අන්තර් මෝසම් වැහි ලැබෙන කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවේ. සාමාන්‍යයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දෙවැනි අන්තර් මෝසම් වැසි සමය ඇතිවේ. මේ කාලය තුළ ඇතැම්විට අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීරෂ්වර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
''මෙවැනි දෙවැනි අන්තර් මෝසම් වැසි තත්ත්වයකදී කෙටි කාලයක් තුළදී අධික වැසි ප්‍රමාණයක් ඇතිවෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙසින් කොළඹ වැනි නගරයක් තුළ පැය දෙකක් තුළදී අධික වර්ෂාවක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී මේ ඇදහැලෙන වර්ෂාව එකතු වී ඒ ප්‍රදේශයේ ඇති තරමක් පහත් බිම්වල ජල මට්ටම වැඩිවෙන්නට පුළුවන්. එය සුළු ගංවතුරක් ලෙසින් හඳුනාගන්න පුළුවන්.'' යැයි සුගීෂ්වර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පසුගිය වර්ෂාවත් සමඟ මාර්ගවල ජලය වැඩිවශයෙන් එක්රුස් වී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවුණි. එමෙන්ම මීට මාස තුනකට පමණ පෙර මහනුවර නගරයේ ජල මට්ටමද ඉහළ ගියේය. එහිදී එක් දිනකදී උදෑසන හයට පමණ ආරම්භ වුණ අධික වර්ෂාවත් සමඟ උදෑසන අට පමණ වනවිට මහනුවර නගරයේ ඇතැම් පහත් බිම් ජලයෙන් පිරී නිවෙස් පවා යටවුණි. එමෙන්ම මෑතකදී අකුරණ නගරයේදී ජල මට්ටමද ඉහළ ගොස් තිබිණි. මේ සියල්ලෙහිම ජල මට්ටම ඉහළ යාමට හේතුව ඇදහැළුණ වර්ෂාවෙන් එක්රුස් වූ ජල ප්‍රමාණයයි.
මේ අනුව මහනුවර, ගාල්ල, පුත්තලම, කොළඹ වැනි නගර ආශ්‍රිතව කෙටිකලක් තුළදී අධික වැසි ඇතිවී ක්ෂණික ගංවතු තත්තව්යක් ඇතිවිය හැකි බව ඔහු වැඩිදුරටත් දේශයට පැවසීය.
''මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර අනතුරු ඇඟවීමට අමාරුයි. ගංගාවන් පිටාර ගැනීමට පෙර ඒ සඳහා මුල් අනතුරු අඟවීමක් අපිට කිරීමට හැකිවෙනවා. අඩුම තරමින් පැය විසි හතරකට පමණ පෙර ඒ සඳහා අනතුරු ඇඟවීමට පුළුවන්. ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් ඇති උපකරණ මගින් ඒ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් අපිට ලැබෙනවා. ඒවායේ වෙනස්වන තොරතුරු ක්ෂණිකව අපිට ලැබෙනවා. ඒ නිසා ගංගාවල් පිටාර ගැලීම සම්බන්ධයෙන් බොහෝවිට අනතුරු අඟවන්නට අපිට පුළුවන්. නමුත් ක්ෂණිකව ඇතිවන වර්ෂාවත්, ගංවතුර අතර තත්ත්වයේදී අනතුරු ඇඟවීමට ලොකු කාලයක් ලැබෙන්නේ නැහැ. නාගරික ප්‍රදේශවල ඇතිවීමේදී මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට අපහසු නිසා මහජනතාව එවැනි තත්ත්වයක් ඇති විය හැකි බව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ වැසි සමයේදී මාර්ගවල රථවාහන ධාවනය කරනා විටදී සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.'' යැයි එස්.පී.සී. සුගීෂ්වර මහතා වැඩිදුරටත් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න