ඊශ්‍රායල පලස්තීන ගැටුම පිළිබඳ මුළුමහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ. සිදුවෙමින් පවතින දෑ පිළිබඳ යම් අවබෝධයක් බොහෝදෙනකු සතු බව පැහැදිලිය. එහෙත් මෙම අර්බුදයේ ගෝලීය බලපෑම කුමක්ද? ශ්‍රී ලංකාවට මෙම අර්බුදය හරහා බලපෑමක් තිබේද? ඒ කවරාකාරයේ බලපෑමක්ද? මෙවන් ගැටලු පිළිබඳ අප සාකච්ඡා කළ යුතුව ඇත. එම සාකච්ඡාව සඳහා විදෙස් පුවත් විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාව සම්බන්ධ කර ගතිමු.
''ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ඇතිව තිබෙන ගැටුම ඊට උඩින් ඇති පළල් ප්‍රශ්නයක එක් පැතිකඩක් පමණයි. මෙතන තිබෙනවා පලස්තීන ජනයාගේ භූමිය අහිමි වීම නිසා ඇති වූ දීර්ඝ කාලීන ගැටලුව. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය සිදුකළ රොකට් ප්‍රහාරය සහ ඊශ්‍රායලයට ඇතුළු වී සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම නිසා, දැන් ඉතා උණුසුම්ව යුද තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා එම කලාපයේ.''
මොහාන් සමරනායක මහතා පැහැදිලි කරන්නේ ලෝකයේ කවර තැනක හෝ සාමය කඩවීම විවිධ පරිමාවන්ගෙන් ලෝකයේ සෑම රටකටම බලපෑම් එල්ල කරන බවයි. මක්නිසාදයත් අද දවසේ අප ජීවත් වෙමින් සිටින්නේ අතිශයින් එකට බැඳුණු ලෝකයක් තුළය.
''අද අපි පරිභෝජනය කරන භාණ්ඩයක් ගතහොත් ඒ භාණ්ඩයේ නිර්මාණයට නිෂ්පාදනයට ප්‍රවාහනයට ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධ වෙනවා. ගෝලීයකරණය වූ ලෝකයක කවර හෝ ස්ථානයක සාමය කඩවීම සෙසු රටවලට ආර්ථික සාමාජීය වශයෙන් බලපෑමක්. විශේෂයෙන්ම විනිමය ආදායම් උත්පාදනය කිරීමට බලපෑම් කරනවා.''
ගෝලීයකරණය වූ ලෝකයක සාමයේ කඩවීමේදී වාසියක් ලබාගන්නේ ප්‍රධාන වශයෙන්ම අවි ආයුධ නිෂ්පාදකයන්ය. ඊට අතරව ලෝකය පාලනය කරන බලවත් ජාතීන්ට තම ශක්තිය තහවුරැ කර ගැනීමටද මෙවැනි ගැටුම් උපකාරීවන අවස්ථා තිබේ.
''දැන් ඊශ්‍රායල් හමාස් ගැටුම නිසා ඒ කලාපයේ යුද තත්ත්වයක් තිබෙනවා. ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළොත්, ඒ මෙහෙයුමේදී ගාසා තීරයට ඇතුළු වෙලා ගෙයින් ගෙට ගොස් හමාස්වරැ සොයන්නට ඉඩ තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.''
ගොඩබිම් ප්‍රහාරයේදී පැහැදිලිවම දැවැන්ත ජීවිත විනාශයක් සිදුවීමට ඉඩ තිබේ. හමාස් සංවිධානය ගාසා තීරයේ නිර්මාණය කර ඇති උමං පද්ධති ආදී සාධක රුසක් හේතුවෙන් මෙම සටන බරපතළ වනු ඇත. ඒ අනුව අසල්වැසි රටවලටද ගාසා තීරයේ යුද උණුසුම තදින් දැනෙනු ඇත.
''කෙසේ වෙතත් අප විස්තර කළ දැනට පවතින සටන් තත්ත්වය අපේ රටට දැඩිව සෘජුව බලපෑමක් කරන්නෙ නැහැ. දැනට තියන බලපෑම තමයි ඊශ්‍රායලය පලස්තීනය ඇතුළු අසල්වැසි රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ට අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වීම. ඒ අනාරක්ෂිත තත්ත්වයන් වර්ධනය වුවහොත් ඔවුනට නැවත රටට එන්නට සිදු වෙනවා.''
ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාව ඉන්දියාව ඇතුළු රටවල් පසුගිය දිනවල සිය පුරවැසියන් නැවත ගෙන්වා ගැනීමේ වැඩසටහන් දියත් කොට තිබුණි. එහෙත් මොහාන් සමරනායක මහත්මා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ එවැන්නක් සිදුකිරීම පහසු නොවන බවයි. කෙසේ වෙතත් එම රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැනට මව්රටට පැමිණීමට තරම් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී නොමැත.
''මේ සටන සහ එහි ගතිකයන්ගේ ස්වභාවය අනුව ආසන්න වශයෙන් හෝ ස්ථිර නිගමනයක් සිදුකරන්න හරි අපහසුයි. වහා වහාම මෙහි විචල්‍යන් සිදුවෙනවා.''
ඉරානය සහ අසල්වැසි රටවල මැදිහත්වීම පිළිබඳවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අවධානය යොමුකරයි. ඒය මෙම ගැටුම සම්බන්ධ තීරණාත්මක සාධකයකි.
''මෙතන වැදගත් කරැණක් තමා හමාස්වරැන්ට ඉරානයේ සහාය ලැබීම. ඉරාන ජනාධිපතිවරයා විවෘතවම එය ප්‍රකාශ කළා. බටහිර ආරංචි මාර්ගවලට අනුව හමාස්වරැන්ට අවශ්‍ය පුහුණුව, අවි ආයුධ, පහසුකම් ලැබෙන්නේ ඉරනයෙන්. ඉරානය තමයි දැනට මැදපෙරදිග තිබෙන ඇමෙරිකාවට කුමන හෝ ප්‍රමාණයකින් අවනත නැති රාජ්‍යය. ඉරානයට එරෙහිව ඇමෙරිකා සහ යුරෝපා සංගමය ඉතා බරපතළ සම්බාධක පනවා තිබෙනවා.''
මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් ඇමෙරිකාව පාලනය කළ කාලයේ පැහැදිලිවම ඉරානය ආක්‍රමණය කිරීමේ සැලසුමක් තිබූ බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය මැදපෙරදිග රාජ්‍ය හතක් සිය ආධිපත්‍යයට නතුකර ගැනීමට බලාපොරොත්තු විය. ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරීන් පවා තහවුරැ කොට තිබේ. කෙසේ වෙතත් ඉරානය ඔවුනට තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට නොහැකි විය.
''යම් හෙයකින් ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මේ ගැටුම ඉරානයට පහර දෙන්න හෝ ඉරානය පීඩනයට පත්කරන්න උපයෝගී කරගතහොත්, අප දැන් සිටිනවාට වඩා තත්ත්වය අහිතකර වනවා. ඉරානය ලෝකයේ තෙල් බලවතෙක්. ලෝකය හඳුනාගත් තෙල් නිධිවලින් සියයට 65ක් පමණ තිබෙන්නේ මේ ගල්ෆ් කලාපයේ. ඉරානය තුන්වැනි තැන සිටින්නේ තෙල් නිෂ්පාදනය අතින්. යම් හෙයකින් අර්බුදකාරී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුවහොත් තෙල් සැපයුමට බලපෑමක් එල්ල වෙනවා.''
ඒ අනුව ප්‍රහාරයක් හෝ පීඩනයක් එල්ල වුවහොත් ඉරානයට හොර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කිරීමේ හැකියාව පවතී. ගල්ෆ් කලාපය නිෂ්පාදනය වන ඉන්ධන වලින් විශාල ප්‍රමාණයක් ලෝකය පුරා බෙදා හැරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහාය. මෙය තීරණාත්මක සාධකයකි.
“ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වයක. යම් හෙයකින් මෙවැනි තත්ත්වයක් මත තෙල් සැපයුම සීමා වුණොත්, තෙල් මිල ඉහළ ගියොත් ශ්‍රී ලංකාවට සිදුවන දේ ඉතාම අනර්ථකාරීයි. ඒ පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. දෙවනුව ඉරානය මේ ගැටුමට සම්බන්ධ වුවහොත් කලාපයේ ඇතිවන අනාරක්ෂිත තත්ත්වය නිසා මේ කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ආපසු පැමිණීමට සිදුවෙනවා. එවැනි තත්ත්වයක දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට, අපනයන කර්මාන්තවලට පවා බලපෑම් එල්ල වෙනවා."
කෙසේ වෙතත් මොහාන් සමරනායක මහතා අවසානයේ සඳහන් කරන්නේ මෙම ගැටුම වර්ධනය වන ආකාරය අනුව ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවලට සිදුවන බලපෑම නිශ්චය කරගත යුතු බවයි. එහෙත් දැනට පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට විශාල අනර්ථකාරී බලපෑමක් එල්ල නොකරන බව සමරනායක මහතා පෙන්වා දෙයි.
I සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා