් නොතිබූ බවය. නමුත් ඇගේ මව හා පියාගේ දැඩි ඉල්ලීම මත ඊට එකඟ වූ බව ඒ අවස්ථාව දුටු කාන්තා සංවිධානයක් පෙන්වා දී තිබිණි.

මේ ආකාරයට කාන්තාවකට කළ පහරදීමක් පිළිබඳ වීඩියෝවක් මීට පෙරද අන්තර්ජාලයේ සංසරණය විය. එම සිදුවීම බොරුල්ල නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසලක සිදුවූවකි. එහි පැමිණි කාන්තාවක කිරිපිටි පැකැට්ටුවක් සොරාගත්තා යැයි පවසා ඇයට පහර දී තිබුණේ එහි කාර්ය මණ්ඩලය විසිනි. පහරකෑමට ලක්වූ තරුණියගේ උඩුකය නිරුවත් කොට පහරදීම දක්වා සිදුවීම වර්ධනය වී තිබූ අතර එම සිද්ධිය හා කාන්තාව වෙනුවෙන් පෙනී සිටීමට සිවිල් සංවිධාන ගණනාවක් කටයුතු කොට තිබුණි.

මාස කිහිපයකට ඉහත තවත් මේ ආකාරයේ දර්ශනයක් අන්තර්ජාලයේ සංසරණය විය. එය කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ නිමිඇඳුම් අලෙවිසලකි. එන ප්‍රධාන පිවිසුම අසල පාරිභෝගිකයකු හා ආයතනයේ කාර්ය මණ්ඩලය අතර වූ ගැටුමක් දර්ශනය විය. එතැනදී ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් පාරිභෝගිකයකුට පහරදෙන බව දකින්නට ලැබිණ. එම ගැටුමට හේතුව පාරිභෝගිකයන් පැමිණි මෝටර් රථය අවහිර වන ලෙස වෙනත් රථයක් නවතා තැබීම හා එය ඉවත් කර දෙන ලෙස ආයතනයෙන් ඉල්ලා සිටීම මත වූ කතාබහ දුරදිග යාමක් බව කියැවිණි.

මේ අයුරින් ආයතනයක සේවකයකු හෝ පැමිණෙන පාරිභෝගිකයකු අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් සිදුවීමට ඉඩ ඇත. එහෙත් කිසිවකුට හෝ අමානුෂික ලෙස පහරදීම සුදුසු නොවේ. එවැනි අවස්ථාවක ඇවැසි නීතිමය පියවර ගැනීම සඳහා පොලිසිය දැනුම්වත් කිරීම සුදුසුම ක්‍රමයයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02