රුපියල් බිලියන 3860ක හෙවත් රුපියල් 3,860,846,788,000 ක රජයේ වියදම් ඇතුළත් 2024 අයවැය විසර්ජන පනත සභානායක සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා පසුගිය 5දා සාම්ප්‍රදායානුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම මුදලට රුපියල් බිලියන 2651 හෙවත් රුපියල් 2,651,422,273,000 ක පුනරාවර්තන වියදම් අඩංගු වෙයි. පුනරාවර්තන වියදම් යනු වැටුප් ගෙවීම ආදිය සඳහා වැයකරන එදිනෙදා වියදමය.
මෙම පනත අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 6.60ක් හෙවත් රුපියල් 6,601,150,000ක් වෙන්කර ඇති අතර අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා රුපියල් බිලියන 1.15ක් වෙන්කර තිබේ. විසර්ජන පනත අනුව වැඩිම මුදලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර එම මුදල බිලියන 886.1කි. එය රුපියල්වලින් 886,110,000,000 වේ. දෙවැනි විශාලතම ප්රතිපාදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයට වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 723.4ක් හෙවත් රුපියල් 723,431,495,000 වෙයි. තුන්වෙනුව වැඩිම මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර තිබෙන අතර එය බිලියන 423.7ක් වේ.
මෙවර අඩුම වියදම් ප්‍රමාණයක් අනුමත කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පවතින පරිසර අමාත්‍යංශයට වන අතර එය රුපියල් බිලියන 2.13 හෙවත් රුපියල් 2,130,000,000කි. රුපියල් බිලියන 2.2 වෙන්කර ඇති වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය අඩුම වෙන්කිරීම් අතර දෙවැනි ස්ථානයට පත්වී ඇත. එම මුදල රුපියල් 2,319,000,000 වෙයි.
2024 සඳහා ඉදිරිපත් කර ඇති අයවැය විසර්ජන පනතෙන් රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය නිවාරණය කිරීම සඳහා කිසිදු මුදලක් වෙන්කර නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂයෙන් සලකා බලා එයට ප්‍රතිකර්ම යෙදීමට 2024 වසරේදී සැලකිව යුතු මුදල් වෙන්කරනු ඇති බව නමුත් ඒ පිළිබඳව යම්තමට හෝ සලකා බැලීමක් සිදුව නැති බව අනාවරණය වන්නේ යැයි හෙතෙම පවසයි. සමස්තයක් වශයෙන් සලකා බලන විට වුවද අමාත්‍යංශවලට සහ ආයතනවලට මුදල් වෙන්කර ඇත්තේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුවයි. වැඩි මුදලක් වෙන්කළ යුතු සහ එසේ කරන බව පැවසූ අමාත්‍යංශවලට එලෙස ප්‍රමාණවත් මුදලක් වෙන්කර නොමැති බවද හෙතෙම පවසයි.
''රජය විසින් ඉදිරි වර්ෂයේදී වියදම් කිරීමට අපේක්ෂා කරන මුදල් පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කරනවා. එය තමා විසර්ජන පනත ලෙස හඳුන්වන්නේ. එයින් පෙන්වන්නේ රජයේ මුළු වියදම් නොවෙයි. ණය ගෙවීම් හැර සියලු අමාත්‍යංශ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් මෙහි දැක්වෙනවා. මුළු මූල්‍ය වැයවන්නේ රුපියල් බිලියන 3860ක්. මෙම මුදල අමාත්‍යංශ 29ක් සහ විශේෂ වියදම් ඒකකයක් අතර බෙදී යනවා. විශේෂ වියදම් ඒකකය අනුව දැක්වෙන්නේ ජනාධිපතිගේ වියදම් සහ සුවිශේෂ වියදම්.
මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වන රුපියල් බිලියන 886ක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටයි. මෙය සමස්ත අගයෙන් සියයට 23ක්. ඊළඟට වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි. ජනාධිපතිවරයා යටතේ පවතින මෙම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 723ක්. මෙය සමස්ත අයවැයෙන් සියයට 19ක් වෙනවා. ඒ අනුව මෙම අමාත්‍යංශ දෙක සඳහා සමස්ත ආදායමෙන් සියයට 42ක් තරම් සුවිශාල මුදලක් වෙන්කර තිබෙන බව පෙනෙනවා. ඊළඟට වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂාවට සම්බන්ධ අමාත්‍යංශ දෙකකටයි. ඒවා නම් ආරක්ෂක අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයයි. ඒ දෙකට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 565ක්. එය සමස්තයෙන් සියයට 15ක්. රටේ යුද්ධයක් නොපවතින පරිසරයක යුද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂයට බැස්සවීමේ සූදානමක් පවතින අවස්ථාවක මේ තරම් විශාල මුදලක් ආරක්ෂක අමාත්‍යංශවලට වෙන්කිරීම ගැටලු සහගතයි. මෙම අමාත්‍යංශ හතරට පමණක් මුළු ආදායමෙන් සියයට 56ක් වෙන්කර ඇති බව පෙනෙනවා. එම මුළු වියදම රුපියල් බිලියන 2174ක්.
2024 අයවැය ලේඛනය අනුව අමාත්‍යංශ 8ක් සඳහා පමණක් අයවැයෙන් සියයට 86ක් වෙන්කර ඇති අතර ඉතිරි අමාත්‍යංශ 21කට වෙන්කර ඇත්තේ සියයට 14ක් පමණක් වීම ගැටලු සහගත බව කිව යුතුයි. මෙහිදී මුදල් බෙදී යාමේ විෂමතාවක් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා අවධාරණය කරයි. මෙම අමාත්‍යංශ 8 සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 3325ක් වේ. විශේෂ ඒකකයට පමණක් වෙන්කර ඇති වියදමේ ප්‍රතිශතය 16කි.
2023 වසරට වෙන්කළ මුදල් පිළිබඳ සලකා බැලූවිට සාපේක්ෂව 2024ට වෙන්කළ ප්‍රතිපාදනවල අඩුවක් පෙන්නුම් කෙරේ. එසේම සමස්ත රාජ්‍ය ආදායම අමාත්‍යංශ කිහිපයක් සඳහා වෙන්කර තිබීම ගැටලු සහගතයි. ප්‍රතිපාදන වැඩියෙන් ලැබේ යැයි අපේක්ෂා කළ අමාත්‍යංශ සඳහාද වෙන්කර ඇත්තේ අඩු මුදලකි. මේ නිසා වර්ෂයේ බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්කවලට ළඟාවීම දුෂ්කර වනු ඇතැය යන්න දැනගන්නට ඇත. තාක්ෂණික, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීම්, නාගරික සංවර්ධන, කෘෂිකර්ම, ජනමාධ්‍ය, වැවිලි කර්මාන්ත හා පරිසර යන අමාත්යංශවලිට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ ලා විශාල කාර්යභාරයක් ඉටු කෙරේ. එම අංශවලට ප්‍රමාණවත් මුදලක් ලබාදීම රජයේ වගකීම වෙයි. එසේ වුවද ඒ පිළිබඳ අඩු අවධානයක් යොමුකර බෙදන තැනටම බෙදන සම්ප්රදායේ පිහිටා කටයුතු කළ අන්දම පෙනේ. ඇතැම් අමාත්‍යංශවලට යම් වැඩිවීමක් පෙන්නුම් කළද ඒවා අතර විෂමතාවක් දැක්වෙයි. ආරක්ෂක අමාත්‍යංශවලට වැඩිකර ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ ගැටලු පැනනැගී ඇත. ආරක්ෂක අමාත්‍යංශයට සියයට 3.35 හා මහජන ආරක්ෂක අමාත්‍යංශයට 8.9ක ප්‍රතිශතයකින් වැඩිකර තිබේ. රටේ යුද්ධයක් හෝ නොමැති ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යංශවලට සෑහෙන මුදලක් වැඩි කිරීම පිළිබඳ ජනතාව දක්වන්නේ යහපත් ආකල්පයක් නම් නොවේ. අධ්‍යාපන කටයුතු සඳහා ලොව දියුණු රටවල් වෙන්කරන මුදල්වලට සාපේක්ෂව අප වෙන්කරන මුදල් ප්‍රතිශතය නොසෑහෙන බවට විවිධ අවස්ථාවල චෝදනා එල්ල විය. එහිදී වගකිව යුත්තන් පොරොන්දු වූයේ ඉදිරි අයවැයේද ඒ පිළිබඳව සලකා බලන බවය. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කළ ප්‍රතිපාදනවල වැඩිවීම සියයට 2.1කි. එය අවශ්‍ය ඉලක්කවලට ළඟාවීම සඳහා ප්‍රමාණවත් නොවන බව කිවයුතුය. 2023 වසරේදී අධ්‍යාපන අමාථ්යංශයට වෙන්කර තිබූ මුදල රුපියල් බිලියන 232ක් වූ අතර 2024 දී රුපියල් බිලියන 237කින් ඉහළ නංවා ඇති අතර එම වැඩිවීම බිලියන 5ක් වැනි කුඩා ප්රමාණයකි. පසුගිය වසරවල උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය යනුවෙන් අමාත්‍යංශ දෙකක් තිබූ නිසා ඒවාට වෙන්වූ මුදල් පිළිබඳ යම් අදහසක් ඇතිකර ගත හැකිව තිබුණු නමුත් 2024 දී අමාත්‍යංශ දෙකම ඒකාබද්ධ කර තිබීමෙන් තත්ත්වය තවත් බැරෑරුම් වී තිබේ.
කෙසේ වුවද ජනතාව අතර මේ වනවිට ඇතිව ඇති මතය වන්නේ අයවැය ලේඛනය යනු නිකන්ම නිකම් කොළ කැබැල්ලක් පමණක්ය යන්නය. අතීතයේ මෙන් ජනතාව අයවැය ලේඛනය ගැන උනන්දුවක් දැක්වීම අඩුව තිබේ. සෑම වසරකම වාගේ අමාත්‍යංශවලට වෙන්කරන මුදල් අදාළ වසර අවසානයට පෙර වියදම් කර අවසාන නොකරන නිසා ඉතිරි වූ මුදල් භාණ්ඩාගාරයට ආපසු යවන සිරිතක් ඇති වී තිබේ. මෙලෙස මුදල් වැය නොකරන්නේ අදාළ ආයතනවල ඇති අකාර්යක්ෂමතාව නිසයි. ඒ නිසා රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින මෙම වර්ෂයේ හෝ අමාත්‍යංශවලට අමාරුවෙන් වෙන්කරන මුදල් සියල්ල නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීම බව අවධාරණය කළ යුතුයි.
I යසවර්ධන රුද්‍රිගු