2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

රාජ්‍ය බැංකු වෙන්දේසියේ

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 179

“අපේ ව්‍යාපාර ගණනාවක් දැන් බංකොලොත් වෙලා තියෙන්නේ. ව්‍යාපාර ගෙනියන බැංකු ටික අමාරැවෙන් ආරක්ෂා කරන්න තියෙන්නේ. අපිට පළමුවෙන්ම කරන්න තියෙන්නෙ රාජ්‍ය බැංකුත් පෞද්ගලික බැංකුත් ශක්තිමත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම. ඒ මාර්ගයෙන් අපිට පුළුවන් ව්‍යාපාර ගණනාවක් බංකොලොත්භාවය ඉවත් කරන්න."

මෙම කතාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී කීවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු එම කතාව කීවේ තරැණ පිරිසක් සමඟ මාර්ගගතව පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙම ප්‍රකාශයෙන් වසරක් ඉක්බිති 2023 ඔක්තෝබරයේ රාජ්‍ය බැංකු පිළිබඳ තවත් සුවිශේෂී පුවත් කිහිපයක් වාර්තා වෙමින් තිබේ.

“රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට" 
“රාජ්‍ය බැංකු හයක් හදිසියේ ප්‍රතිසංස්කරණය කෙරේ"
“ආණ්ඩුව බැංකු හයක් වෙන්දේසි කිරීමට සැරසෙයි"

දෙවැනි ශීර්ෂයන් යටතේ පුවත්වලට අනුව ලෝකයේ විශාලතම රාජ්‍ය බැංකු 30ට ඇතුළත් වන බැංකු දෙක ද ඇතුළුව රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය සැලසුම් කරමින් සිටින බව කියැවිණි. මුල් පියවර වශයෙන් රාජ්‍ය බැංකු, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අරඹා ඇතැයි ද වාර්තා පළවිණි.

කෙසේ වෙතත් මීට සති දෙකකට ඉහතදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩමුළුවකදී ලබාදුන් ලේඛනයක "රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කරන බවට" තොරතුරැ අන්තර්ගත වී තිබේ. සමාගම් පනත බැංකු සඳහා භාවිත කිරීම පිළිබඳව ද එම වැඩමුළුවේ සාකච්ඡා වූ බව කියැවේ.

එම වැඩමුළුවේ ලේඛනය පදනම් කොටගෙන දෙසතියකට ඉහතදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍ය මේ පිළිබඳව ඍජුවම ප්‍රශ්න කළේය. එහෙත් ඔවුහු එම කතාව පූර්ණ වශයෙන් පිළිගැනීමට සූදානම් නොවූහ. මෙම වැඩමුළුව පැවැත්වූ "රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයෙන්" (S.O.E Reform Unit) ඒ පිළිබඳ විමසිය යුතු බව කියා සිටියේය. කෙසේ වෙතත් රාජ්‍ය බැංකු පිළිබඳව වගකීම ඇත්තේ මහ බැංකුව වෙත බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ වැඩපිළිවෙළ තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කරලා තියෙනවා. බැංකු පනත සංශෝධනය කරන්න ඕනෑ. බැංකු පනත සංශෝධනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ බැංකුවල නියාමනය. හැමෝටම එක හා සමානව. මොකද අපි දකිනවා රාජ්‍ය බැංකු එක එක පනත් යටතේ තමා පිහිටුවලා තියෙන්නෙ."

මහ බැංකුව, මුදල් අමාත්‍යංශය කුමක් සඳහන් කළ ද රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානම පිළිබඳව වෘත්තීය සමිති ඇතුළු තවත් පාර්ශ්ව රැසක් විරෝධතා පළ කරමින් සිටිති. රජයට අයිති බැංකු හයක් ඇතුළු මූල්‍ය ආයතන නවයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල ලහිලහියේ සූදානම් කරමින් සිටින බව ඔවුහු සඳහන් කරති. මේ සඳහා වෙනම ආයතනයක් ද පිහිටුවා ඇති බව එම පිරිස් කියා සිටිති.

මෙම පිරිස් පළ කරන අදහස් අනුව බොහෝ විට නුදුරේම බැංකුවල රජය සතු කොටස් අලෙවි වනු ඇත. ඒවා මිල දී ගන්නා දේශීය හෝ විදේශීය පිරිස් ඔවුන්ට සිතැඟි පරිදි මූල්‍ය වෙළෙඳපොළ හැසිරවීමේ අවදානමක් ද පවතී. ඒ හරහා මහ බැංකුවේ මැදිහත්වීමට ඇති හැකියාව පවා දුර්වල විය හැකි බව ඔවුහු සඳහන් කරති.

ආර්ථිකයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්
ලංකා බැංකු සේවක සංගමය  ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කියන කාරණාව යටතේ ආයතන පනස් ගණනක් විකිණීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒක ඇතුළේ මේගොල්ලෝ රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණයක්  පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ලංකාවේ විශාලතම බැංකු දෙක වෙන ලංකා බැංකුව, මහජන බැංකුව වගේම ජාතික ඉතිරිකිරීමේ බැංකුව, HDFC බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව ආදී බැංකු සම්බන්ධව දැනට සාකච්ඡා වන බවට අපිට අනාවරණය වෙලා තියෙනවා.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන ආයතනවලිනුත් මේ පිළිබඳව නිවේදනය කරලා තියෙනවා. කොටස් නිකුතුව සම්බන්ධව නම් ස්ථිර අදහසක් මේ වෙනකොට ප්‍රකාශ කරලා නෑ. නමුත් මේ වගේ තත්ත්වයක් තිබෙන බවට අපිට කරැණු වාර්තා වෙලා තියෙනවා.

රාජ්‍ය බැංකු මේ රට තුළ නිර්මාණය කළේ නිශ්චිත දැක්මක් සහිතව. මහජනතාවට සහන ලබා දීම සහ ජනතාව සතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම එහි අරමුණ වුණා. විශේෂයෙන්ම සියයට 60 ක් විතර වෙන රටේ ආර්ථිකයට අතිශය වැදගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට උපකාර කිරීමට සිද්ධ වෙන්නෙ මේ හරහා.

මේ රටේ සුබසාධන ව්‍යාපෘති රාජ්‍ය බැංකු හරහා සිදුවෙන්නේ. මේ ළඟදි ආරම්භ කරපු අස්වැසුම පවා ගිණුම් තිබෙන්නේ රාජ්‍ය බැංකු තුළ. ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන මේ වගේ කටයුතු සිදු කරන්නෙ නෑ.

මෙවැනි තත්ත්වයක් තුළ රටේ සුබසාධනය සහ බැංකු පද්ධතිය රටේ ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ විශාල ගැටලු ඉදිරියේදී නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තීන්දුවක් හරහා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ තමා අපි පෙන්වා දෙන්නේ.

I චමිඳු නිසල් ද සිල්වා 

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:03